Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ආර්ට් ගැලරි එකක් කරන කෙනෙක් විදියට මාව තෝරා ගත්තට Thank you ඉරාජ්

ලක්ෂ සංඛ්‍යාත තරුණ ප්‍රජාවගේ ආදරණීය සිංහල ගුරුවරයා වූ උපුල් ශාන්ත සන්නස්ගලයන්, සිය විශ්‍රාම දිවිය මේ වනවිට ගෙවමින් සිටින්නේ විජේරාම පිහිටි...

ලක්ෂ සංඛ්‍යාත තරුණ ප්‍රජාවගේ ආදරණීය සිංහල ගුරුවරයා වූ උපුල් ශාන්ත සන්නස්ගලයන්, සිය විශ්‍රාම දිවිය මේ වනවිට ගෙවමින් සිටින්නේ විජේරාම පිහිටි 'රෝයල් ත්‍රැප්‍රොබේනියන්' කලාගාරය තුළ සිය අදහස්, අත්දැකීම් හා මතවාද තරුණ ප්‍රජාව සමග බෙදාහදා ගනිමිනි.

දේශපාලන, ආගමික හා කලා ක්‍ෂේත්‍රය පිළිබඳව නිරන්තර සවිඥානික භූමිකාවක් හොඹවන ඔහු, සිය මතවාද නො බියව සමාජය ඉදිරියට ගෙන යන්නේ ඉන් ඔහුට ලැබෙන ගල් හෝ මල් පිළිබඳ තැකීමක් නො කරමිනි.

මෙවන් පසුබිමක ඉරාජ් වීරරත්න විසින් සිය නවතම මියුසික් වීඩියෝව උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ 'අම්මා ' පිළිබඳව අදහස් උපුටා දක්වමින් හා සන්නස්ගලයන්ගේ නිර්මාණවලින් කොටස් උපුටා ගනිමින් එළිදක්වා තිබේ. මේ හරහා සමාජ මාධ්‍ය තුළ මෙන්ම, සන්නස්ගලයන්ගේ ශිෂ්‍ය ප්‍රජාව තුළ ඊට එරෙහිව දැවැන්ත මතවාදයක් නිර්මාණය වෙමින් පවතියි.

මේ සම්බන්ධව සන්නස්ගලයන් කෙබඳු අදහසක් දරන්නේද යන්න පිළිබඳව අපි විමසා බැලුවෙමු.

ප්‍රශ්නය:- ඉරාජ්, ඔබව මාර්කට් කිරීමේ උත්සාහය ගැන දකින්නේ කොහොමද?
ඕක පටන් ගන්නේ ටිකක් ඈත කතාවකින්. වික්‍රමසිංහගේ' භවතරණය ' නවකතාව ආපු කාලේ ඒ වෙනුවෙන් පෙනී සිටි පිරිසට, පෙනී සිටීමේ පෞරුෂයක් තිබුණා. ඊට පස්සේ මංජුල වෙඩිවර්ධනගේ 'මේරි නම් වූ මරියා'පොතයි, කේ.කේ.සමන් කුමාරගේ 'නේරංජනේ ස්නානේ' පොත එන කාලය වනවිටත් ඒ පෞරුෂය ඒ විදියටම තිබුණා.

හැබැයි ‘සත්තික සත්කුමාරගේ කෙටි කතාව නැත්නම් ඩොකියුමන්ට්‍රි එක දක්වා එනවිට ඒ තත්ත්වය වෙනස් වෙනවා. මෙතැනදී සමහර කිව්වා අපි මේ කලා කෘතිය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ, අපි සත්තිකගේ ප්‍රකාශන අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා කියලා. සත්තික සත්කුමාර රිමාන්ඩ් කළේ ඔහු සත්ථික නිසාවත්, සිංහල බෞද්ධයෙක් නිසාවත්, සංවර්ධන නිලධාරියෙක් නිසාවත්, කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් නිසාවත්, විවාහක නිසාවත්, දරුවෝ දෙන්නෙක් ඉන්න නිසාවත්, පෞද්ගලික හේතුවක් නිසාවත් නෙවෙයි යන්න තමයි මගේ අදහස. ඔහු රිමාන්ඩ් කළේ ඔහුගේ කලා කෘතිය නිසයි.

