Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ලංකාවේ සාරාගීම ගීතය

රසවින්දනය කියන දේ තරුණ කාලයට පමණක් නෙවෙයි සමස්ථ ජීවිතයට අත්‍යාවශයම දෙයක්. රසිකයන්ගේ රසවින්දනය උසස් කරන්න හෝ මොට කරන්න නිර්මාණකරුවන්ට පුළුව...

රසවින්දනය කියන දේ තරුණ කාලයට පමණක් නෙවෙයි සමස්ථ ජීවිතයට අත්‍යාවශයම දෙයක්. රසිකයන්ගේ රසවින්දනය උසස් කරන්න හෝ මොට කරන්න නිර්මාණකරුවන්ට පුළුවන්. කාලයක් තිස්සේ තම නිර්මාණ ඔස්සේ රසවිදින්නන්ට අවරගනයේ නිර්මාණ ලබාදුන්නොත්, රසවිදින්නන් ද ඒක තමයි නියම රහ කියලා අර නිර්මාණකරුවන් යැයි සිතාගන්නා විකුණුම්කරුවන් සමාජගත කරන විකාර පරිභෝජනය කිරීමෙන් පමණක් සීමා නොවී ඒවා මාර්කට් ද කරනවා. ඇත්තටම මම ඇඳලා ගත්ත කතාව මෙහෙම පිටුවකින් දෙකකින් කතා කරලා විසඳුමකට එන්න පුළුවන් කතාවක් නෙවෙයි. එහෙත් මතක තියා ගන්න මුහුදේ ලස්සන බලන්න නම් ගැඹුරු දියේ කිමිදෙන්නම වෙනවා. එහෙත් ගැඹුරු දියේ කිමිදිලා මුහුදේ ලස්සන බලන්න අවස්ථාවක් ලැබෙන්නේ කීයෙන් කී දෙනාට ද?

වත්මන් ගීත හොඳයි හෝ නරකයි කියලා මම කියන්නේ නෑ. එහෙත් වත්මන් ගීතවල කියන්න ඕන දේවල් අමුවෙන්ම කියන නිසා එතන රිදම් එකක් මිසක් ආර්ට් එකක් නෑ කියලා හිතෙනවා. අහංකාර නඟරේ ගීතයේ තරමට ලැමත් බෝම ඇති ඉඟත් බෝම පොඞී වැනි වැකි ඇති නිසා ඒවා සරාගි ගිත ලෙස සමහරු හඳුන්වනවා. ඒවගේම සමහර ගීත සරාගි කරන්න ගායිකාවන් අඩ නිරුවත්ව බඩගාන අයුරුත් දකින්න පුළුවන්. එහෙත් මගේ මතය අනුව ලංකාවේ ස්ත‍්‍රි ශරීරයේ තිබෙන සරාගි බව ගැන හොඳම ගීතය ගැයුවේ පණ්ඩිප් අමරදේවයන්ය. මම කියන දේ ඔබට එකපාරටම පිළිගන්නේ නැත්නම් පහත ගීතය සම්බන්ධ සටහන සම්පුර්ණයෙන් කියවලා, මගේ මතය වැරදි නම් වහාම මා නිවැරදි කරන්න. ගීතය තමයි ”කුමරියක පා සළඹ සැලූණා.” කේ. ඩි. කේ ධර්මවර්ධනයන් තමයි ගීතය ලියන්නේ. සංගීතය සහ ගායනය කරන්නේ පණ්ඩිත් අමරදේව ශූරීන්.

කුමරියක පා සළඹ සැලූණා
වසා සිටි නෙතු පියන් ඇරුණා
කුමර බඹසර අසපුවේ මා
සම වැදී හුන් දැහැන බිඳුණා


