Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

වත්තල ශරීර සුවතා මං තීරුවේ ඇත්ත කතාව

ප සුගිය දවසක වත්තල කළුඇළ ප‍්‍රදේශයේ පැවති ශරීර සුවතා මංතීරුව කිසියම් පිරිසක් විසින් කඩා ඉවත් කර දමා තිබෙනු අන්දම අප නෙත ගැටිණි. බෝ නොවන ර...


සුගිය දවසක වත්තල කළුඇළ ප‍්‍රදේශයේ පැවති ශරීර සුවතා මංතීරුව කිසියම් පිරිසක් විසින් කඩා ඉවත් කර දමා තිබෙනු අන්දම අප නෙත ගැටිණි. බෝ නොවන රෝග පාලනය කිරීමේ හා මානසික සුවය ඇතිකිරීමේ අභිලාෂයෙන් මේ ශරීර සුවතා මංතීරුව ඉදිවන්නේ 2013 වර්ෂයේදීය. ඒ පසුගිය පාලන සමයේදීය.

නමුත් ලොවක් නිදිගත් නිහඬ රාත‍්‍රියේ දී පසුගිය දවසක මේ ශරීර සුවතා මංතීරුව කඩාබිඳ දමන්නට යමෙක් කටයුතු කරන්නේ හුදෙක් තම පෞද්ගලික අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීමට හෝ දේශපාලන අභිලාෂයන් ඉටුකර ගැනීමේ වුවමනාව පෙරදැරිවය. මේ මංතීරුව ආසන්නයේ පොලිස් මුර පොළක් පවා පැවතිය ද එදින මේ පොලිස් මුරපොළේ ආරක්ෂක නිලධාරීන් සැඟව ගියේ කොතැනක දැයි ප‍්‍රශ්න කළ යුතුව ඇත. එසේම මේ මංත‍්‍රීරුවේ සිට වත්තල පොලීසියට පවතින දුර ප‍්‍රමාණාත්මකව බලන කලමීටර පනහක් තරම්ය. ඉදින් බැකෝ යන්ත‍්‍ර යොදා ගනිමින් සිදු කළ මේ ව්‍යසනය පිළිබඳව වත්තල පොලීසිය දැන නොසිටියා යැයි පවසනවා නම් ඒ වන විට පොලීසිය සිටියේ මර නින්දේද යන්න පිළිබඳ වත් මේ මොහොතේ ප‍්‍රශ්න කළ යුතුව ඇත.

කාගේ අවශ්‍යතාවට වුව ද කාගේ මැදිහත් වීමට වුව ද සිදු වූයේ අනර්ථයකි. ප‍්‍රදේශවාසීන්ගේ ඇසට අනුව මෙය ශාපලත් කි‍්‍රයාවකි. ඔවුනගේ අයිතිවාසිකම් උදුරා ගැනීමකි. ඒ දසුන නෙත ගැටෙද්දී ප‍්‍රදේශවාසීන්ගේ මෙන්ම අපගේ ද සිතට නැගෙන්නේ අමනාපයකි, වේදනාවකි. ඒ මේ සා අනර්ථයක් සිදු කරන්නට තරම් මේ මිනිසුන්ගේ සිත් පිත් නොමැති වීම පිළිබඳවය.

ශරීර සුවතා මංතීරුවේ අතුරා තිබූ  ගල් ඉවත් කිරීමට පමණක් නොව නාම පුවරු ගලවා ඉවත් කරන්නට ද, ආලෝක කුලූනු කඩා බිඳ දමන්නට ද මේ පිරිස කි‍්‍රයාකර තිබෙන්නේ අත්තනෝමතික විලසිනි. කෙසේ වුව ද ප‍්‍රදේශවාසීන්ගේ අදහසට අනුව මේ සිදුවීම පිටුපස ගම්පහ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රබල දේශපාලන හස්තයක් වැටී තිබෙන්නේය. ඒ දේශපාලනයේ  ඕනෑ එපාකම් පිරිමසා ගන්නට, මෙලෙස අත්තනෝමතිකව කි‍්‍රයා කිරීම තුළ අපට අහිමිව යන්නේ රටේ අනාගත  අභිවෘද්ධියම නොවන්නේද? නැවත මේ ප‍්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් වැය වන්නේ රටේ හෙට දවස වෙනුවෙන් වැය කරන්නට තිබෙන සම්පත්ම නොවන්නේද? ඉදින් වගකිව යුත්තන්ගේ  දෙනෙත් විවර විය යුත්තේ  මෙවන් අක‍්‍රමිකතා අබියසය. රටක පාලකයන් වෙනස් වන වාරයක් පාසා, රටේ උන්නතිය වෙනුවෙන් කරන ලද ඉදිකිරීම් කඩා බිඳ දමන්නට තරම් බලකාමයෙන් මත්ව කටයුතු කරන දේශපාලන හස්තයක් අබිමුව රටේ හෙට දවසේ අනාගතය තීරණය වන්නේ කෙලෙසකද?