මෙතැනදී කලා කෘතිය අතහැරලා සත්තික වෙනුවෙන් පෙනී සිටිනාව නම්; හොඳ නීතිඥයෙක් අල්ලලා නඩුවට උදව් කරලා, අලුත් අවුරුද්දට ඔහුගේ ගෙදරට ගිහින්, දරුවෝ දෙන්නා බලලා සත්තිකට ශක්තියක් වෙලා, උසාවි දවසට ගිහින් එන්න පුළුවන්. හැබැයි ඔහුව රිමාන්ඩ් කරලා තියෙන්නේ කලාකෘතියක් නිසා. ඒ නිසා එය අතහැරලා ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට බැහැ කියන එක තමයි මගෙ නම් අදහස. එනිසා මම මේ කලා කෘතිය වෙනුවෙන් පෙනී සිටිනවා.

මේ ජෙනරේෂන් එක ලියන්නේ එහෙම තමයි. මේ ජෙනරේෂන් එක සිද්ධාන්ත කඩනවා තමයි කියලා මම මේකට විචාර විධික්‍රමයක් හොයා ගෙන, මෙය කලා කෘතියක් කියලා පෙනීසිටින්න පුළුවන්. මොකද, පසුගිය කාලේ එවැනි කලා කෘති නොවන බොහෝ දේවල් කලා කෘති කරලා තියෙනවා.

මේ නිසා ආගමික දේවල් විවේචනය කරන්න පුළුවන් තමයි. පරිකල්පනයට දෙවියන් වහන්සේටවත් බාධා කරන්න බැහැ. ඒක ආර්ටිස් කෙනෙක්ගේ අයිතියක්. ඒ වෙනුවෙන් පෙනී සිටිනවාද? නැද්ද? යන්න ආර්ටිස්ගේ පෞරුෂයේ ප්‍රශ්නයක්.

මීළඟට මට ප්‍රශ්නයක් එනවා. මම ලිව්වා කෘති පණහක් පමණ ප්‍රමාණයක්. ඒ එකක්වත් තහනම් කරලා නැහැ, ඒවාට වාරණ නැහැ. මම අන්තිමට ලිව්වා 'භික්ෂු පරිච්ඡේදය'පොත ගත්තම අඩුම තරමින් ෆේස්බුක් එකේ එක පෝස්ට් එකක්වත් නැහැ, එය විවේචනය කරපු. ඒ නිසා මට විශේෂ රුදාවක් එන්න විදිහක් නැහැ මට වාරණයක් ඇවිත් නැති නිසා. නමුත් මම පෙනී සිටලා, කෑගලා තියෙන්නේ අනිත් අයගේ කලා කෘති වෙනුවෙන්; අනික් අයගේ අදහස් ප්‍රකාශ කිරීම වෙනුවෙන්. මේක තමයි පසුබිම් කතාව.

මෙවැනි පසුබිමක තමයි ඉරාජ්ගේ 'සුරත'වීඩියෝව එන්නේ. මේ වීඩියෝවේ රටේ රාජ්‍ය නායකයාගේ (මෛත්‍රීපාල සිරිසේනගේ නොව, රටේ රාජ්‍ය නායකයගේ) කට හඬ භාවිත කරලා තියෙනවා. මම දන්න විදිහට රටේ රාජ්‍ය නායකයෙක්ගේ හඬ රයිට් එකක්. මේ වීඩියෝවට අනුව කාටහරි කියන්න පුළුවන් ගීතය ගායනා කරන ඊළඟ ගායනය මෛත්‍රීපාල සිරිසේනගේ කියලා. මොකද ඔහුගේ හඬත් ඒ ගීතයේ තියෙනවා. අනික මෛත්‍රීපාලගේ හඬ, අමරබන්දු රූපසිංහ ගීත කණ්ඩය වීඩියෝවෙත් ඇහෙනවා. ඒ අනුව ඉරාජ්ගේ හවුල් ගායකයා රාජ්‍ය නායකයා. ඒක දැනගෙනද කළේ. එතැන රයිට් ගැන ප්‍රශ්නයක් තියෙනවා.

