Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මධුෂ්ගේ ගෝලයාට ලක්‍ෂ 37ක සුරයක් දැමූ බව කියන ජ්‍යෙතීර්වේදියා

මාකඳුරේ මධුෂ්ගේ දකුණු අත ලෙසින් සිටි කැවුමා නොහොත් කැලුම් නමැත්තා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සතුව තිබී රුපියල් ලක්‍ෂ 37ක් විදයම් කර පැළඳු...

මාකඳුරේ මධුෂ්ගේ දකුණු අත ලෙසින් සිටි කැවුමා නොහොත් කැලුම් නමැත්තා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සතුව තිබී රුපියල් ලක්‍ෂ 37ක් විදයම් කර පැළඳුවේ යැයි කියන සුරයක් පොලිසිය විසින් මාධ්‍යයට පෙන්වන ලදී. ඒ සුරය සකස්කර දුන් බවට යැයි කියැවෙන ජ්‍යෝතීර්වේදියා කව්දැයි අපි සොයා බැලුවෙමු. ඒ කථාවේ ඇත්ත නැත්ත සහ තවත් විස්තර මෙසේ විමසුවෙමු.

මාකඳුරෙ මධුෂ්ගේ සමීපතමයා කියන කැලුම්ට ලක්‍ෂ 37 ක සුරයක් දැම්මේ ක්‍රිෂාන් නිලංග කියන ජ්‍යෝතීර්වේදියෙක් කියලා පොලිසියේ සටහන් වල තියෙනවා. ඒ ක්‍රිෂාන් නිලංග ඔබද නැතිනම් වෙන කෙනෙක්ද?
කියැවිලා තියෙන්නේ නම් මගේ නම ලක්‍ෂ 37ක් දීලා සුරයක් දාගන්නවා කියන්නෙත්, ඒ වගේ ගානක් අයකරල සුරයක් දානව කියන්නෙත් ලේසි වැඩක් නෙමෙයි. සුරය දාගන්න කෙනෙයි, සුරය හදන කෙනෙයි දෙන්නම ‘සුර-සැප’ විඳින අය වෙන්න ඕනේ මගේ නම එතැනදි කියැවුනාට, මම නම් ඔය කියන විදිහේ ලක්‍ෂ 37ක සුරයක් කාටවත් දාලා නැහැ. ඒ කතන්දරය සම්පූර්ණයෙන්ම බොරු.

ඒ කියන්නේ ‘කැවුමා’ කියලා හඳුන්වන කැලුම් කියන කෙනෙක්වත් ඔබ දන්නෙ නැහැ?
කැවුමා කියන නමක් නම් මම දැනගෙන හිටියේ නැහැ. ඒත් ඔය කැලුම් කියන පුද්ගලයා මගෙන් කේන්දර බලාගත්ත කෙනෙක්.

ඔබ දැනගෙන හිටපු කැලුම් මොන වගේ කෙනෙක්ද?
මිනහා මං ඉස්සරහට ආවෙ බොහොම සුන්දර චරිතයක පෙනුමකින්. ලස්සන කොල්ලෙක්. මැණික් ව්‍යාපාරිකයෙක් කියලා තමයි මට කිව්වේ. කනට ඇහෙන්න වචනයක් කථා කරන්නේ නැහැ. ඇවිල්ලා වාඩිවෙන්නේ වැඳලා. ආපහු යන්නේ වැඳලා. බොහොම යටහත් පහත් හැසිරීම් තිබුණු මනුස්සයෙක්. මොකද මිනිහගෙ පරම්පරාවම මගෙන් කේන්දර බලල තියෙනවා. ඒත් මිනිහ ගැන කිසිම දොසක් කියැවිලා නැහැ කාගෙන්වත්. ඔය ආරංචිය ආවහම මට අදහගන්නත් බැරිවුණා.

ඒ කියන්නේ මිනිහ කව්ද කියලා කේන්දරෙන් හොයගන්න බැරිවුණා.
කේන්දරෙන් මනුස්සයෙක්ගෙ හැම දෙයක්ම පේන්නේ නැහැනේ. ඒක අපි කව්රුත් දන්න දෙයක්. හැබැයි පලාපල ටික බලල ඒ ඒ කාලයට මොකද්ද එයාට වෙන්න පුළුවන් දේ කියලා කියන එකයි, ඒකට අදාළ වත් පිළිවෙත් ටිකයි කියන්න පුළුවන්.

එතකොට කැලුම්ගෙ කේන්දරේ බලද්දි ඔය සිද්ධවුණු දේවල් ඔබ දැක්කද?
මම ඒක බලලා ‘පුතෝ, හිරේ විලංගුවෙ වැටෙන තත්ත්වයක් නම් ඉස්සරහට පෙන්නනවා. හතර හංදි කැඩෙන්නත් පුළුවන්. එන කාලෙ නම් හොඳ නැහැ’ කියලා කිව්වා. එතකොට ‘ඉඩමකට වුණු ආරවුලක් නිසා දැනටමත් නඩුවක් නම් තියෙනවා’ කියලා මිනිහ උත්තර දුන්නා.

