Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

යොවුන් පුරය කියන්නේ තරුණ තරුණියන් ලැබිය යුතුම අත්දැකීමක්

ජාතික තරුණ සේවා සභාවට වසර 50ක් සපිරෙන මෙම වසරේ 10 වැනි වරටත් යොවුන් පුරය හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරවිල ප්‍රදේශයේදී මාර්තු 27 වන දින ආරම්...

ජාතික තරුණ සේවා සභාවට වසර 50ක් සපිරෙන මෙම වසරේ 10 වැනි වරටත් යොවුන් පුරය හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරවිල ප්‍රදේශයේදී මාර්තු 27 වන දින ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කොට හමාරය. මෙවර දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පාහේ තරුණ තරුණියන් 8000ක් පමණ මේ සඳහා සහභාගි වීමට නියමිතය. යෞවන සමාජවලට අමතරව වෙනත් තරුණ සංවිධානවල තරුණ කණ්ඩායම්ද මෙවර යොවුන් පුරය හා සම්බන්ධ වන අතර විදෙස් රටවල් 50ක් පමණ නියෝජනය කරමින් තරුණ තරුණියන් 100කට අධික සංඛ්‍යාවක්ද සහභාගි වීම කැපී පෙනෙයි. මේ 2019 යොවුන් පුරය පිළිබඳව ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් එරන්ද වැලිඅංගෙ මහතා සමග කළ සාකච්ඡාවකි.

යොවුන් පුරයක් පැවැත්වීමේ මූලික අරමුණ කුමක්ද?
මෙහි ප්‍රධානම අරමුණ වන්නේ ගම් මට්ටමේ තරුණ නායකයන්ට රටේ වගේම ලෝකෙ තියෙන අලුත් අලුත් දේවල් ලබා ගැනීමේ මාර්ග විවර කිරීමයි. ඒ එක්කම අනාගතයේ රට භාර ගන්න ඉන්න තරුණ නායකයන් වර්තමානයේ සිටම පෙළ ගැස්වීමත් මෙහි තවත් අරමුණක්. බුදුන් වහන්සේ පවා දේශනා කරලා තියෙනවා, ‘විද්‍යාවේ පදනම විය යුත්තේ විනයයි’ කියලා. දැනුම කොයිතරම් තිබුණත්, මොනතරම් ඉහළට අධ්‍යාපනයක් ලබලා තිබුණත් විනයක් නැත්නම් පලක් නැහැ. ඉතින් මේ යොවුන් පුරය පැවැත්වෙන දින කීපය පුරාම අපි උත්සාහ කරන්නේ ඊට සහභාගි වන තරුණ තරුණියන් තුළ විනය සහ හික්මීම නිර්මාණය කිරීමටයි. අනාගතයේදී රට භාර දෙන්න පුළුවන් ඒ වගේ විනයක් ඇති තරුණ පරපුරකට කියන එකයි අපේ විශ්වාසය. සම්පත් කළමනාකරණය කර ගනිමින්, තමන්ගේ දේ තමන් විසින්ම කරගනිමින්, අන් අයට ගරු කරමින් මේ තරුණ පිරිස මේ දින කීපය තුළ යොවුන් පුරය තුළදී මනා හික්මීමක් ලබනවා. ඒ වගේම යොවුන් පුරය තුළින් ඔවුන් තුළ නායකත්වයේ හැකියාව, පෞරුෂය, කණ්ඩායම් හැඟීම, ජාතීන් අතර සංහිඳියාව ආදිය වර්ධනය වන අතරම ඔවුන්ගේ ක්‍රීඩා, කලා, සෞන්දර්යය හැකියාවන් සඳහාත් නිසි වටිනාකමක් ලැබෙනවා.

යොවුන් පුරය මුල් වරට ආරම්භ වෙන්නේ 1984දී. එදාට වඩා අද මේ වැඩසටහන තරුණ පරපුරට වැදගත් වන බව ඔබ සිතනවාද?
ඇත්තෙන්ම ඔව්. මේ රටේ යොවුන් වියේ හැම දෙනෙක්ම මේ වගේ අත්දැකීම් ලැබිය යුතුයි. මීට අවුරුදු 10කට 15කට අෑත කාලය ගත්තොත් අපේ රටේ ළමයින්ට හරි ළමා වියක් තිබුණා. අපි පාසල් ගිහින් ඇවිත් හවස ක්‍රීඩා කරනවා. මිතුරන් එක්ක විනෝද වෙනවා. පොදු වැඩවලට සම්බන්ධ වෙනවා. ඒත් අද කොහේවත් එහෙම කරන තරුණ පිරිස් ලෙහෙසියෙන් දකින්න ලැබෙන්නේ නැහැ. අද ඔවුන් තමන්ගෙ ස්මාට් දුරකථනයෙන්, එහෙමත් නැත්නම් මුහුණු පොතෙන් ඔබ්බට කිසිදු සම්බන්ධයක් නොපවත්වන තරම්. මේ තුළින් ළමයින්ට ඉතා බරපතළ විදියට බොහෝ දේ අහිමි වෙනවා. ඔවුන්ට අන් අය එක්ක ගනුදෙනු කරන ආකාරය, අන් අයගේ හැඟීම් දැනෙන විදිය, සමාජය වටහා ගන්නා හැටි ආදිය පිළිබඳ කිසිදු දැනීමක් නැති තරම්. ඉතින් මේ යොවුන් පුරය තුළින් මේ දේවල් තරුණ පරපුරට දැනෙන්න සලස්වන්න උත්සාහ කරනවා. ලෝකය දියුණු වෙන්න, දියුණු වෙන්න විශ්ව ගම්මානයක් බවට පත් වෙනවා කිව්වත් සිද්ධ වෙලා තියෙන්නේ තාක්ෂණය නිසා ගෙදර හතර පස් දෙනාත් අෑත් වෙන එකයි. එවැනි පසුබිමක් තුළ අහිමිව යන අත්දැකීම් ලබන්න යොවුන් පුරය තරුණ පරපුරට ඉතා වැදගත් වෙනවා.