මේ වීඩියෝවේ ජෝන් අමරතුංගෙත් ගොසිප් වීඩියෝ කොටසක් දාලා තියෙනවා. මේ සිදුවීම් එක්ක අපට තොරතුරු අහන්න දකින්න ලැබිලා තියෙනවා, ඉරාජ්ට විරුද්ධව ආණ්ඩුව පියවර ගන්න හදනවා කියලා. මේ තියන්නේ අපි පත්කළ යහපාලනය ආණ්ඩුව. ඒ අනුව මට සිද්ධ වෙනවා ලබන සතිය වනවිට ඉරාජ් වෙනුවෙන් පෙනී සිටින අපි පත්කරපු ආණ්ඩුවට විරුද්ධව. ඒ ඉරාජ්ගේ රයිට් එක වෙනුවෙන්.

නමුත් ඉරාජ් පෙනී සිටින්නේ ඒ වෙනුවෙන් නෙවෙයි. ඔහුගේ Face book එක ගත්තාම පේනවා ඔහුත් සමග ඉන්න රාජ්‍ය නායකයෝ කවුද, ඔහුත් එක්ක දෙපැත්තේ ඉන්නේ කවුද, ඔහු ආශ්‍රය කරන භික්ෂූන් වහන්සේලා කවුද කියලා. හැබැයි මම හිතන්නේ නැහැ ඔහුත් රයිට්ස් වෙනුවෙන් ඔය කවුරුවත් පෙනී හිටියි කියලා. ඒ නිසා ඉරාජ් වෙනුවෙන් පෙනී සිටින්න වෙනවා.

ඊළඟට ඉරාජ්, රෝයල් ත්‍රැප්‍රොබේනියන් එක, මෙහි එන පිරිස් සහ මට සමාන රූපයක් තියෙන කෙනෙක් පාවිච්චි කරලා තියෙනවා. ඒක මම හිතන්නේ රෝයල් ත්‍රැ‘ප්‍රොබේනියන් වෙනුවෙන් කළ ප්‍රොපගැන්ඩා එකක්; ප්‍රමෝෂන් එකක්. ලංකාවේ ආර්ට් ගැලරි විශාල ප්‍රමාණයක් තියෙද්දී, ආර්ට් ගැලරි කරන කෙනෙක් විදියට මාව තෝරා ගත්තට Thank you ඉරාජ්.

ඊළඟට ඒ ආර්ට් ගැලරි එක කෑම්ප් එකක් කියලා ඔහු කියනවා. ඒකත් මරු, මොකද කැම්ප්වලින් තමයි මිනිස්සු පුනරුත්තාපනය කරන්නේ. ඒ අනුව මේක ආර්ට් කෑම්ප් එකක්. එතුළින් මිනිස්සුන්ව පුනරුත්තානය කරන්න පුළුවන්. ඒ කාරණා සම්බන්ධව මම කිපෙන්න යන්නෙ නැහැ.

හැබැයි ඔහු මගේ අම්මා පොතේ ඡේදයක් අරගෙන තියෙනවා. එහි අකුරෙන් අකුර මගේ රයිට් එක. එහෙම මිනිස්සුන්ගේ බුද්ධිමය දේපළ කොල්ල කන්න බැහැ.

මගේ වස්සාන සිහිනය නවකතාවේ කවරය මේ වීඩියෝවට භාවිත කරනවා. ඒ කවරය නිර්මාණය කළේ කේ.කේ.සමන් කුමාර. ඒ අනුව මගේ පමණක් නොව, කේ.කේ.සමන් කුමාරගේත්, පොත කියවපු පාඨකාගාරයෙත් අයිතිය මංකොල්ල කාලා, ඔහු එය භාවිත කරනවා. ඉරාජ් මට කෝල් එකක් දාලා කිව්වා නම් මම මේක වීඩියෝවට පාවිච්චි කරනවා කියලා මම ඒකට ඉඩ දෙනවා. මෙහි රයිට් ඉල්ලගෙන යන්නෙ නැහැ. පාවිච්චි කරනවාට විරුද්ධ වෙන්නෙ නැහැ.

