Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ගෝවින්දා නිසා නිරෝෂා අමාරුවේ වැටිලා

හිරු ස්ටාර් තරගයේ විනිශ්චයට බොලිවුඩ් නළු ගෝවින්දාගේ පැමිණීම ඔබට මොනවගේ අත්දැකීමක් වුණාද? ඒක ඇත්තටම මාව අමාරුවේ වැටුණු අත්දැකීමක්. ගෝවින්...

හිරු ස්ටාර් තරගයේ විනිශ්චයට බොලිවුඩ් නළු ගෝවින්දාගේ පැමිණීම ඔබට මොනවගේ අත්දැකීමක් වුණාද?
ඒක ඇත්තටම මාව අමාරුවේ වැටුණු අත්දැකීමක්. ගෝවින්දා ප්‍රතිපත්තියක් හැටියට ඉංග්‍රීසි භාෂාව කතා කරන්නේ නෑ. ඔහු කතා කරන්නෙත් සරල හින්දි භාෂාව නෙවෙයි. මගේ හින්දි භාෂා දැනුමත් එක්ක මම ඔහුත් සමඟ ගනුදෙනු කළා. පළමුවැනි වතාවට තමයි මෙහෙම ඉන්දීය කලාකරුවෙක් ලංකාවේ රියලිටි වැඩසටහනකට සම්බන්ධ වුණේ. ඇත්තටම ඒක අනපේක්ෂිතව වුණු දෙයක්.

ඔහු ලංකාවට එනකල්ම මේ වැඩසටහනට සහභාගි වෙනවද කියන එක ස්ථීර වුණේ නෑ. මට නම් ඒ අත්දැකීම තවත් වෙනස් විදියේ වැඩසටහනක්. ගෝවින්දා හරිම නිහතමානී ආගමට ළැදි හරිම සරල මනුස්සයෙක්.

ඇත්තටම ඒ හමුවුණු කාලසීමාව තුළදී ඔහු හරිම සුහදව හිටියා. ඔහු සංගීතය හදාරපු කෙනෙක්. ඇත්තටම මට වඩා එදා හිටපු තරගකරුවන් හය දෙනාට ඒක ලොකු අත්දැකීමක් වුණා.

ලංකාවේ ප්‍රේක්ෂකයන්ට මේ වගේ අත්දැකීමක් ලබා දීම ගැන ඔබට මොකද හිතෙන්නේ?
ඇත්තටම හිරු නාළිකාවට ඒක කරන්න පුළුවන් වෙච්ච එක ලොකු දෙයක්. ඒ තුළින් අපේ සංගීතය ගැන යම් මට්ටමකට හරි දෙයක් වෙන සමාජයකට යනවානේ. ඒ වගේ කලාකරුවෙක්ට සිංහල සින්දුවක් අහන්න දෙන එකම ලොකු දෙයක්. ඔහු කිව්වා හින්දි ගීත සහ සිංහල ගීත අතර ලොකු වෙනසක් නෑ කියලා. ඇත්තටම ඒක වැඩසටහන නරඹන ප්‍රේක්ෂකයන්ටත් හොඳ අත්දැකීමක්.

ඔබ හින්දි භාෂාව දන්න නිසා ඔහුත් සමඟ ගනුදෙනු කරන එක පහසුවෙන්න ඇති?
ඔව්. පහසු වුණා. හැබැයි මම ඔහුට කිව්වා, පුළුවන් තරම් සරලව භාෂාව කතා කරන්න කියලා. ඔහු ඒක තේරුම් අරගෙන කිව්වා, හරි මම ඒක ලේසි කරන්නම් කියලා. ඊට පස්සේ ඔහු ඉංග්‍රීසියෙන් කතා කළා.

ඔහු ඉදිරියේ ඔබ ගැයූ ගීතයට ඔහුගෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබුණේ?
මට ලස්සන කටහඬක් තියෙනවා කියලා ඔහු කිව්වා. ඔහුගේ ගුරුවරයා ඔහුට කියලා දුන්නලු ගීතයක් ගායනා කරන කොට පපුවෙන් සහ බඩෙන් කියන ස්ථාන දෙකෙන්ම හඬ නිපදවෙනවා කියලා. බඩෙන් හඬ නිපදවෙනකොට හැඟීම් සහිතව ගායනය සිදු වෙනවා. ගෝවින්දා කිව්වා ගොඩක් තරගකරුවන්ගේ ගායනාවලින් පිටවෙන්නේ පපුවෙන් එන හඬක් කියලා. හැබැයි මගේ ගායනය හැඟීම් සහිත ගායනයක් කියලා ඔහු කිව්වා.

ඔහුව මුණගැසුණු පළමුවැනි අවස්ථාවද මේ?
ඔව්. හැබැයි වෙනත් ඉන්දියානු කලාකරුවන් මුණ ගැහිලා තියෙනවා. මේ ඔහුව හමුවුණු පළමු අවස්ථාව සහ මේ වගේ අත්දැකීමකට මුහුණ දුන්නු පළමුවැනි අවස්ථාව.