කැලුම්ගෙ සුරයට ඔබේ නම පැටලෙන්නේ කොහොමද ?
පටලවල හරි, පටලවගන්න හරි පටලගෙන හරි තියෙන දෙයක් මිසක් ඔය සුර කථාව නම් මම නම් කොහෙත්ම දන්නේ නැති කථාවක්.

ඒ කියන්නේ ඔබ ජ්‍යෝතීර්වේදියෙක් වුණත් සුර ගැන දන්නෙ නැහැ කියන එකද?
නැහැ නැහැ. සුර ගැන දන්නවා. සුර නිර්දේශත් කරනවා. මගෙ ළඟ තියෙනවා කොළ තුනක් පුරා ලියැවුණු වත්පිළිවෙත් ඇතුළත් උපදෙස් මාලාවක්. හඳහන් බලන්න එන අයගෙන් අපල තියෙන හැම කෙනෙක්ටම වගේ මේක දෙනවා. ඒකෙ සුර පළඳන්න නිර්දේශ කරනවා. ඒ විදිහටම කැලුම්ටත් ඒ කොළය දුන්නා. ඒ කියන්නෙ කැලුම්ට සුරයක් පළඳින්න මම නිර්දේශ කරපු එක ඇත්ත. ඒත් ඔය පෙන්නන සුරය මම දාපු එකකුත් නෙමෙයි. මම දැකලා තියෙන එකකුත් නෙමෙයි. මගෙ ළඟ ලක්‍ෂ තිස්පහේ හතළිහේ සුර ඇත්තෙත් නැහැ. මම උදේ පාන්දර ඉඳන් හැන්දෑවෙ හතරපහ වෙනකම් කේන්දර බලන මනුස්සයෙක්. මට ඕවා කරන්න තියා ඒ ගැන හිතන්නවත් වෙලාවක් නැහැ. එයා ඒක පිටින් කාටහරි කියලා කරගත්තු දෙයක්ද කියල නම් මම දන්නෙ නැහැ.

ඔය කියන විදිහට ලක්‍ෂ ගණන්වල සුර ඔබ ළඟ නැති වුණාට වෙන කෙනෙක් ලවා හරි කරගන්න, ඒ ගණන්වල සුර ඔබ නිර්දේශ කරනවා?
කීයටවත් නැහැ. ඔය වගේ ලක්‍ෂ තිස්ගාණක සුරයක් හදනවා නම් කීප දෙනෙක්ම ඒ වෙනුවෙන්ම මාස ගාණක් කැප වෙලා, පේ වෙලා කරන්න වැඩ ගණනාවක් තියෙනවා. ඒක සෙල්ලම් වැඩක් නෙමෙයි. මේ වගේ කාලෙක ඒ වගේ දේවල් ප්‍රායෝගික නැහැ.

ඒ කියන්නේ ලක්‍ෂ ගණන් මිල වෙන සුර ඇත්තෙම නැද්ද?
ඔය වගේ මුදලක් යනවා නම් යන්නේ මහාමාතාංගේෂ්වර සුරයකට. මං දන්න යන්ත්‍ර විද්‍යාවෙ හැටියට නම් ඒ වගේ යන්ත්‍රයක් සකස් කරන්න, ගොම මැටි ගාපු ගෙයක් ඒ වෙනුවෙන්ම හදාගන්න ඕනේ. ඒකෙ රඹකැන් හිටවන්න ඕනේ. මල් පැළවල් හදන්න ඕනේ. උඩුවියන් පාවඩ සකසන්න ඕනේ. මාස හතරක් පහක් එකදිගට පේ වෙලා තුන් හතර දෙනෙක් ඒකතුවෙන් ඒක ජීවං කරන්න ඕනේ. මේ ඔක්කොම බැලුවහම ඒ වගේ වැඩක් ලක්‍ෂ තිස්පහෙනුත් බැහැ. අද කාලෙ හැටියට ලක්‍ෂ 60ක් 70ක් යන වැඩක්.

ඇත්තටම ඔබ දන්න යන්ත්‍ර විද්‍යාවේ ඔය කියැවුණා වගේ සිංහ තෙල් එහෙම යොදල හදන සුරත් තියෙනවද?
සිංහ තෙල් විතරක් නෙමෙයි, ව්‍යාඝ්‍ර දැහැන වගේ දෙයක් හදන්න නම් කොටි තෙලුත් ඕනි. ඒවා ලංකාවෙ නැති නිසා ඒවා ඉන්දියාවෙන් වගේ ගෙන්වන්න ඕනේ. ඒවා ලෙහෙසි වැඩ නෙමෙයි.

