Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

හමුදාවටත් නැති ගිනි අවි තොගයක් ගේන්න මධුෂ් ගහපු ගේම...

මාකඳුරේ මධුෂ්ගේ අලුත්ම සැලැස්මක් මෙම සතියේ එළිවන්නේ මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයටය. ප්‍රභූ ඝාතන සැලැස්මක් හෝ වෙනත් ඉලක්කයක් සඳහා මෙරට හමු...

මාකඳුරේ මධුෂ්ගේ අලුත්ම සැලැස්මක් මෙම සතියේ එළිවන්නේ මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයටය.

ප්‍රභූ ඝාතන සැලැස්මක් හෝ වෙනත් ඉලක්කයක් සඳහා මෙරට හමුදාවලටත් නැති ගිනි අවි තොගයක් ගෙන්වා ගැනීම මධුෂ්ගේ ඉලක්කයය.

එම් 39 වර්ගයේ මැෂින් තුවක්කු තොගයක් මෙරටට ගෙන එන්නට මධුෂ් කළ සැලසුම දැන සිටියේ ඔහුගේ ළඟම සාමාජිකයා වූ කසුන් ධනංජය හෙවත් වෙඩිකන්දේ කසුන්ය.

මධුෂ් තමාට අයත් අවි ආයුධ සඟවා තබන්නට වෙඩි කන්දේ කසුන්ව තෝරාගෙන තිබුණේය. ඒ තමාගේ සියලු දේ භාරව සිටි තිලක්ව පොලිස් විශේෂ කාර්ය බළකායෙන් විල්පිට කැලෑවේදී ඝාතනය කළ පසුවය.

ඒ වනතෙක් සැඟවුණු චරිතයක් වූ තිලක් මධුෂ්ගේ සියලුම මෙහෙයුම් කළ අයකුද විය.

වෙඩිකන්දේ කසුන් මධුෂ්ට හමුවන්නේ මීගමුව බන්ධනාගාරයේදීය. කොල්ලකෑම් චෝදනාවලට හිරේට යන මධුෂ්ට එහිදී වෙඩිකන්දේ කසුන්ද හමුවන්නේය. කසුන් හිරේට යද්දී වයස අවුරුදු දාහතකි. ඇප ගෙවා ගන්නට නොහැකිව බන්ධනාගාරයේ සිටින විට කසුන්ට ඇප මුදල ගෙවන්නේ මධුෂ්ය.

මධුෂ් තම පාතාල කල්ලියේ නව යොවුන් වියේ තරුණයන් හිරගෙදරදී එකතු කරගත්තේ මෙවන් කූට උපක්‍රමවලින්ය. මධුෂ්ගේ අපරාධ කල්ලියට පසු කාලීනව සම්බන්ධ වූ බහුතරය මේ අයුරින් ඇප ගෙවාගත නොහැකිව හිරේ සිටියවුන්ය. ඔවුන්ව නිදහස් කර එළියට යවන්නේ අවශ්‍ය මොහොතක වැඩ ගන්නටය.

මධුෂ් ඒ සඳහා සියලු දෙනාගේ දුරකථන නාමාවලියක් සැමවිටම ළඟ තබාගත්තේය. නමගිය මංකොල්ලකරුවකු වූ මාකඳුරේ මධුෂ් පාතාල කල්ලි නායකයකු බවට පත්වන්නේ මේ කියන හිරේදී හමුවන තරුණ අපරාධකරුවන්ගේ කර මතින්ය.

පන්නිපිටිය, ඇරැව්වලින් කෝටි 700ක දියමන්තිය පැහැරගන්නට මධුෂ් සැලසුම් කරද්දී ඩුබායි සිට ආයුධ ගෙන්වා ගන්නේ වෙඩිකන්දේ කසුන් ලවාය. කසුන්ට කතාකර මහරගමට 3.8 වර්ගයේ රිවෝල්වරයක් රැගෙන යන්නට උපදෙස් දෙන්නේ මධුෂ්ය. මධුෂ් එම ගිනි අවිය ලබාගන්නට මාතර මල්ලි හෙවත් මාතර රොටුඹ පදිංචි මධුරංගව පිළියන්දලට ගෙන්වා ගත්තේය. කොල්ලය හරිහැටි ක්‍රියාත්මක වනවාදැයි බලන්නට පැවරුණේද කසුන්ටය.

