Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සාමාන්‍ය පෙළ කඩුල්ල උඩින්ම පැනගත් දිරිය දරුවෝ

2018 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගියදා (28) නිකුත් විය. එම ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ඉහළම ලකුණ...

2018 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගියදා (28) නිකුත් විය. එම ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ඉහළම ලකුණු ලබාගත් විශිෂ්ටයෝ දහදෙනෙක් ඉදිරියට පැමිණ සිටිති.

2018 වසරේදී සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අපේක්ෂකයින් 422,850ක් දී පෞද්ගලික අපේක්ෂකයින් 233791ක් ද ඇතුළුව සමස්ථ අයඳුම්කරුවන් 656641ක් පෙනී සිටියහ. 2018 වසරේ දෙසැම්බර් මස 03 වැනි දින සිට දෙසැම්බර් 12 දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4661ක මෙම විභාගය පැවැත්විණි.

මෙම ප්‍රතිඵලයන්ට අනුව දිවයිනේ හොඳම ප්‍රතිඵලය වාර්තා කිරීමට කොළඹ විශාකා විද්‍යාලයට හැකියාව ලැබුණි. දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය දිනාගනු ලැබුවේ කොළඹ විශාකා විද්‍යාලයේ නිලක්නා දිසිවරී වරුෂවිතාන සිසුවියයි. එමෙන්ම මෙවර දෙවැනි ස්ථානයට ලකුණු ලබාගත් සිසුවියෝ තිදෙනෙක් සිටිති. කොළඹ විශාකා විද්‍යාලයේ ගරසිංහ ආරච්චිගේ සවිති හංසදී, ගම්පහ රත්නාවලී බාලිකා මහ විද්‍යාලයේ ප්‍රතාප මුදියන්සේලාගේ සංජානී දිලේකා කුමාරි සහ මාතර සුජාතා බාලිකා විදුහලේ කළුආරච්චි කන්කානම්ගේ මින්දි රෙබෙකා සිසුවියෝ වෙති.

කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා මහ විදුහලේ ලිහිණි කඩුආරච්චිගේ ගයාත්‍රි හර්ෂිලා ලිහිණිකඩුආරච්චි පස්වැනි ස්ථානය හිමිකර ගත් අතර මෙම ප්‍රතිඵලවලට අනුව සයවැනි ස්ථානය ලබාගත් සිසු සිසුවියෝ පස්දෙනෙක් වෙති. ඒ අනුව කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සඳලි මුතුනිමා රත්නායක, කොළඹ රාජකීය විද්‍යාලයේ සමරකෝන් රාළලාගේ සහන් යසංක සමරකෝන්, කොළඹ රාජකීය විද්‍යාලයේ කන්දෙ කන්කානම්ලාගේ කවිරැ මෙත්නුක, ගාල්ල මහින්ද විද්‍යාලයේ ශස්මිත ආකාශ්වර ලියනගේ, හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ සමරසිං පතිරණගේ හිමාෂි එරන්දිකා සමරසිං පතිරණ සිසු සිසුවියෝ වෙති.

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේන්ම ප්‍රථමයා හා දෙවැනියෙකු බිහිකළ විශාකා විද්‍යාලය ඉතා ඉහළ ජයග්‍රහණයක් ලැබූ බව එම පාසලේ විදුහල්පතිනි සඳමාලි අවිරුප්පොළ මහත්මිය දේශයට පැවසුවාය.