මේ මංකොල්ලයට දැන් ඉඩ දුන්නොත් අනාගතයේ දවසක ගෙවල් දොරවල් පවා මංකොල්ල කයි. ඒ අයිතිය හැදෙන්නෙ මෙහෙමයි. කාටහරි කියන්න පුළුවන් භාෂාව හැමෝටම අයිතිය, අපි හැමෝම භාවිත කරන්නේ භාෂාව කියලා. ඒක ඇත්ත. ඒ වගේම මේ මහපොළවේ තියෙන පස්, කළුගල් අපි ඔක්කොටම අයිතියි, ඒකත් ඇත්ත. හැබැයි මහ පොළවේ තියෙන පස් අරගෙන මාවනැල්ලේ මිනිස්සු වළං හදනවා. අපිට නුවරඑළියේ ගිහින් එද්දී ඒ වළං අපේ වාහනේ දාගෙන එන්න බැහැ; මෙහේ දීපන්, අපිටත් ඔවා අයිති කියලා ඒ වළං ඒ මිනිස්සුන්ගේ. මැටියෙන් වළං හැදුවේ ඒ මිනිස්සුයි. එහෙම නම් සමාධි පිළිමයත් ට්‍රැක්ටරයක අරගෙන එයි කළුගල් අපටත් අයිතිය කියලා. කළුගල් හැමෝටම අයිතිය වෙන්න පුළුවන්. හැබැයි කළුගල්වලින් පිළිමය හදපු ආර්ටිස්ගේ කොපිරයිට් මංකොල්ල කන්න බැහැ. ඉරාජ් කරන්නේ අන්න ඒ බුද්ධිමය දේපළ මංකොල්ල කන එක. එහි කෙළවර මහා විනාශයකින් අවසන් වෙන්න පුළුවන්. ඒ නිසා ඉරාජ්ගේ අයිතිය වෙනුවෙන්, හැකියාවන් සම්බන්ධව ටැලන්ට් එක ගැන පෙනී සිටින ගමන්ම, ඔහුගේ අශීලාචාරකම්වලට විරුද්ධ වෙනවා. ආචාර ධර්ම නැතුව සිදුකරන මාංස වෙළෙඳාමට මම විරුද්ධයි.

ආර්ට් ඇතුළේ අපිට ආචාර්ය ධර්ම බිඳින්න පුළුවන් දෘෂ්ටිවාදයක් එක්ක. මහාචාර්ය සරච්චන්ද්‍ර මනමේ හදන්නේ ජාතක පොතේ කතාවකින් තමයි. නමුත් ඔහුගේ දෘෂ්ටිවාදය ඒ තුළ තියෙනවා.

සිංහබාහු කතාවත් ජාතක කතාවක් වුණාට සරච්චන්ද්‍ර එය ප්‍රතිනිර්මාණය කරනවා. ප්‍රේමසිරි කේමදාස මානසවිල කරන්නේ 'බක'ජාතකයෙන්. ඒ අනුව ඒ නිර්මාණවල අයිතිය තිබෙන්නේ දෘෂ්ටිවාදයත් එක්කයි.

කුරාණයේ තියෙන බොහෝ ඡේදවලට නව අර්ථකථන දීලා තමයි සල්මන් රුෂ්ඩ් තම පොත ලිව්වේ. ඒක රයිට් එකක්. හැබැයි මංකොල්ල කන්න බැහැ. ඒ නිසා ඉරාජ්ට නීතිමය දඬුවමක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා.

ආර්ටිස්ලට සියලු නීති කඩන්න බැහැ. ඔවුන්ට ආර්ට් එකේ දේවල් කඩන්න පුළුවන්. ඔහුට පුටුව කඩලා මේසයක් හෝ වෙනස් විදිහේ පුටුවක් හදන්න පුළුවන් වුණාට, ඔහුට ඒ පුටුව උස්සගෙන ගිහින් හන්දියේ ඉන්න කෙනෙකුට ගහන්න බැහැ. පොලිස් කාරයෙක් ඇල්ලුවම කියන්න බැහැ ඇයි මම කවි ලියලා තියෙනවා, ඒවා කියවලා නැද්ද කියලා. අපි එළියේ සිවිල් නීති රකින්න බැඳිලා ඉන්නවා.