මාකඳුරේ මධුෂ්ගේ පැරණිම සාමාජිකයන් අතරේ වෙඩිකන්දේ කසුන්ට ඇත්තේ ඉහළ තැනකි. කසුන් මාකඳුරේ මධුෂ් වෙනුවෙන් ඕනෑම අපරාධයකට යන අයෙකි. ඒ වෙනුවෙන් කසුන්ට මාසයකට කුඩු ගන්නට රුපියල් ලක්ෂ දෙකක්වත් මධුෂ්ගෙන් ලැබෙන්නේය.

මත්කුඩු ජාවාරම සඳහා මධුෂ් යොදවා ඇති ඔත්තුකාරයකුද වන්නේ වෙඩිකන්දේ කසුන්ය.

වෙඩිකන්දේ කසුන් මධුෂ්ට සම්බන්ධ වන්නේ තම බිරියව බලහත්කාරයෙන් දූෂණය කළ බ්ලූමැන්ඩල් සංඛගෙන් පළිගන්නටය. බ්ලූමැන්ඩල් සංඛ කොළඹ පාතාලයේ තවත් පාතාල නායකයෙක්ය.

බ්ලූමැන්ඩල් සංඛගෙන් පළිය ගන්නාතුරු මාකඳුරේ මධුෂ් දෙන ඕනෑම නියෝගයක් සඳහා වෙඩිකන්දේ කසුන් සූදානමින්ය. ඒ බව දන්නා නිසාම මෙරට විශාලම කොල්ලය වන දියමන්ති කොල්ලයට අවශ්‍ය ආයුධ හා කොල්ලය ක්‍රියාත්මක වන ආකාරය බලන්නට යෙදුවේ වෙඩිකන්දේ කසුන්ය. ඒ වෙනුවෙන් කසුන්ට දුන් මුදල රුපියල් ලක්ෂ තුනක්ය. ඉන් අසූ දාහක්ම ගිනි අවිය රැගෙන ඒම වෙනුවෙන් මුලින්ම කසුන්ගේ ගිණුමට වැටුණේය. පන්නිපිටිය ඇරැව්වල කනත්ත ආසන්නයේ සිට මධුෂ් විසින් කොල්ලයට එවූ විදේශිකයා ඇතුළු දෙදෙනා ඉලක්කගත තැනින් යනවාදැයි බලන්නට යොදා තිබුණේ කසුන්මය. එම මෙහෙයුම අවසන් කළ පසු වෙඩිකන්දට යන කසුන් මෙම සතියේ මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයට කොටුවන්නේය.

මාකඳුරේ මධුෂ් ඇමෙරිකාවේ නිෂ්පාදිත අවි තොගයක් තමන්ට එවන්නට කතා කළ බව කසුන් හෙළිකරන්නේ දීර්ඝ ප්‍රශ්න කිරීමකදීය. අන්තවාදී සංවිධානවල සහායෙන් අලුතින් ගිනි අවි ගෙන එන්නට මධුෂ්ගේ සැලසුමය.

කසුන්ට මධුෂ් දැන්වූ ආකාරයට එම්. 39 වර්ගයේ ගිනි අවි තොගයක් මෙරටට එවීමට නියමිතය. මේවා එවන බව කිව්වේ පස්දෙනකු මාර්ගයෙනි.

මෙරට ආරක්ෂක අංශවල සිටින පොලිස් විශේෂ කාර්ය බළකාය, නාවික හමුදා විශේෂ යාත්‍රා බළගණය පවා භාවිත කරන්නේ එම් - 16 ගිනි අවිය. මේවා ප්‍රභූ ආරක්ෂාවට හා නගරබද සටන්වලට ගන්නා ඒවාය. එම ගිනි අවියේ අලුත්ම මාදිලියක් වන්නේ එම් - 39 යි.

මාකඳුරේ මධුෂ්ගේ නම ප්‍රභූ ඝාතන සැලැස්මකට සම්බන්ධ බව හෙළිකළේ් නාමල් කුමාරය. ඒ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂය.