සැබැවින්ම මෙම ගීතය කතාවක් නොකියා ඔබගේ මනසේ චිත්ත රැුසක් රූප මවනවා. මෙහි කතාකරුවා ඉතාම සන්සුන් නිහඩ ජීවිතයක් ගත කරන කෙනෙක් බව ව්‍යංගයෙන් කියවෙනවා. නමුත් එහෙම ඉන්න ඔහුගේ දිවියට ස්ත‍්‍රියක් එබිකම් කරනවා. කුමර බඹසර අසපුවේ මෙම යෞවනයා සමවැදී ඉන්න දැහැන බිඳින්න එම ස්ත‍්‍රියකගේ පා සළඹ සැලෙන හඩ පමණක්ම ප‍්‍රමාණවත් වෙනවා. කුඹර බඹසර රකිනවා කියන්නේ ස්ත‍්‍රින් සමඟ ලිංගික සම්බන්ධතා පවත්වන්නේ නැතිව සිටිම. ඔහු ස්ත‍්‍රියගේ රුව දකින්නත් පෙර ඇය ඈත සිට පා සළඹ සලන හඩින්ම ඔහුගේ කුමර බඹසර බිඳෙනවා. එයින් ද්වනිත වන්නේ කුඹර බඹසර රකිමින් ලෝකයට පෙනෙන්න හිටියත්, මොහු ස්ත‍්‍රියකගේ පැමිණිමක් බලාපොරොත්තුවෙන් සිටි බව නොවේද? සමහර වෙලාවට මොහු යෞවනයට පා තබන තරුණයෙක් වෙන්න පුළුවන්.

උකුළ ළම හස මලවි කරළිය
මුවා කළ ඇගේ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැුහැන් ඇද
මෙමා අභියස මැවුණු තුසිතය
සුරන් නැළවු සුයාමය

දැන් තමයි අපේ කතානායකයාට අර තරුණියගේ රුව යාන්තමට වගේ පෙනෙන්නේ. උකුළ ලැම හස මලවි කරළිය.. ඇයගේ උකුල සහ හංසයන් වැනි පියයුරු ඔහුට දැන් දිස්වෙනවා. හරියට එම ස්ත‍්‍රි අංග පේ‍්‍රමයේ දිව්‍ය රාජ්‍යා ලෙස සලකන අනංගයා එහෙමත් නැත්නම් මල්සරා ගේ වේදිකාව වගේ කියලා ඔහු කියනවා.

අනංගයාගේ වේදිකාව තුළ සිදුවිය නොහැක්කේ කුමක්ද? ස්ත‍්‍රියගේ ලැම, ඉඟ සහ උකුළ අතර තිබෙන 34-24-34 අනුපාත පිරිමියාගේ හැඟීම් අවුස්සන බව ප‍්‍රසිද්ධ රහසක්. මෙහි ගීත රචකයා රසික හැඟීම් තවත් අවුස්සන්නේ ”මුවා කළ අගේ දුහුල් සළු තිර” කියන පැදි පෙළ ගීතයට යෙදමෙන්. යෞවනයාට මෙම තරුණියගේ රුව පෙනෙන්නේ දුහුල් සළු තිර අතරින් මිසක් අමු අමුවේ නෙවෙයි. ඇත්තටම ගැහැණු වඩාත් ලස්සන අඩ නිරුවත්ව සිටින විට බව විද්‍යාත්මක සත්‍යයක්. එමනිසා තමයි Victoria's Secret වැනි සමාගම් වටිනා කාන්තා යට ඇඳුම් ලක්ෂ ගණනින් අලෙවි කරලා අති විශාල මුදලක් හොයන්නේ.

රාගය කියන්නේ විශාල ශක්තියක්. එසේම විටක එය විශාල විනාශයක්. ආදම් සහ ඒව තහනම් ගහේ ගෙඩි කාලා වැඩ වද්දා ගත්තේ අන්න ඒ නිසයි. කින්සි ආයතනය කළ පර්යේෂණයකින් හෙළිවුණේ සෑම මිනිත්තු 30ට වරක්ම පිරිමින්ගෙන් 37% ක් ලිංගිකාස්වාදය ගැන හිතන බවයි. නමුත් එසේ සිතන ගැහැණුන්ගේ ප‍්‍රමාණය 11%ක්. කෙසේ වෙතත් ස්ත‍්‍රියගේ රුව දුහුල් සළු තිර අතරින් දකින අර තරුණයාට සිද්ධ වෙන දෙයත් ගීතයේ දෙවන කොටසේ තෙවන පදයේ් මනාව සටහන් වෙනවා. විවර කෙරුවා මනස් සළෙළුන්... තමා ළඟම ඉන්න යුවතියට සහෝදරියක් වගේ හිනා වෙලා දවසට හත් අට පාරක් එම යුවතිය සමඟ මනසින් යහන් ගත වෙන පිරිමිද ලෝකයේ ඉන්නවා. ගීතයේ කථකයා ද ස්ව්‍යං විවේචනාත්මකයි. ස්ත‍්‍රි රුව දැකීමෙන් මනසේ ඉන්න සල්ලාලයා අවධි වුණා කියල පැහැදිලිවම ඔහු කියනවා. දැන් ඔහුගේ මනස තුල මැවෙන සිනමා පටයේ අර තරුණියට ඔහු කුමක් කරනවා විය හැකි ද? මනසින් කුමක් කළ නොහැකි ද?