ආර්ටිස්ලට තුන්වෙනි ඇහැ කියලා චාන්ස් එකක් දීලා තියෙනවා. ඒ තුන්වෙනි ඇස තුළින් රිංගලා තමයි ආර්ටිස්ලට යන්න පුළුවන්. ඒ රයිට් එක කිසිම මනුස්සයෙකුට නැහැ. ඒක මාර අයිතියක්. ඒකෙන් රිංගලා යන්න බැරිනම් ඔහු ආර්ටිස් කෙනෙක් නෙවෙයි. අපිට ව්‍යාංගය, උත්ප්‍රාසය, සෝපාහාස ආදී ලෙසින් ආර්ට්වල පෙළගස්වලා තියෙනවා. මේ තුළින් රිංගලා තම නිර්මාණවල යෙදිලා තමයි ආර්ටිස් වෙන්නෙ, හැබැයි වෙනම ඇහැක් තියෙනවා කියන්නේ වෙන එවුන්ගේ ඇස් ගලවන්න දෙන ලයිෂන් එකක් නෙවෙයි.

ඒ නිසයි මම ඉරාජ්ට් පෝස්ට් එකක් දාලා කිව්වේ ඉරාජ්, උඹට ටැලන්ට් එකක් තියෙනවා. ඒක ලස්සනට පාවිච්චි කරන්නකියලා. ශිෂ්ට විදිහට පාවිච්චි කරන්න කියලා.

ප්‍රශ්නය :- UNP ය විසින් ඇත්තටම ඔබව නොමග යැව්වද?
මම බබා කියලා කවුරුහරි හිතාගෙන ඉන්නවා නම්, මම කැමතියි එයාව නළවලා සුප්පුවක් කටේ ගහන්න. මම බබා නෙමෙයි.

මම UNPයෙන් ඡන්දය ඉල්ලුවට ඡන්දය ඉල්ලන රැස්වීම්වල මගේ ප්‍රකාශනවල පවා තිබුණේ UNP අදහස් නෙවෙයි. UNP දෘෂ්ටිවාදය නෙවෙයි. UNPයේ UNPකාරෙයෝ බොහෝ දෙනෙක් මිථ්‍යා දෘෂ්ටිකයි. මම මගේ ඡන්ද රැස්වීම්වලදී ඒවට හෝ ගාලා ගැහැව්වා. මේ නිසා මම UNP ප්‍රකාශනයක් නෙවෙයි. සන්නස්ගල, සන්නස්ගලගේ ප්‍රකාශනයක්.

මම මිනිස්සු දහස් ගණනක් ඉන්න වේදිකාවල මගේ අදහස් කියන්න අවස්ථා ලැබුණා. මගේ අදහස ඔවුන් පිළිගත්තේ නැහැ. මොකද මේ රටේ බහුතරය මෝඩයෝ කියලා මම දන්නවා. ඒ නිසා ඡන්දය පරදි කියන්නේ; සන්නස්ගල පරදි කියන එක නෙවෙයි. ඒ නිසා කවුරුහරි සිතනවා නම්, අන්දලා ඡන්දයට දාන්න පුළුන් තරම් බබෙක් මම ළඟ හිටියා කියලා, මම බබෙක් නෙවෙයි. මම ටිකක් මෝරා වැඩුණු පුරුෂයෙක්.