ඔහු කිව්වේ ජනාධිපතිවරයාත්, හිටපු ආරක්ෂක ලේකම්වරයාත් ඝාතනය කිරීමේ සැලැස්මකට මධුෂ්ගේ සහාය ගන්නට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා උත්සාහ ගත් වගය. ඔහුගේ එම අනාවරණය ඇත්ත නම් මධුෂ් ප්‍රභූ ආරක්ෂක ගිනි අවි ගෙන එන්නට සැලසුම් කළේ ඇයිදැයි ප්‍රශ්නයකි.

මාකඳුරේ මධුෂ් අද වනවිට අත්අඩංගුවේ පසුවුවත් බිලියන ගණනක දේපළවලට හිමිකම් කියන්නකු බවට පත්වී හමාරය. ඒ හෙරොයින් ජාවාරමෙන් හා කප්පම් ගැනීමෙන්ය. ධන කුවේරයකු වීම ඔහුගේ අරමුණය.

වටිනා ඉඩමක් විකුණන්නට යන්නේ නම් සමහර ප්‍රදේශවල මධුෂ්ට කප්පම් නොගෙවා ගැලවෙන්නට බැරිය. ඒ තරමටම කප්පම් පාතාලය හිස ඔසවා හමාරය. රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයන් දැන් නිදහසේ හුස්මක් ගන්නේය. ඒ මේ දිනවල මධුෂ්ගේ භීෂණය පහව ඇති නිසාය.

මධුෂ්ගේ රට පුරා සිටින අපරාධකරුවන්ගේ ජාලයෙන් විශාල ගනුදෙනුවක් සිදුවෙන්නේ නම් මධුෂ්ට තොරතුරු එන්නේය. පන්නිපිටිය, ඇරැව්වල ව්‍යාපාරිකයකු ළඟ රුපියල් කෝටි හත්සියයක දියමන්තියක් ඇති වග මධුෂ්ට කියන්නේ මැණික් ව්‍යාපාරිකයකුගේ බේ‍රා්කර්වරයෙකි.

ඇරැව්වල දියමන්ති හිමියා තම දියමන්තිය ගැන කියන්නේ මීගමුවේ මැණික් ව්‍යාපාරිකයෙක්ටය.

ඔහු තම ඩුබායි බේ‍රා්කර්වරයකුට කියන්නේ විදෙස් ගැනුම්කරුවෙක් සොයාගන්නටය. එම ගනුදෙනුව කැරකී යන්නේ මාකඳුරේ මධුෂ්ටය. මධුෂ් එතැන් පටන් ඔස්ටි්‍රයා ජාතිකයකුද සම්බන්ධ කර දියමන්තිය කොල්ලකන මෙහෙයුම සැලසුම් කළේය.

මෙවන් වටිනාකමක් ඇති දියමන්තියක් විකිණිය හැක්කේ විදෙස් ආයෝජකයකුට බවද හිමිකරු තේරුම් ගෙන තිබුණේය. ඔහු දියමන්තිය ආරක්ෂිතව තබා ගත්තේද වටිනාකම වැඩි නිසාය.

කෙසේ වුවත් මාකඳුරේ මධුෂ් එකිනෙකට සොයාගත නොහැකි කණ්ඩායම් තුනක් කොල්ලයට යොදා ගත්තේය. වෙඩිකන්දේ කසුන් එහි එක් කොටසක් ඉටුකළ චරිතයක් පමණය.

මාතර මල්ලි හා ලොකු අයියා (නාලක) කොල්ලයේ තවත් පාර්ශ්වයකි.

කොල්ලකන ලද දියමන්තිය ඩුබායි රැගෙන යන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්, නළුවන්, ගායකයන් ඇතුළු කණ්ඩායමක් අතරේ බව තහවුරු කර ගන්නේ මිරිහාන පොලිස් ඒකකයෙනි. මෙකී පුද්ගලයන් සම්බන්ධව කළ විමර්ශනයෙන් එය හෙළිකර ගත්තේය. කටුනායක ගුවන්තොටුපළ දක්වා මෙය රැගෙන ගිය ආකාරයද හෙළිකරගන්නේ එම ජාල පරීක්ෂණයෙන්ය.