“මෙම ජයග්‍රහණය අප පාසල සාමූහිකව ලබාගත් ජයග්‍රහණයන්. මගේ අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ ඒ දරුවන්ට උගන්වපු දහය එකොළහ වසරවල අංශ ප්‍රධානී ශ්‍රේණි ප්‍රධානී ගුරු මහත්මීන් මෙන්ම එම සියළුම විෂයන් ඉගැන්වූ ගුරු මහත්ම මහත්මීන්ගේ ඇප කැපවීම මත තමයි මේ ජයග්‍රහණය අද දවස මේ සමරන්නේ. ඒවගේම ඒ දරුවන් ද ගොඩාක් මහන්සි වුණා. එදිනෙදා ගුරුවරුන් ලබාදුන් දැනුම ජීවිතයට එකතු කරගන්න. මේ දරුවන් අධ්‍යාපනයට විතරක් මුල් තැන දීපූ දරැවෝ නෙමේ. විශාකා දරුවන් අධ්‍යාපනයට වගේම බාහිර ක්‍රියාකාරකම්වලටත් නැඹුරුවුණ හොඳ දක්ෂ දරුවෝ. දිවයිනේම පළමු තැන ලබාගත්තු නිලක්නා දිසීවරී වරැෂවිතාන දරුවා අප පාසලේ විෂය සමගාමීව ක්‍රියාකාරකම් කරපු දරුවෙක්. ජ්‍යෙෂ්ඨ තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකාවක් හැටියටත් පාසලේ හොකී කණ්ඩායමේ සාමාජිකාවක් හැටියටත් කටයුතු කරනවා. ඒ වගේම සවිනි හංසදී දියණියක් අධ්‍යාපනයට අමතරව විෂය සමගාමි ක්‍රියාකාරකම් කරපු දරුවෙක්. ඒ විෂය සමගාමී ක්‍රියාකාරකම් එක්ක තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත්තු දරුවන් දෙදෙනෙක් අද දිවයිනේම ප්‍රථමයා සහ දෙවැනියා වුණා. ඇත්තටම මේ දරුවන් අපිට ආඩම්බරයක්. අප පාසලට ලොකු ගෞරවයක්.'' යැයි විශාකා විද්‍යාලයේ විදුහල්පතිනි සඳමාලි අවිරුප්පොල මහත්මිය වැඩිදුරටත් දේශයට පැවසීය.

තම දියණියගේ ජයග්‍රහණය පිළිබඳව නිලක්නා දිසිවරී වරැෂවිතාන දියණියක් පියා වූ නිලන්ත වරුෂවිතාන දේශයට මෙසේ අදහස් දැක්වීය.

“මගේ දියණිය එක වසර ඉඳන් පහ වසර වනතුරු ඉගෙන ගත්තේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේයි. පහ වසර ශිෂ්‍යත්වය සමත් වෙලා තමයි දියණිය කොළඹ විශාකා විද්‍යාලයට ඇතුළත් වුණේ. ඒ වසරේදී විශාකා විද්‍යාලයට තේරුණේ දුව විතරයි. පුංචි කාලේ ඉඳන් දුව ඉගෙනීමට දක්ෂයි. විශාකා විද්‍යාලයේ ගුරුවරුත් මේ දරුවන්ට හොඳට ඉගැන්වූවා. දුවගේ අම්මාත් (දිස්නා වරුෂවිතාන) දුවට පාඩම් වැඩ කියලා දුන්නා. දුව හැමවෙලේම ඉලක්කයන් අනුව වැඩකරපු දරුවෙක්. එයා අභියෝග බාරගන්න කැමතියි. හොඳ ප්‍රතිඵලයක් පෙන්නන්න කියලා අපි එයාට අභියෝගයක් දුන්නා. ඒක එයා උපරිමයෙන්ම ජයග්‍රහණය කළා. දුවට තව මල්ලි කෙනෙක් ඉන්නවා. නිලක්නා දුව අධ්‍යාපනයට විතරක් නැඹුරු වුණ දරුවෙක් නෙමෙයි. දුව පාසලේ හොකී කණ්ඩායමේ තූර්ය වාදක කණ්ඩායමේ එයා සාමාජිකාවක්. දුවට බටනලාව, වයලීනය හොඳට වාදනය කරන්න පුළුවන්. පාසලේ භක්ති ගීත ප්‍රසංගවලදී ඇඳුම් නිර්මාණ කරන්නේත් මගේ දුවයි. දුවගේ මේ ජයග්‍රහණය ගැන අපිට තියෙන්නේ ලොකු සතුටක්.

දිවයිනෙන්ම දෙවැනි ස්ථානයක් දිනාගත් සවිති හංසදීගේ පියා පාසල් ගණිත ගුරුවරයෙකු වූ අනුර ප්‍රියන්තද තම දියණියගේ ජයග්‍රහණය ගැන මෙසේ දේශයට අදහස් දැක්වීය.