මෙමා අභියස මැවුණු තුසිතය
සුරන් නැළවු සුයාමය

ස්ත‍්‍රි රුව දැකීමෙන් ඔහු අභියස එක් දිව්‍ය ලෝකයක් නොවෙයි තුසිත සහ සුයාම කියන දිව්‍ය ලෝක දෙකම මැවිලා තිබෙන බව ඉහත පැදි පෙළ විමසීමෙන් අපට පෙනී යනවා. එයින් පෙන්වන්නේ ස්ත‍්‍රිය දැකීිමෙන් ඔහු සිදුකරන්න සුදානම් මානසික සංසර්ගයේ තරම නොවේ ද?

අපි දැන් බලමු ස්ත‍්‍රියේ රුව දැකීමෙන් මනසේ ඉන්න සල්ලාලයා අවධි කරගත්ත තරුණයාට ඊළඟට මොකද වෙන්නේ කියලා. ඔහු දැන් ඔහු සුරාන්තයට පත්වෙන්න නියමිත බව ඉතාම පැහැදිලියි. එහෙත් ඔහුගේ ජීවිතය එතෙක් පැවතියේ තපෝ වනයක් වගේ ඉතා නිසලවයි. නමුත් දැන් ඔහුගේ හිතේ එතෙක් හිරවෙලා තිබුණ හැඟුම් කියන ගජ සේනාව ස්ත‍්‍රියගේ රුව දැකීමෙන් කම්පනයට පත්වෙනවා. එයින් නොනැවතී මෙම හැඟුම් නැමැති ගජ සේනාවෝ නිසල තපෝ වනයේ මල් පෙති තුරුවැල් විනාශ කරනවා. සිතේ ඇතිවෙන දැඞී රාගී හැඟිම රචකයා උපමා කරන්නේ යදම් බිඳදාලා වනයක් විනාශ කරන හස්ති සේනාවකට. එයින්ම පෙනෙනවා රාගය අවදි වු සිතක් තුළ සිදුවන මහා විපර්යාසය. දැඩි රාගය නිසා ඔහුගේ සිතේ පාලනය ඔහුගෙන් ගිලිහෙනවා. ඔබට එහෙම වෙලා නැද්ද කියලා මම අහන්නේ නැහැ.

ආචාර ධර්ම සහ ජීවන ප‍්‍රතිපත්තීන් කියන දේවල් සාපෙක්ෂයි. ඒ වගේම ඒවා වෙනස් වෙන්නත් පුළුවන්. එහෙත් මේ මොහොත වන විටත්, ඕනෑම මිනිසෙක් තුළ ඔහුටම හෝ ඇයටම ආවේණික ආචාරධර්ම සහ ප‍්‍රතිපත්තීන් පද්ධතියක් තියෙනවා. මෙහි කථකයා තුළත් එහෙම තිබෙන ආචාර ධර්ම, ප‍්‍රතිපත්තීන් සියල්ල රාගය නම් හැඟුම නිසා විනාශ වෙනවා. තපෝ වනයක් වැනි ඔහුගේ හිත තුළ යදම් දාලා බැඳලා තිබුණ රාගය නම් තුමුල ගජ සේනාවෝ එම යදම් සිඳ බිඳගෙන ඇවිත් මේ විනාශ කර දමන්නේ ඔහුගේම හිතේ තියෙන ළපලූ තුරු වැල් කැකුළු මල් පෙති වැනි තවත් සුන්දර සිතුවිලියි. ඉතාම වැදගත් දෙය නම්, මෙහි දී ”ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවු රාගයේ” කියලා මොහු කියන්නේ නෑ. ඔහු රාගී හැඟීම් මෙතෙක් කල් ඉතාම අපහසුවෙන් යටපත් කරගෙන සිටි බව පමණක් පවසනවා. සැබැවින්ම රාගයෙන් තොර සිතක් සහ කයක් ස්භාවධර්මය සත්වයාට කවදාවත් පිරිනමන්නේ නෑ.