පසුගිය දෙසැම්බරයේ හා පෙබරවාරි මාසයේ ගායන ශිල්පීන්, රංගන ශිල්පීන් ඩුබායි සංචාරය කරන්නේ මධුෂ්ගේ ආරාධනයෙන්ය. ගායකයන් දැනුවත්ව හෝ නොදැනුවත්ව පාතාල ක්‍රියාකාරකම්වලට යොදාගන්නේ මේ සංචාරය අතරේය. මධුෂ්ගේ කොකේන් පාටිවලට යන අතරේ රේගුව හරහා නීති විරෝධී දේ පන්නා ගැනීමටත් මොවුන් උපයෝගි කරගත් බවට දැන් ඇති සැකයයි.

මාකඳුරේ මධුෂ් ප්‍රභූ ආරක්ෂක ගිනි අවි ගෙන්වන්නටද හැදුවේ මොවුන්ගේ මාර්ගයෙන්ද යන්න මීළඟට නැඟෙන ප්‍රශ්නයයි. මාකඳුරේ මධුෂ්ට දියමන්තිය ඩුබායිවලට පන්නන්ට රේගු නිලධාරියකුගේ සහාය ලැබී ඇති බවට ලද තොරතුරක් ඔස්සේද විමර්ශන කෙරෙන්නේය.

පාදුක්ක ප්‍රදේශයේදී නොවැම්බර් 17 දා මෙම දියමන්ති කොල්ලයට මුලින්ම ඇල්ලූ ලොකු අයියා හෙවත් නාලකගේ ජංගම දුරකථනයේ තිබූ ඡායාරූප හා වීඩියෝ පරීක්ෂාවේදී මෙම තොරතුරු හෙළිවී තිබුණේය. ලොකු අයියාගේ ජංගම දුරකථනයේ තිබුණේ මධුෂ්ට ඩුබායි යවන්නට ගත් දියමන්තියේ ඡායාරූප හා වීඩියෝය.

මාකඳුරේ මධුෂ් තම දෙවැනි බිරිය වූ කළු තුෂාරගේ බිරියට දෙන්නට ගෙන්වූ දියමන්තිය ගැන මීළඟට මුලින්ම ප්‍රශ්න කිරීමට ඇත්තේ රයන් රෝවන් හා අමල් පෙරේරාගෙන්ය.

ඔවුන් ඩුබායි අත්අඩංගුවෙන් මිදී මෙරටට පැමිණි විගස මෙරටදීත් ප්‍රශ්න කිරීමට නියමිතව ඇත්තේ ජංගම දුරකථන ජාල පරීක්ෂණවලින්ද මොවුන් මධුෂ් හා සම්බන්ධ වීම නිසාය.

මාකඳුරේ මධුෂ් ඩුබායිවලට මෙම පිරිසට අමතරව ගෙන්වාගත් තම කල්ලියකට සාදයක් පවත්වා ඇතැයි මෙරටට දැනගන්නට වූයේ ගිය සතියේය. එම තොරතුරු පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුවත් කළේ එම සාදය බන්ධනාගාරගත සිරකරුවන් ඉලක්ක කරන ප්‍රහාරයක් සඳහා තිබූ එකක් නිසාය.

හෙරොයින් ජාවාරමේ ආධිපත්‍ය වෙනුවෙන් සටන් වදින මාකඳුරේ මධුෂ් මෙම සාදය පවත්වා තිබුණේ තමාගේ හිතවත්ම කණ්ඩායමකටය.

දෙමටගොඩ චමින්ද, වෙලේසුදා ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ප්‍රබල චරිත ඉලක්කය බන්ධනාගාර බස් රථයේ රැගෙන එනවිට පහරදීම මධුෂ්ගේ එක් සැලසුමකි. නඩු විභාග සඳහා උසාවියට ගෙන එනවිට පහරදීම තවත් සැලසුමකි. එසේත් නොමැති නම් බන්ධනාගාර තුළදීම සැලසුම් සහගතව මරා දැමීම තවත් සැලසුමකි. මධුෂ් විසින් සාදයට ආ කණ්ඩායමට බන්ධනාගාර ප්‍රහාරය එල්ල කරන්නට දින යොදා තිබුණේ පෙබරවාරි 11ත් පෙබරවාරි 15ත් අතරතුරදීය.

