Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ස්ථාවර නියෝග අනුව බහුතරය පෙන්වන්න

තමා ලබා දුන් උපදෙස් මත කථානායකවරයා පාර්ලිමේන්තුවේදී ක්‍රියාකර නොමැති බවට කරුණු තහවුරු වී ඇති බවත් තමන්ට කිසිසේත්ම පාර්ලිමේන්තුව කල් තැබීම...

තමා ලබා දුන් උපදෙස් මත කථානායකවරයා පාර්ලිමේන්තුවේදී ක්‍රියාකර නොමැති බවට කරුණු තහවුරු වී ඇති බවත් තමන්ට කිසිසේත්ම පාර්ලිමේන්තුව කල් තැබීමේ අවශ්‍යතාවක් නොමැති බවත් නීත්‍යනුකූලව බහුතරය පෙන්වන කණ්ඩායමට ඊට අවශ්‍ය පහසුකම් සලසන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (18දා) පැවැති සර්ව පාක්ෂික රැස්වීමේදී අවධාරණය කොට තිබේ.

පාර්ලිමේන්තුවේදී 'හඬ' අනුව බහුතරය පෙන්වීමට කටයුතු කිරීම උචිත ක්‍රියාවක් නොවන බව එහිදී පෙන්වා දී ඇති ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන අවස්ථාවක එය න්‍යාය පුස්තකකයට ඇතුළත් කර අදාළ පාර්ශ්වවලට ඒ සඳහා විවාද කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබාදිය යුතු බවට ඉතිහාසයේ සාක්ෂි සටහන් වී ඇති බැවින් මෙසේ විනාඩි 10ක් ඇතුළත ඡන්ද විමසීමක් පැවැත්වීම ව්‍යවස්ථානුකූල නොවන බවට කරුණු පැහැදිලි වී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. ඒ නිසා පාර්ලිමේන්තුවට යම් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී ඇත්නම් එය සාම්ප්‍රදායානුකූලව න්‍යාය පත්‍රයට ඇතුළත් කර අදාළ පාර්ශ්වවලට කරුණු පැහැදිලි කිරීමට අවස්ථාවක් දිය යුතු නමුත් ඉකුත් පාර්ලිමේන්තු සභාවාරවලදී එවැන්නක් සිදු වී නොමැති නිසා ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

මෙහිදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය අනුව ජනතාවගේ උත්තරීතර ස්ථානය වූ පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වා ඉදිරියට ගෙන යා යුතු පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව තීරණයක් ගැනීමට පාර්ලිමේන්තුවට අවස්ථාවක් දිය යුතු බවයි.

වැඩිදුරටත් අදහස් දක්වා ඇති එ.ජා.ප. නායකයා පාර්ලිමේන්තුව තෙවරක් කැඳවන ලද අවස්ථාවේ විශ්වාසභංගයක් පිළිබඳව නොව පාර්ලිමේන්තුවේ බහුතරය කාටදැයි පැහැදිලි ලෙස පෙන්වා දී ඇති බවත් තවදුරටත් පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ කාටදැයි පැහැදිලි කිරීමට අද (19දා) දින සූදානම් වන නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් පැවැති පාර්ලිමේන්තු රැස්වීම්වලදී අවස්ථා තුනකදීම පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට අපොහොසත් වූ බවත් තර්ජන - ගර්ජන හා මර්දන සහ පහරදීම් මඟින් පාර්ලිමේන්තුවේ තමන්ට හිමි බලය පෙන්වීමට අපොහොසත් වූ බවත් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

තවදුරටත් කරුණු දක්වා ඇති එ.ජා.ප. නායකයා ව්‍යවස්ථානුකූලව අගමැති ධුරයක් අහෝසි කිරීමට ඇති අවස්ථාව පැහැර හරිමින් හිතුවක්කාර ලෙස අග්‍රාමාත්‍ය ධුරය සහ කැබිනට් ධුර අහෝසි කර මේ වන විට මාසයකට ආසන්න කාලයක් ඉක්ම වී ගොස් ඇති බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් රජයේ පරිපාලනය බරපතළ ලෙස කඩාවැටීමට ලක්ව ඇති බවත් පෙන්වා දී තිබේ.

මෙම අර්බුදයට ඇති විසඳුමක් ලෙස අද (19දා) පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයට ජනාධිපතිවරයා පැමිණ එහි මුලසුන ගෙන බහුතරය ඇත්තේ කාටදැයි තීරණය කිරීමට අවකාශ සකසන ලෙසද වික්‍රමසිංහ මහතා එහිදී ඉල්ලීමක් කර ඇත.

තවද එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ මේ අවස්ථාවේ පෙරට ගත යුත්තේ වත්මන් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවද නොඑසේ නම් වත්මන් අර්බුදයට හේතු වී ඇති පාර්ලිමේන්තුවේ බහුතරයද යන්න තීරණය කර එය විස¼දාලීම සඳහා අද දින පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයට ජනාධිපතිවරයාගේ සහභාගි වීම අත්‍යවශ්‍ය කාරණයක් වන බවත්ය.

මේ අතර ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අද (19දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත පක්‍ෂ නායක රැස්වීමේදී සුදුසු තීරණයක් ගැනීමටත් පාර්ලිමේන්තුව තුළ ඉතා සාමකාමී අන්දමින් ගැටුම්වලින් තොරව කටයුතු කිරීමටත් මෙහිදී සියලුදෙනා එකඟත්වයක් ඇති කරගනු ලැබිණි. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සර්වපාක්‍ෂික සමුළුව අවසන් වී ටික වේලාවකට පසු තානාපතිවරු පිරිසක් සාකච්ඡාවක් සඳහා අරලියගහ මන්දිරයට ගොස් ඇත. සර්වපාක්‍ෂික සමුළුවෙන් පසු කේක් ගෙඩියක් කපා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය සමරා තිබේ.

No comments