ඔය කියන විදිහේ සිංහ තෙල් තියෙන සුර දැම්මේ නැතිනම්, ක්‍රිෂාන් නිලංග ජ්‍යේතීර්වේදීතුමා දාන සුරයකට අයකරල තියෙන වැඩිම ගාන මොකක්ද?
රුපියල් 23,500යි

ඔබ සුර කීයක් පළඳිනවද?
මමත් එක සුරයක් පැළඳගෙන ඉන්නවා. මමත් ඒ ආරක්‍ෂාව ගන්නවා.

ඒ මොන ජාතියේ සුරයක්ද?
රවි අපළ වලට පළඳින සිවශූරමණ්ඩලයක්

ඒ සුරයෙ මිල කීයක් විතර වෙනවද?
ඒක මට මේ ශාස්ත්‍රය කියල දුන්නු ගුරුතුමා දාපු සුරයක්. ඔහු දැන් ජීවතුන් අතර නැහැ. පරම්පරාවෙන්ම මේ ශාස්ත්‍රය පුරුදු කරපු කෙනෙක්.

මම ඇවිත් ඔබෙන් ඔය කියන වර්ගයේ යන්ත්‍රයක් මට දාන්න ඉල්ලුවොත් කීයක් අයකරනවද?
ශිවසූරමණ්ඩල වගේ යන්ත්‍ර දාන්න දක්‍ෂ අය දැන් නැහැ. කොටින්ම මම කරන්නෙත් නෑ.

මොන මොන සමාජ මට්ටම්වල අයද වැඩිපුර එන්නේ සුර දාගන්න?
මේකෙ එහෙම දෙයක් නැහැ. කම්කරුවගෙ ඉඳන් ඉහළම පැලැන්තියේ මිනිහා දක්වා එනවා.

ඒ කියන්නෙ ජ්‍යොතීර්වේදියෝ අපේ රට දැන් සුර-පුරයක් කරලා තියෙන්නේ
මම නම් එන එන හැමෝටම සුර පළන්ඳන්න යන්නේ නැහැ. මිනිස්සුන්ව හූරගෙන කන වැඩ මෙතන වෙන්නේ නැහැ. මම මේක ප්‍රතිපත්තියක් ඇතිව කරන දෙයක්. මම කවදාවත් හාමුදුරුවරුන්ගෙ කේන්දර බලන්නේ නැහැ. අමාරු රෝගියෙක් වගේ කෙනෙක්ගෙ කේන්දරය බලන එක ඉක්මන්ම දිනයක් දීලා කරලා දෙනවා. කේන්දරය බලාගන්න වියදම් කරන්න හැකියාවක් නැති අයට නොමිලේ කේන්දරය බලලා දෙනවා. මගේ සේවය වෙනුවෙන් සල්ලි ගන්නෙ ඒ කෙනා එනකොට නෙමෙයි කේන්දරය බලාගෙන යනකොට. තමන්ට කේන්දරය හරියටම කියැවුණා කියලා ඒ අය තෘප්තිමත් නම් විතරයි සල්ලි ගන්නේ. මේ දක්වා කවදාවත් කව්රුවත් මට දොස් කියලා නැහැ. ජ්‍යෝතීර්වේදයේ ගෞරවය උපරිමයෙන් රැකෙන විදහට වැඩ කරලා තියෙනවා.

එහෙව් ඔබටත් මේ අහක යන සුරයක් අන්තිමේදී උරචක්කරමාලයක් වුණානේ. ඇත්තටම මොකද වුණේ?
මේ මනුස්සයගෙ ගෙරද තියලා තියෙනවා මගෙන් කේන්දර බලාගත්හම මම පිළිවෙත් නියම කරන කොලයක්. ඒ අනුව තමයි මගෙන් මේ ගැන අහන්නේ. අපි ළඟට කේන්දර බලන්න එන මනුස්සය කව්ද කියන එක නෙමෙයිනෙ අපි බලන්නේ. කව්රු හරි තමන්ගේ කලදසාව බලන්න ආවාහම ඒ කෙනාට තියෙන අපල ආදී දේවල් බලලා, අවශ්‍ය වතාවත් මොනවද කියන එකනෙ මගේ රාජකාරිය. හරියට දොස්තර කෙනෙක් තමන් ළඟට එන ලෙඩාට බෙහෙත් ලියල දෙනවා වගේ දෙයක් මේක. මම මාසෙකට කේන්දර 1500ක් විතර බලනවා. ඔය අතරින් කෙනෙක් වැරදි දෙයක යෙදුනා කියලා ඒකට මම මොකද කරන්නේ. මොකද ඒ වැරැද්දකට වචනයකින් හරි මම අනුබලයක් දීලා තියෙනවාද? මගෙ දරුවන්ට පාරෙ බැහැලා යන්න බැරි වැඩ මම කරන්නේ නැහැ. මම ආත්මගරුත්වයක් ඇතිව ඉන්න කෙනෙක්. මම ලංකාවේ පිළිගත් විශ්වවිද්‍යාලයක ආචාර්ය උපාධියක් තියෙන කෙනෙක්. සල්ලිවලට ගත්තු එකක් නෙමෙයි ඒක.

(ඉන්ද්‍රජිත් සුබසිංහ)

No comments