නිසල ජීවන තපෝ වන මැඳ
හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද
තළා සිඳ කම්පනය කරවයි
ළපලූ තුරුවැල් කැකුළු මල් පෙති
මෙමා හඩවයි බිඳුණු තුසිතය
සුරන් නැලවු සුයාමය

කන්දක් තරණය කළොත් පල්ලමක් බහින්නම වෙනවා. සතුටක් ලැබුවොත් දුකක් ද ලැබෙනවා. අටලෝ දහම කියන්නේ එකට තමයි. එම ජීවන සත්‍යය ආදරයට සේම රාගයටත් එලෙසම අදාළයි. ලිංගිකත්වයේ අවසානයත් ඔහුට ගෙනෙන්නේ දුකක්. ”මෙමා හඩවයි බිඳුණු තුසිතය, සුරන් නැලවු සුයාමය” ගීතය අවසාන වන්නේ එතනින්. මුලින්ම තරුණියගේ අඩ නිරුවත දැක්කාම ඔහුට ඇයගේ සිරුර පෙනුනේ මල්සරා ගේ වේදිකාව වගෙයි. එසේම එම වේදිකාව මත ඔහුට සෙල්ලමක් දාන්න ලැබුණොත් තුසිත සහ සුයාම යන දිව්‍ය ලෝකයන් දෙකේම රසයන් එකවර විදින්න පුළුවන් තරම් දිව්‍යම සැපතක් ලැබෙයි කියලා ඔහුට හිතුණා. ඔහු එමනිසා මනසේ සල්ලාලයාට අවදි වෙන්න ඉඩ දුන්නා. එහෙත් දැන් ඔහු තුල දුකක් පවතින්නේ ඇයි? මෙමා හඩවයි බිඳුණු තුසිතය, සුරන් නැළවු සුයාමය... ගීත රචකයා මුලින්ම ශෘංගාරාත්මක සිනමාපටයක් අපට පෙන්වා අවසානයට බණක් කියන්නේ ඇයි?

හේතු දෙකක් නිසා ඔහු අඩන්න පුළුවන්. අංක එක තමයි ඔහුට ලිංගික සංසර්යෙන් පසුව ”මොකද්ද මම ඒ කළේ” කියන හිස් බව මනස තුළ ඇති වෙන්න පුළුවන්. මන්දයත් ලිංගික එක්වීමෙන් පස්සේ පිරිමියාට මනස හිස් කරගන්නත්, ගැහැණියට මනස පුරවා ගන්නත් අවශ්‍යයයි. අනික් හේතුව තමයි රාගයට ඉමක් කොනක් නෑ. එම සීමාවක් නැති අතෘප්තිය සහ නිමාවක් නොවෙන ආශාව ඔහුව හඩවනවා වෙන්්නත් පුළුවන්. යථාර්තය තුළ දී බොහෝ සුන්දර දෙවල් පිටුපස තිබෙන්නේ හුදු මායාවක් යන වග තවදුරටත් කියවෙනවා. ඉතිං ආනන්දයෙන් ප‍්‍රඥාවට නිර්මාණයකින් රසවිදින්නාව රැුගෙන යන්න පුළුවන් කියන කාරණයට හොඳම උදාහරණයක් සපයන ගීතයක් ලෙස මෙම අති විශිෂ්ට ගිීතය හඳුන්වන්න පුළුවන්. එහෙනම් නිවාඩු පාඩුවේ අහලා බලන්න.

කැලූම් වැලිගම මව්බිම පුවත්පතට ලියූ ලිපියෙන් උපුටා ගැනීමකි.
www.kelumweligama.lkලංකාවේ සාරාගීම ගීතය

කුමරියක පා සළඹ සැලූණා
වසා සිටි නෙතු පියන් ඇරුණා
කුමර බඹසර අසපුවේ මා
සම වැදී හුන් දැහැන බිඳුණා

උකුළ ළම හස මලවි කරළිය
මුවා කළ ඇගේ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැුහැන් ඇද
මෙමා අභියස මැවුණු තුසිතය
සුරන් නැළවු සුයාමය

නිසල ජීවන තපෝ වන මැඳ
හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද
තළා සිඳ කම්පනය කරවයි
ළපලූ තුරුවැල් කැකුළු මල් පෙති
මෙමා හඩවයි බිඳුණු තුසිතය
සුරන් නැලවු සුයාමය

No comments