මෙවන් පසුබිමක හිඳගෙන අප ඔබෙන් අසන්නේ අතීතයේ වූ වරද නැවත නැවතත් අප සිදු කරනවාද, නැතහොත් රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් දේශපාලනයට ගැළපෙන රටක් නොව, රටට ගැළපෙන දේශපාලනයන් බිහි කරනවාද යන්නම පමණකි.

යෝජිත මාර්ගය හැදුවම පිනුම් ගහන්නත් පුළුවන්
-ජෝන් අමරතුංග

සංචාරක සංවර්ධන කි‍්‍රස්තියානු ආගමික කටයුතු හා ඉඩම් අමාත්‍ය
කවුරු කාට චෝදනා කළත් වැඩක් වෙන්නෙ නැහැ. නාගරික සංවර්ධන අධිකාරියෙන් වගේම චම්පක රණවක අමාත්‍යවරයාගෙ අනුමැතිය මේ සඳහා ලැබිලා තියෙන්නෙ. ඔය වත්තල කළුඇළ ප‍්‍රදේශයේ තියෙන ඇවිදින මංතීරුව තියෙන්නෙ අඩි පාරක. පිටිපස්සේ තියෙන ගමට යන්න ඒ පාර හදන්න  ඕනේ. පිටුපස්සෙ ඉඩමක ගෙවල් දෙසීයක් හදන්න ව්‍යාපෘතියක් සැලසුම් කරගෙන යනවා. ඒ සම්බන්ධව මගෙනුත් ඇහුවා. පාර පළල් කරන එක හොඳ නිසා මම ප‍්‍රශ්නයක් නැහැයි කිව්වා. අද ඇවිදින්න තැනක්, ව්‍යායාම කරන්න තැනක් නැහැයි කියලා  කෑගහන මිනිස්සුන්ට පාර හැදුවට පස්සෙ ඇවිදින්න විතරක් නෙවෙයි පිනුම් ගහන්නත් පුළුවනි.

අපිට දැනුම් දීමක් කළේ නැහැ
-සමරවික‍්‍රම
ලේකම් වත්තල මාබෝල නගර සභාව

වත්තල මාබෝල නගරසභාව මඟින් ඔය කියන වත්තල, කළුඇළ අසල තිබුණු ශරීර සුවතා මංතීරුවේ පිරිසිදු කිරීමේ කටයුතු සිදු කළා. නමුත් මේ හදිසි කඩා ඉවත් කිරීම සම්බන්ධව නගර සභාව කිසිදු දැනුවත් වීමක් සිදු වෙලා නැහැ. ඔය කියන කඩා ඉවත් කිරීම සිද්ධ වෙලා තියෙන්නේ පසුගිය දවසක රාත‍්‍රියක දී
ඔය ශරීර සුවතා මංත‍්‍රීරුව හදලා තියෙන්නෙ බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය වත්තල මාබෝල නගර සභාවේ හිටපු සභාපතිතුමාට ඔය මංතීරුව භාරදීලා තියෙන්නෙ මාර්ග සංවර්ධන අධිකාරියෙන්. ඒ එහි නඩත්තු කටයුතු සඳහා. නඩත්තු කටයුතු කිව්වට සෑම දෙයක්ම අපි අතින් කෙරෙන්නෙ නැහැ. අපි එහි පිරිසිදු කිරීම් කටයුතු පිිළිබඳ සොයා බලනවා. තණකොළ කපනවා, ඒ වෙනුවෙන් සේවකයෙක් යොදවලා ඉන්නවා. කෙසේ වෙතත් මේ සිදුවීම සම්බන්ධව අප දැනුවත් නොකළ නිසා ඒ පිළිබඳ වත්තල පොලීසියට දැනුම් දුන්නා. පොලීසිය ඒ සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කරලා  තියෙනවා.