“මම අවුරුදු විසිහයක සේවා කාලයක් තියෙන ගණිත ගුරුවරයෙක්. කොළඹ දේවි බාලිකා විද්‍යාලයේත්, කොළඹ රාජකීය විද්‍යාලයේත් උගන්නලා තියෙනවා. මේ වනවිට මම හොරණ රාජකීය විද්‍යාලයේ උගන්වනවා. මගේ දුව ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ගොඩගම සුභාරතී මහාමාර්ත විද්‍යාලයේනුයි. දුව ශිෂ්‍යත්වයෙන් ලකුණු එකසිය අසූ හයක් ගෙන කොළඹ විශාකා විද්‍යාලයට ඇතුළත් වුණා. දුව අපිට කිසිම කරදරයක් නොකර කුඩා කල සිටම එයාගේ වැඩකටයුතු කළා. එදිනෙදා ගුරුවරුන් කියලා දීපූ දේ එයා සැලසුම් සහගතව එදිනෙදාම කරගෙන ගියා. පාසලට වගේම එයාටත් ඉලක්කයක් තිබුණා. දෙමව්පියන් විදිහට මමත් දුවගේ අම්මාත් (අචලා නිශාන්ති) එයාට නිසි මඟ පෙන්වීම කළා. එයාට අනවශ්‍ය විදිහට අමතර පන්ති යැව්වේ නැහැ. පාසල් අධ්‍යාපනයට අමතරව දුවට මමත් මගේ හිතවත් ගුරැවරැත් කිහිපදෙනෙක් එයාට උදව් කළා. මේ දරුවාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාකා ගුරු මණ්ඩලය වගේම දුවට අ යන්න කියලා දීපු ළදරු පාසල, ප්‍රාථමික පාසල ඇතුළු එයාට උගන්වපු සියලුම ගුරු මෑණිවරුන්ගේ පියවරුන්ගේ ආශිර්වාදය නිසාත් මඟපෙන්වීම නිසාත් දුව අද මේ ජයග්‍රහණය ලබා ගත්තා. යැයි අනුර ප්‍රියන්ත පැවසීය.

සවිති හංසදී දියණියන් තිදෙනෙකු සිටින පවුලේ දෙවැන්නාය.

ගම්පහ රත්නාවලී බාලිකා මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලබන ප්‍රතාප මුදියන්සේලාගේ සංජානි දිලේකා කුමාරි සිසුවියගේ පියා වූ තසන්ත කුමාර ද තම දියණියගේ ජයග්‍රහණය සම්බන්ධව මෙසේ අදහස් දැක්වීය

මගේ දුව ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ගම්පහ ශ්‍රී බෝධි ප්‍රාථමික විද්‍යාලයෙනුයි. පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු එකසිය අසූ තුනක් ගෙන ගම්පහ රත්නාවලී බාලිකා මහ විද්‍යාලයට ඇතුළත් වුණා. රත්නාවලී බාලිකාවේ අට වසර සිට පැවැති විභාගවලින් දුව ප්‍රථමයා වුණා. දුව කුඩා කල සිටම ඉගෙනීමට දක්ෂයි. පසලෙන් ලැබුණු මඟපෙන්වීම නිසා දුවට මේ ජයග්‍රහණය ලබාගන්න පුළුවන් වුණා. දුවගේ මේ ජයග්‍රහණය පාසල වගේම අපි හැමෝම බලාපොරොත්තු වුණු දෙයක් දුව දිවයිනේ විශිෂ්ටයින් අතරට ඒවී කියලා අපි බලාපොරොත්තු වුණා. දුව ඒ බලාපොරොත්තුව ඉස්ඨ කළා. දුව ගැන අපි හැමෝටම හරි සතුටුයි.

සංජානි දිලේකා කුමාරි පවුලේ බාලයාය. ඇයට වැඩිමහල් සහෝදරියකි. තම සහෝදරිය ද 2018 වසරේ උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයෙන් ඉහළින්ම සමත් වී විශ්වවිද්‍යාලයට තේරී සිටී. සංජානීගේ මෙම ජයග්‍රහණය පිටුපස පියා මව (මංජුලා එදිරිසිංහ) සහ සොහොයුරිය ද වෙති. පාසලේ අධ්‍යාපනය ලැබූ එදිනෙදා කටයුතු ඇය කරගෙන ගියාය. පාසල් පෙළපොත් සියල්ල ඇය නිවසේදීම අධ්‍යයනය කළාය.

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට අයදුම් කළ සංඛ්‍යාව 656,984කි. එයින් විභාගයට පෙනී සිටි සංඛ්‍යාව 518,184කි. උසස් පෙළ සඳහා සුදුසුකම් ලද ප්‍රතිශතය 71.66%කි. ගණිත විෂය සමත් ප්‍රතිශතය වන්නේ 64.11%ක් වන අතර “A” සාමාර්ථ 9ක් ලබාගත් සිසුන් සංඛ්‍යාව 9413කි. දිස්ත්‍රික්ක අනුව ගත්කළ වැඩිම අයඳුම්කරුවන් පිරිසක් බිහිකළ දිස්ත්‍රික්කය වන්නේ මාතර දිස්ත්‍රික්කයයි. එහි ප්‍රතිශතය වන්නේ 79.89%කි.

- දිශානි ජයමාලි කරුණාරත්න

No comments