මෙවර යොවුන් පුරයට සමගාමීව සිදු වන වෙනත් වැඩසටහන් මොනවාද?
අපි වීරවිල ප්‍රදේශයේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනවා. ඒ අතරින් ප්‍රධාන වන්නේ සියලු පහසුකම් සහිත අති දැවැන්ත තරුණ මධ්‍යස්ථානයකට මුල් ගල තැබීමේ අවස්ථාවයි. ඒ වගේම සියලු අමාත්‍යාංශවලින් තරුණයන්ට සිදුවන වැඩ කටයුතු පිළිබඳව තරුණයන් දැනුවත් කිරීමක් සිදු කරනවා. තවත් විශේෂම දෙයක් සිදු වෙනවා. අපි කොහොම කිව්වත් දැන් තරුණ තරුණියන් ස්මාට් දුරකථනයෙන් අෑත් කරන්න බැහැ. එහෙම වුණොත් ඔවුන් ලෝකයෙන් ප්‍රතික්ෂේප වූ කොටසක් බවට පත් වේවි. ඒ හින්දා මේ මෙවලම ඔවුන්ගේ යහපත වෙනුවෙන් වූ ඵලදායී වැඩසටහනක් වෙනුවෙන් යොදා ගන්න අපි තීරණය කළා. මේ අනුව අපි මෙවර කඳවුරු භූමිය තුළදී අලුත් ‘ඇප්’ එකක් හඳුන්වා දෙන්න තීරණය කළා. මේ ඇප් එක ආධාරයෙන් තරුණ තරුණියන්ට තමන්ගෙ දැනුම හා හැකියාව මත ඉදිරියට යෑමට අවශ්‍ය සියලුම දේ ලබා ගත හැකියි. ලංකාවේ සියලු තරුණ මධ්‍යස්ථානවල තොරතුරු, වෘත්තීය පුහුණු ආයතනවල තොරතුරු, පෞද්ගලික අංශයේ අධ්‍යාපන ආයතනවල විස්තර මේ ආදී හැම තොරතුරක්ම එහි අඩංගුයි. ඒ වගේම තමන්ගෙ සුදුසුකම්වලට ගැළපෙන රැකියා තියෙන්නෙ කොහෙද කියලා සොයා බැලිය හැකි රැකියා බැංකුවකුත් මේ ඇප් එකේ අන්තර්ගතයි. මීට අමතරව තමන්ගෙ කුසලතා හා නිර්මාණත් මේ ඇප් එකට යොමු කරලා තමන්ගෙ ඉදිරි ගමන සඳහා අවස්ථාව සොයන්නත් තරුණ තරුණියන්ට අවස්ථාව තිබෙනවා. ඒ වගේම අපි සෑම පාසලකම මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්ද පවත්වනවා.

තරුණයන් වෙනුවෙන් මේ බොහෝ දේ සිදු කළත් රජයක් මාරු වන විට ඒ හැම දෙයක්ම වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා නේද?
ඔව්. අපේ රටේ ජනාධිපතිවරු, අගමැතිවරු, සභාපතිවරු වෙනස් වුණාම එතෙක් පැවති හැම දෙයක්ම වෙනස් වෙන එක තමයි ස්වභාවය. එහෙම නොවී තරුණයන් වෙනුවෙන් ගන්නා පියවර නොවෙනස්ව ඉදිරියටම යන වැඩපිළිවෙළක් අපි සකස් කරගෙන යනවා. පසුගිය රජය තරුණ ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහා කෙටුම්පතක් සකස් කරලා තිබුණා. ඒකෙ ඉතාමත් හොඳ කරුණු තියෙනවා. ඒ කරුණුත් අරගෙන මේ යොවුන් පුරය නියෝජනය කරන සෑම දිස්ත්‍රික්කයකම තරුණයන්ගෙනුත් කරුණු අරගෙන අනෙකුත් තරුණ සංවිධානවලිනුත් අදහස් අරගෙන තරුණ ප්‍රඥප්තියක් නිර්මාණය කරලා එය නීතිගත කරලා ඒ අනුව වැඩපිළිවෙළකුත් සකස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි යොවුන් පුරය තමයි මුල් කරගන්නේ.