මේ සිද්ධිය අපිට අදාළ නැහැ
-නිශ්ශංක
අධ්‍යක්ෂ
බස්නාහිර පළාත් නාගරික සංවර්ධන අධිකාරිය

වත්තල කළුඇළ ප‍්‍රදේශයේ පිහිටි ශරීර සුවතා මංතීරුව පසුගිය දිනක රාත‍්‍රී කාලයේ දී කිසියම් පිරිසක් විසින් කඩා ඉවත් කර තිබෙනවා. ඒත් ඒක සිද්ධ වුණේ කොහොමද කියලා අපි දන්නෙ නැහැ. මේක අපට අදාළ දෙයක් නෙවෙයි. මොකද මේ ඉඩමේ අයිතිය නාගරික සංවර්ධන අධිකාරිය සතුව නැහැ. මම දන්න විදිහට ඒක පෞද්ගලික ඉඩමක්.
 ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධන මධ්‍යස්ථානය තමයි ඔය සම්බන්ධව කටයුතු කරන්නෙ.  ඒ නිසා ඒ සම්බන්ධව නිශ්චිත පිළිතුරක් ලබා දෙන්නට මට හැකියාවක් නැහැ.

පරීක්ෂණ සිදු කෙරෙමින් පවතිනවා
-රුවන් ගුණසේකර
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

 පසුගිය 26 වන දා රාත‍්‍රියේ වත්තල කළුඇළ අසල ශරීර සුවතා මංතීරුව කිසියම් පිරිසක් විසින් කඩා ඉවත් කර දමා තිබෙනවා. මේ වන විට එය සිදු වුණේ කෙලෙසකද කියන කාරණය පිළිබඳව වත්තල පොලීසිය මඟින් පරීක්ෂණ කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.

පොලීසිය හැර අනෙක් රාජ්‍ය ආයතන මෙය දැන සිටියා
-එරික් පෙරේරා
ප‍්‍රධාන පොලිස් පරීක්ෂක
වත්තල

කිසියම් පිරිසකගේ අවශ්‍යතාව මත වත්තල කළුඇළ ප‍්‍රදේශයේ පැවති ශරීර සුවතා මංතීරුව ඉවත් කිරීම පසුගිය දිනෙක සිදු වෙලා තියෙනවා. ඒ සම්බන්ධව බොහෝ දෙනකු දැනගෙන සිටියා. නමුත් වත්තල පොලීසියේ නිලධාරීන් හැර. පොලීසිය ඔය සම්බන්ධව දැනුවත් වීමක් තිබුණා නම් කිසිසේත්ම එවැනි සිදුවීමක් සිදු වෙන්නට ඉඩ දෙන්නෙ නැහැ. මේ සිද්ධිය පිළිබඳව දැනුවත්ව අහක බලාගෙන හිටපු රාජ්‍ය ආයතන  ඕනේ තරම් තියෙනවා. දේශපාලනය මෙම සිදුවීමට සම්බන්ධ නිසා අපගේ පරීක්ෂණ කටයුතුවල ප‍්‍රගතිය සම්බන්ධව මොනවත්ම ප‍්‍රකාශ කරන්නට බැහැ. මොකද එහි අවසානයට තාමත් අපි පැමිණ නැති නිසා. මේ සිදුවීම සිදු වුණු ස්ථානය පොලීසියට පෙනෙන තැනක් නෙවෙයි. අඩුම ගණනෙ ඔවැනි දෙයක් සිදු වෙනවයි කියලා දුරකථන ඇමතුමක්වත් පොලීසියට ලැබිලා නැහැ. වත්තල කියන්නෙ කතෝලික ප‍්‍රදේශයක්. එදා පාස්කු ?. නිලධාරීන් බොහොමයක් පල්ලිවල රාජකාරියෙ යෙදිලා හිටියේ. ඒ අවස්ථාවෙන් ප‍්‍රයෝජන අරගෙන මේ දේට යොමු වුණාද කියන්න දන්නෙත් නැහැ. කිසිම ගැටලූවක් නැහැ. පොලීසිය මේ සම්බන්ධව නිවැරැුදි පරීක්ෂණයක් සිදු කරනවා. තව දින කිහිපයක් ඇතුළත ඒ සම්බන්ධව නිවැරැුදි තොරතුරු ලබා දීමට පුළුවනි. අපි අපක්ෂපාතීව පරීක්ෂණයක් කටයුතුවල නිරත වෙනවා.

No comments