මෙම තත්ත්වය තුළ බන්ධනාගාරගතව සිටින කුඩු මෝරුන්ගේ ආරක්ෂාව තර කර ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට උපදෙස් ලැබෙන්නේ මධුෂ් දුන් නියෝගය යම් හෙයකින් ක්‍රියාත්මක වුවහොත් යළිත් ඉලක්කයක් කරා යෑමට ඉඩ ලැබෙන නිසාය.

හිරේ සිටින කුඩු මෝරුන්ගේ ආරක්ෂාව තර කරන්නට යෙදෙන්නේ මධුෂ්ගේ මේ සැලසුම හෙළිවූ පසුය.

මධුෂ් තමන්ට විරුද්ධ කුඩු මෝරුන් ඉලක්ක කරගෙන ලංකාවේ මෙහෙයුමක් සැලසුම් කරද්දී මධුෂ්ට එරෙහිව ඩුබායිහි මෙහෙයුම් තුනක් ක්‍රියාත්මක විය.

එකක් අන්නාසි මෙරිල්ගෙන්ය. අන්නාසි මෙරිල් ලක්ෂ ගණනින් වියදම් කළේ මධුෂ්ට එරෙහි ප්‍රහාරයකටය. අවස්ථාව ලැබෙන තුරු විවිධ තොරතුරුකරුවන් යොදා තිබුණේය. ඇතැම් විට මධුෂ් යන එන තැන්වල ඡායාරූප මොරිල්ගේ දුරකථනයට ආවේය.

මොරිල් එක සැලසුමක් දියත් කරද්දී පාකිස්තාන් කුඩු ජාලය මෙරට ජාවාරම්කරුවන් සමඟ එක්ව මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු යවන්නේ මධුෂ්ගේ ඉලක්කයටය. ලක්‍ෂ ගණනක මුදල් වියදම් කර මොවුන් දෙදෙනා මධුෂ්ගේ සමීපයට යන්නට සැලසුමය. මධුෂ් ඒ වන විට වැඩිපුර එළියට නාවේය.

ජනපති ඝාතන සැලසුම හෙළිවීමත් සමඟ මධුෂ් සැඟවුණු චරිතයක් විය. පාකිස්තාන් කුඩු ජාලය මධුෂ්ව මරා දමන්නට පාකිස්තානයෙන් ගිනි අවි මෙන්ම ඝාතනයට යන අයව බේරාගන්නට බෝට්ටුවක් ද සූදානම් කරන්නට විය. මධුෂ් ඝාතනය කළ වහාම බෝට්ටුවකින් ඩුබායිවලින් පාකිස්තානයට ගෙනැවිත් ඝාතකයන් මවු රටට යැවීම ඉලක්ක විය. බංග්ලාදේශ කතුන් දෙදෙනකු පාකිස්තාන් කුඩු ජාලය පුහුණු කර තිබුණේ මධුෂ්ව මෙන්ම මධුෂ් ළඟ සිටින කංජිපානි ඉම්රාන්වත් ඝාතනය කරන්නටය. මේ තත්ත්වය තුළ

මධුෂ් හා කංජිපානි ඉම්රාන්ට ඩුබායිවලින් නිදහස් වුවත් නිදහසේ සිටින්නට නොහැකි විය. මධුෂ්ගේ හා කංජිපානිගේ මෙරට ඇති වත්කම් හා බැංකු ගිණුම් විස්තර ද සොයා යන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හා විශේෂ කාර්ය බළකාය යොදාය. මධුෂ්ටත්, කංජිපානිටත් පාකිස්තාන් කුඩු ජාලයෙන් මෙන්ම මෙරට විමර්ශන කණ්ඩායම්වලින් ගැලවීම දැන් නම් අසීරුය.

පුබුදු වික්‍රමතිලක

No comments