ඒ අවස්ථාවේදී ඔහුත් එක්ක ඔබට මොනවගේ සුහදතාවක් ද ගොඩනැඟුණේ?
ඇත්තටම ඔහු හරිම හොඳ මනුස්සයෙක්. ලොකුවට හිතාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. ඒ වගේම හරිම හැඟුම්බර මනුස්සයෙක්. මුණ ගැහුණ පුංචි කාලය ඇතුළත අපි ගොඩක් සමීප වුණා. ඔහු හිරු සම්මාන උළෙලට සහභාගි වෙලා වේදිකාවට නැඟපු වෙලාවේදීත් මුළු ඕඩියන්ස් එකම ඔහුත් එක්ක සම්බන්ධ වුණා. ඔහු හින්දි කතා කරන්නේ සරල භාෂාවෙන් නෙවෙයි. ශුද්ධ හින්දි භාෂාව ඔහු කතා කරන්නේ. මම ඔහුට කිව්වා ඒ වෙලාවේ මං ලොකුවට හින්දි භාෂාව දන්න කෙනෙක් නෙවෙයි. ඒ නිසා සරල විදියට කතා කරන්න කියලා. ඔහු ඒ කියපු දේවල් මට තේරුණ විදියට තමයි මම තරගකරුවන්ට කිව්වේ. ඇත්තටම ඔහු ගොඩක් දේවල් කිව්වා. හැබැයි මම ඒක පරිවර්තනය කරලා කිව්වේ පොඩ්ඩයි. ඒක තේරුණ නිසාද කොහෙද ඔහු ඉන් පස්සේ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළා.

ඔබට ගෝවින්දාගෙන් යම් දෙයක් ඉගෙන ගන්න ලැබුණාද?
මම ඉගෙන ගත්ත වැදගත්ම දේ තමයි මවු භාෂාවට ගරු කරන්න කියන එක. ඔහුගේ ජීවිතේ අංක එක තමයි මවු භාෂාව. අපේ රටට වෙලා තියෙන්නේ අපේ මවු භාෂාව දෙවැනි තැනට ඇවිත්. ඉන්දියාවේ මිනිස්සු වුණත් ගොඩක් වෙලාවට ඉංග්‍රීසි භාෂාව කතා කරනවා. ඒක අපිටත් බෝ වුණා. අදටත් එයා ලොකු තැනක ඉඳලා වුණත් මවු භාෂාව තමයි අංක එක. තමන්ගේ රටටත්, භාෂාවටත් ආදරේ කරන අය කොහොමත් සමාජයේ ඉහළ තැනකට යනවා. ඒ දෙය සමාජගත කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්.

ඔබට හිරු මෙගා ස්ටාර් වැඩසටහනේ ලැබිලා තියෙන විනිශ්චය භූමිකාවත් එක්ක අලුත් පරම්පරාවක් හොඳ විදියට ගොඩනඟන්න පුළුවන් කියලා හිතනවාද?
තරගකරුවන් විශාල සංඛ්‍යාවකින් අන්තිමට 3ක් හෝ 4ක් තෝරා ගන්නවා. මේ රටේ රියැලිටි වැඩසටහන් විශාල ප්‍රමාණයක් තිබ්බා. හැබැයි ඒවායින් එළියට ආපු අයගෙන් ගායක ගායිකාවන් කියලා කතා කරන්න පුළුවන් පිරිස අඩුයි. තමන් ග්‍රහණය කර ගන්න ප්‍රමාණය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. රියැලිටි වැඩසටහනකින් අපිට ඔවුන් දැනගන්න පුළුවන් වුණාට ඒ දේ පවත්වාගෙන යන එක ඒගොල්ලොන්ගේ වැඩක්.

හරි සංගීතය සමාජගත කරන්න පුළුවන් එක්කෙනෙක් දෙන්නෙක් හරි එතැන ඉන්නවා නම් නිර්මාණාත්මක අලුත් දෙයක් කරලා ඔවුන්ට ක්‍ෂේත්‍රයේ දිගටම රැඳෙන්න පුළුවන්. දැන් තරගයේ ඉන්න අය ගායනා කරන්නේ වෙන වෙන අයගේ ගීත. ප්‍රේක්ෂකයෝ ඒ ගීත වෙනස් කටහඬවලින් අහන්න ආස නිසා ඔවුන්ට ඉර්ඉ කරනවා. හැබැයි තරගයෙන් ඉවත් වුණාට පස්සේ ඔවුන් මිනිස්සුන්ගේ රසඥතාවට ගැළපෙන විදියට ගීත නිර්මාණය කරන්න ඕනේ.

ඔබේ ගායන ජීවිතේ වැඩකටයුතු ගැනත් කියමු?
ගායනය පැත්තෙනුත් වැඩකටයුතු වෙනවා. ගීත පටිගත කිරීම් ගොඩක් සිද්ධ වුණා. ටෙලි නාට්‍ය කීපයකටම මම අලුතෙන් ගීත ගායනා කළා. ඒ ටෙලි නාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා. හිරු ස්ටාර් වැඩසටහනත් එක්කත් කාර්යබහුලයි.
මම පටිගත කරපු සරල ගීත යූ ටියුබ් එකට දාලා තියෙන්නේ. ඒ ගීත රේඩියෝවලට දෙන්න ඕන. ඒ වැඩකටයුතු තමයි මේ දවස්වල තියෙන්නේ.

උදාරා ඉන්දීවරී ජිනදාස

No comments