ප්‍රශ්නය:- ත්‍රැප්‍රොබේනියන් කියන්නේ ඇත්තටම කඳවුරක්ද?
තැප්‍රොබේනියන් කඳවුරක් කියලා කියන්නේ ඉරාජ් වීරරත්න. ඔහු ඒක කඳවුරක් කියලා හිතන්නේ ඇයි කියලා මම කල්පනා කළා. කඳවුරුගත ජීවිතය තුළ තමයි පුනරුත්තාපනය වෙන්නේ. හැබැයි වෙන කඳවුරුවල වගේ මේකේ මුරකාරයෝ, වෙඩි තියනඋන්, සුදු වෑන්වලින් උස්සන් යනවුන්, නීතිරීති නැහැ. මේ කඳවුර තුළ තියෙන්නේ එක් මානුෂවාදී රීතියක්. ඒ පොඩි ශිෂ්ට හැසිරීමක් තියෙන්න ඕනේ. ඒ හැසිරීම සම්බන්ධව කවුරුහරි පුනරුත්තාපනය වෙනවා නම්, මේක කඳවුරක් ලෙස හඳුන්වනවාට මම විරුද්ධ වෙන්නෙ නැහැ. මේක හරි නිදහස් කඳවුරක්. මේ කඳවුරේ ඉන්න උන් නිදහස් කරන්න බයයි, මට එළියේ තියෙන්නේ පිස්සන් කොටුවක් නිසා. එළියෙ තියෙන පිස්සන් කොටුවට වඩා, මේ බබල් එක ඊට වඩා හොඳයි කියලයි මට හිතෙන්නේ.

ඔබ මේ වකවානුවේ ජීවත් වෙන්නේ බබල් එක ඇතුළෙ නේද?
ඔව්, මොකද මම කැමති නැහැ; මම ජීවිත් වෙන වයිබ් එක එළියෙ පිස්සො අතින් කුඩුපට්ටන් වෙනවට. මේක මගේ රිටයවන්ට් ප්ලෑන් එක. කාටහරි පුළුවන් නම් තමන් රිටයවන්ට් වෙනකොට ආර්ට් ගැලරියක් දාගෙන ඊළඟ ජෙනරේෂන් එකත් එක්ක කයියක් ගහගෙන ඉන්න. හොඳ සින්දුවක් අහන්න, හොඳ ෆිල්ම් බලන්න, ඒ මිනිසා අපේ රටේ ඉපදුන හරි වාසනාවන්ත කෙනෙක්. ඒ වාසනාව සැපය කියන එක එළියෙ පිස්සන් කොටුවේ එවුන් දන්නේ නැහැ. විශ්‍රාම ගිහිල්ලා කැමති දෙයක් උයාගෙන කාලා, කැමති වෙලාවක නැගිටලා, කැමති අදහසක් ප්‍රකාශ කරගෙන, මගේ ජෙනරේෂන් එකේ නොවන ඊළඟ ජෙනරේෂන් එකේ එවුන් එක්ක සින්දුවක් දාගෙන ෆිල්ම් එකක් බලාගෙන, පොතක් කියවාගෙන පැදුරු පාටියක් දාගෙන, කයියක් ගහගෙන පුළුන් මිනිහෙක් මේ රටේ කවුරුවත් නැහැ. ජනාධිපතිවරයාටවත් බැහැ. ඒ නිසානේ ඔහු පාසල්වලට ගිහින් තබ්ලා, සර්පිනා ගහලා අමරබන්දු රූපසිංහ කියන්නේ. ඊට වඩා මම හරි ලකී මිනිහෙක්නේ.

ඇත්තටම ඔබ ගත කරන්නේ ඔය කියන තරම්ම තෘප්තිමත් ජීවිතයක්ද?
මම හැමදාම කළේ මට සතුටු වෙන්න පුළුවන් දේවල්. මම අවුරුදු 30ක් විතර ලංකාවේ හොඳ සල්ලි හොයපු මිනිහෙක්. කවුරුහරි ඇහැව්වොත් ඒකෙන් තෘප්තිමත් නැද්ද කියලා, නැත්තෙ මොකද? ගෙවල් දොරවල්, මේ බිල්ඩින් හැදුවේ, වාහන ගත්තේ, රට රටවල ගියේ ඒ සල්ලිවලින්නේ. ඒ වගේම දැන් ගත කරන ජීවිතෙනුත් මම තෘප්තිමත්. මේ ජීවිතේ තෘප්තිමත් නොවන වෙලාවක් ආවොත් ඊළඟ තත්පරේදී මම රෝයල් තැප්‍රොබේනියන් මම වහනවා.