මේ යොවුන් පුරය සඳහා කඳවුරු වාසීන්ට හැර සෙසු ජනතාවට සහභාගි විය නොහැකිද?
අපි ක¼දවුරත් එක්කම ප්‍රදර්ශන භූමියකුත් සංවිධානය කරලා තියෙනවා. එය ඕනෑම කෙනකුට නැරඹිය හැකියි. යොවුන් පුර කඳවුරු භූමියේ තියෙන සියලුම දේට අමතරව තවත් ආයතන 70කට අධික සංඛ්‍යාවක් මේ අවස්ථාවට සහභාගි වෙනවා. මෙවර සමාජ ව්‍යවසායකයන් නිර්මාණය කිරීමත් අපේ එක් අරමුණක්. ඒ හින්දා අවට සියලුම තරුණ තරුණියන්ට එහි පැමිණ ඒ අවස්ථාවෙන් ඵල නෙළා ගන්න පුළුවන්. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සියලු ජාත්‍යන්තර සංවිධාන මේ වැඩසටහනට සම්බන්ධ වෙනවා. අපේ රටේ තරුණයන් මූණපාන බරපතළම ප්‍රශ්නය තමයි, ආර්ථික ප්‍රශ්නය. ඒ කියන්නේ රැකියා ප්‍රශ්නය. අපිට රාජ්‍ය අංශයේ රැකියා දීලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. ඒ හින්දා ව්‍යවසායකයන් බිහිකිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීම ඉතා වැදගත් පියවරක් වෙනවා.

කලින් යොවුන් පුරවලට වඩා මෙවර යොවුන් පුරයේ ඇති විශේෂත්වය කුමක්ද?
මෙවර යොවුන් පුරයේ ඇති විශේෂත්වය වන්නේ ව්‍යවසායකත්වයට මුල් තැනක් ලබාදීම. මේ සඳහා අවශ්‍ය පිටිවහල සැපයීම සඳහා වෘත්තීය හා කාර්මික ක්ෂේත්‍රයේ සියලුම ආයතන යොවුන් පුර භූමිය වෙත කැඳවා තිබෙනවා. ඒ වගේම හම්බන්තොට ඇරඹෙන කර්මාන්තපුරයට ගැළපෙන තරුණ තරුණියන් නිර්මාණය කිරීමත් මෙවර යොවුන් පුරයේ ප්‍රධාන ඉලක්කයක්.

මෙවර යොවුන් පුරය තුළ වැඩසටහන් පෙළගස්වා ඇත්තේ කිනම් ආකාරයකින්ද?
මේ භූමිය තුළ උදෑසන 5.00 සිට රාත්‍රි 10.00 දක්වා විවිධ වැඩසටහන් ක්‍රියාත්මකයි. ක්‍රීඩා වැඩසටහන්, සංස්කෘතික වැඩසටහන්, කලා වැඩසටහන්, අධ්‍යාපනික වැඩසටහන්, ව්‍යවසායකත්ව වැඩසටහන්, විනෝදාත්මක වැඩසටහන් මේ ආදී තරුණ පරපුරට වැදගත් වන සියලුම ආකාරයේ වැඩසටහන් අපි සංවිධානය කරලා තියෙනවා.

වර්තමානයේ මේ වගේ වැඩසටහනකට තරුණ පරපුර ආකර්ෂණය කර ගැනීම පිළිබඳ ඔබේ අත්දැකීම මොන වගේද?
ඇත්තෙන්ම ස්වේච්ඡාවෙන් මේ වගේ දෙයකට තරුණ පරපුර ආකර්ෂණය කරගැනීම විශාල අභියෝගයක්. ඊට එක් හේතුවක් ලෙස මා දකින්නේ ස්වේච්ඡා සේවයට අප රටේ තවම ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීමයි. ඒ හින්දා ස්වේච්ඡා සේවයට නිසි පිළිගැනීමක් නැහැ. අපි පසුගිය වසර කීපය තුළ සෑහෙන්න වෙහෙස වෙලා ස්වේච්ඡා සේවයට රාජ්‍ය මට්ටමෙන් පිළිගැනීමක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඊළඟ සතියේ කැබිනට් මණ්ඩලයට අදාළ පත්‍රිකාව ඉදිරිපත් වේවි. ඉදිරියේදී ස්වේච්ඡා සේවයට මවුපියන් විසින්ම දරුවන් එවන තත්වයට පත්කිරීම තමයි, අපේ අරමුණ. ස්වේච්ඡා සේවයේ නිරත වන තරුණ තරුණියන්ට රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ලකුණු ලැබෙනවා. මේ ලකුණු රැකියාවලට යෑමේදී සහ විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී සලකා බැලෙනවා. ඇත්තෙන්ම මගේ මතය වන්නේ මේ රට ගොඩනඟන්නට නම් ස්වේච්ඡා සේවය අනිවාර්ය කළ යුතුය යන්නයි.

No comments