හැබැයි මතක තබාගත යුතු දේ තමයි, මම දොරක් වහන්නේ තවත් දොරක් ඇරගෙන කියන දේ. ඒනිසා මට සතුටු නැත්නම්, මට මේ දොර වහලා වෙන දොරක් ඇරගන්නවා, ඒකට කැමැති අයට ඇතුළු වෙන්න පුළුවන්.

ඔබ පවතින ආණ්ඩුව හදන්න මැදිහත් වූවෙක් ලෙස බොහෝ අවස්ථාවල එහි යම් යම් මතවාදවලට එරෙහි වෙන අයුරු අපිට දුටුවා. මේ ගෙවන කාලය ගැන අද දැනෙන්නේ කොහොමද?

මගේ විරුද්ධවීම පටන් ගත්තේ අද ඊයේ නොවෙයි. මට ජනාධිපතිවරයා, අගැමැතිවරයා හා වත්මන් කැබිනට් එකත් එක්ක වැඩකරන කාලේ. ගොන්කම්වලට, මිථ්‍යා දෘෂ්ටික කෑලිවලට, කැපී පෙන්න හදපුවට, ඇජන්ඩාවලට විරුද්ධ වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ලංකාව පුරා පැවැති රැස්වීම්වලට අගමැතිවරයා යනකොට ඔහුට පෙර කතාව කළේ මම. ඕනෑම දිස්ත්‍රික්කයක මැතිවරණ, ඇමතිවරු, ඡන්දය ඉල්ලන්න එක්ක ඉන්න අය ආදී විශාල පිරිසක් ඉස්සරහාට වෙලා ඉන්නවා. අගමැති එක්ක ෆොටෝ එකක් ගන්න. ඒ රැස්වීම් හැම එකකම මට අගමැති ගාව වාඩිවෙන්න පුටුවක් තිබුණා. ඔහු පෝඩියම් එකට ඇවිත් ආචාර කරන කොට මමයි කතා කරකර ඉන්නෙ. හැබැයි ඒ බොහෝ ඡායාරූපවල මම නැහැ. අගමැති පෙර කතාව කරපු, ඔහු ළඟ ආසනයෙන් වාඩිවෙලා හිටපු, ඔහු පිරිසට ආචාර කරන්න එද්දී පෝඩියම් එකේ හිටපු මම ඒ ෆෝටෝවල නැත්තේ ඇයි? බොහෝවිට ඒ පළාතේ ඇමතිවරයෙක්, මන්ත්‍රීවරයෙක් පළාත් සභාවේ කෙනෙක්. මාව තල්ලු කරගෙන ඉස්සරහට එනවා ෆොටෝ එකට පෙනී හිටින්න. මම බොහෝ විට පස්සට වෙලා ඉඩ දෙනවා. මොකද අගමැති එක්ක ෆොටෝ ගහන මේනියාවක් මට නැහැ.

දවසක් කැලණිය පන්සලේදී ෆොටෝ එකට මුහුණ දනේන මහා උස මහත මිනිහෙක් මාව තල්ලු කළා. ඒ රවී කරුණානායක. ඒ වෙලේ මම ඔහුට කිව්වා ෆොටෝ ගහන්න ආවනම් මාව තල්ලු කරන්නේ නැතුව ඉස්සරහට පලයන්, තව පාරක් කළොත් කනපැළෙන්න ගහනවා කියලා, ඔහු කොළඹ දිස්ත්‍රික් නායකයා වුණ කියලා ඔහුට කියන්න ඕනි දේ මම නොකියා හිටියේ නැහැ. ඒ, මම බය නැති හින්දා.

වසර 30ක ටියුෂන් ජීවිතේ තුළ හමුවූ තාරුණ්‍ය හා මේ මොහොතේ තැප්‍රොබේනියන් තුළ ඔබ සමග ගනුදෙනු කරන තාරුණ්‍ය‘යේ පරම්පරා ගැටුම අත්විඳින්නේ කොහොමද?

කිසිම වෙනසක් නැහැ. මම පන්ති පටන් ගන්නකොට මං ළඟට ආව ළමයට අවුරුදු 20ක් නම්, මම පන්ති නවත්වන කොට ඔහුට අවුරුදු 50යි. හැබැයි මම පන්ති නවත්වන කොට පන්තියේ හිටපු ළමයින්ගේ වයස අවරුදු 18යි. ලංකාවේ අවුරුද්දෙන් අවුරුද්ද අප්ඩේට් වෙච්ච එකම මිනිසා මං විතරයි. හැමදාම හිටියේ උන් එක්ක. මම දැන් ඉන්නෙත් උන් එක්ක. මම සියවස් භාගයකට වැඩිය ජීවත් වෙච්ච මිනිහෙක්. මේ ආයතනයට එන එවැනි වයස් සහිත එකම පුද්ගලයා ඩබ්.ජයසිරි විතරයි. ඒ නිසා මම විශ්වාස කරනවා ඩබ්.ජයසිරි තරුණයෙක් කියලා.

මේ ඇත්තෙන්ම ජපුර කැම්පස් එක තියෙනවා. ඒකට අවුරුද 70, 80, 90 හැරමිටියෙන් නොන්ඩි ගහන එවුනුත් එනවා. මොකද අවුරුදු 20 ගණන්වල සිටියත් උන් තරුණ නැහැ. උන් එක්ක සාපේක්ෂව ගත්තම, මට ලෙස්ටර් තරුණයි. මොකද, පට්ට මොඩර්න් කතානේ කිව්වේ. අවුරුදු 70 පැන්න ජයසිරිට මෙතන කොල්ලො කොල්ලො එක්ක ඉන්න පුළුවන්.

මෙතැනට එන තරුණ පරම්පරාවක් වයසට ගියාහම සමහර විට මෙතැනින් යයි. මොකද නාකි කියන්නේ නොහැකියි යන්නයි. නොහැකි එවුන්ට මාත් එක්ක ඉන්න බැහැ. එවිට යන්ග් බ්ලඩ් ආපහු එයි. මට හැමවිටම යංග් බ්ලඩ් විශ්වාස කරනවා. නාකින්ගේ කුණු ලේ විෂ වෙලා තියන්නේ. යන්ග් බ්ලඩ් හරි ෆ්‍රෙෂ්. ඒකේ ජවයක් හා වෙනසක් තියෙනවා, එය පිරිසුදුයි.

ඔය ජවය තුළින් ඔබ කරන්න හදන්නෙ මොකක්ද?
මම මුකුත් කරන්නෙ නැහැ. හැබැයි සමහර වෙලාවට මම මුකුත් කරන්නෙ නැහැ කියන්නෙ හුඟක් දේවල් කරමින් සහ කෙරෙමින් පතිනවා වගේ දෙයකුත් තියෙනවා. එක පාරක් මම ලිව්වා විසිල් නෑ - බල්ටි විතරයිකියලා. දැන් සන්නස්ගලට විසිල් නෑ- බල්ටි විතරයි සද්දෙ නැත්තෙ ඒකයි.

ආපහු ඉරාජ් සම්බන්ධ කාරණයට ආවොත් නීතිමය පියවර ගන්නවා යැයි කීම හුදු ප්‍රකාශයක් විතරද?
මම මෙච්චර කල් මිනිස්සුන්ගෙන් බැනුම් අහලා ගුටිකාලා තියෙන්නේ, අනික් එවුන්ට ගහයි කියලා වැටක් හදන්න ගිහිල්ලා. හැබැයි සන්නස්ගලට ගහලා තියෙන්නෙ වැටේ පොලු ගලවලා. මම අනිත් එවුන්ට වැටවල් හැදුවට මට ගහද්දී කවුරුත් එන්නෙ නැහැ කියලා මම දන්නවා.

එහෙම කියලා උන්ට ප්‍රශ්නයක් ආව වෙලාවට මම පැත්තකට වෙලා ඉන්නෙ නැහැ. ඒ නිසා තමයි මම ඉරාජ්ගේ ප්‍රකාශන අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නේ. හැබැයි ඉරාජ් බුද්ධිමය දේපළ හොරකම් කළාට මම නඩුවක් දානවා. ඒක ස්ථිරයි.

නිරෝෂාන් ප්‍රේමරත්න

No comments