Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

දරුවන් පස් දෙනකුගේ කුස පුරවන්න පොල්ගස් නගින අම්මා කෙනෙක්

කුඩා දරුවන් පස්දෙනකු ජීවත් කරවීම සඳහා පොල් කඩන අම්මා කෙනකු ලෝක මවුවරුන්ගේ දිනයදා දඹුල්ල හබරත්තාවල ප්‍රදේශයේදී අපට හමු වුණි. කොස් ගෙඩිය...

කුඩා දරුවන් පස්දෙනකු ජීවත් කරවීම සඳහා පොල් කඩන අම්මා කෙනකු ලෝක මවුවරුන්ගේ දිනයදා දඹුල්ල හබරත්තාවල ප්‍රදේශයේදී අපට හමු වුණි.

කොස් ගෙඩියක් කඩා තම්බා දරුවන්ට කන්න දී දරුවන්ට ඇති ආදරය නිසාම තවත් දරුවන් මෙලොවට බිහි කිරීම ඇයගේ එකම අරමුණ බව ඇය සතුටින් පවසන්නීය.

නැතිබැරිකම, අගහිඟකම දරුවන් හැදීමට බාධාවක් වුවද එම බාධාවන් ජයගෙන දරු සෙනෙහස නිසාම තමන් දරුවන් 50ක් වුවත් හැදීමට සූදානමින් සිටින බව මේ මව පවසන්නීය.

අපූරු අම්මා සොයාගෙන අප දඹුල්ල හබරත්තාවල ප්‍රදේශයට ගියෙමු. ඇය නමින් නිලූෂා සඳමාලි (29)ය. ඇයගේ සැමියා ප්‍රදීප් සම්පත් අබේකෝන් (35) යුද හමුදාවේ සේවය කළ අයෙකි. පසුව වෙඩි වැදීමකින් ආබාධිත තත්ත්වයට පත්ව යුද හමුදාව අතහැර ගොස් සිටින අයෙකි.

මේ දෙපළට දරුවන් පස්දෙනෙක් මේ වනවිට සිටිති. වැඩිමහල් දියණිය නෙත්මි කෞෂල්‍යා අවුරුදු 12කි. සවනි අප්සරාගේ වයස අවුරුදු 11කි. විහඟ ජීවන්ත 06 හැවිරිදිය. ඉමේෂා මදුමාලි වයස අවුරුදු තුනහමාරකි. සසිදු සම්පත්ගේ වයස අවුරුදු දෙකහමාරක දැරියකි.

දරුවන් තිදෙනකු පාසල් වයසේ පසුවන අතර එක් දරුවකු පෙර පාසල් වියේ පසුවෙයි. අනෙක් දරුවා තවමත් මවගේ කිරි උරාබොන පුංචි දරුවෙකි.

කුලී වැඩක් කරමින් ඊට අමතරව තම ගම්මානයේ පොල් ගස්වලට නැඟ පොල් කඩා ලබාගන්නා මුදලින් ඇය වේලක් හැර වේලක් තම දරුවන්ටගේ කුස පිරවීම සිදුකරන බව ඇය පැවැසුවාය.

ආබාධිතව සිටින තම සැමියාට නිසියාකාරව වැඩක් කර ගැනීමට නොහැකි නිසා ඔහු අවට පදිංචිකරුවන්ගේ සහාය ඇතිව දඹුලු ඔයේ වැලි ගොඩ දැමීම සඳහා යන බව ඇය පැවැසුවාය. එහෙත් මේ දිනවල යුද හමුදාවෙන් පලා ආ චෝදනාව යටතේ තම සැමියා යුද හමුදා භාරයට ගෙන රැගෙන ගොස් තිබෙන බව ඇය කීවාය.

එම නිසා මේ දිනවල නිලූෂා සඳමාලිට දරුවන් රැකබලා ගැනීමත් කුලී වැඩ කිරීමත් සියල්ල පැවරී තිබේ.

කටුමැටි ගැසූ කුඩා නිවෙසක කුප්පි ලාම්පු එළියෙන් ඇය දරු පස්දෙනාත් සමඟ දිවිගෙවති.

තමන්ට ජීවත්වීම සඳහා ඕනෑම දුකක් විඳීමට හැකි බවත් උතුරා යන දරු සෙනෙහස නිසා ඕනෑතරම් දරුවන් දායාද කිරීමට තමන් සූදානම් බවත් ඇය පැවැසුවාය.

තමන්ට ප්‍රශ්නය බවට පත්ව ඇත්තේ දරුවන්ට ආහාර පාන සොයාදීම, නිදා ගැනීමට නිවෙසක් අහිමි වීම සහ අධ්‍යාපනයට පහසුකම් ලබාදීමට නොහැකිවීම බවද ඇය කීවාය.

දරුවන්ගේ අවශ්‍යතා සපුරාදීමට හැකියාව ඇත්නම් තමාට දරුවන් 50ක් වුවද දායාද කිරීමට ශක්තිය ඇති බව ඇය සතුටින් සඳහන් කළේ මවු සෙනෙහස උතුරා යන දයාවෙනි.

මේ මවට, දරුවන්ට කාගේ හෝ උපකාරයක් ලබාදීමට හැකි නම් එය ජාතියේ යුතුකමකි. ඔවුන්ගේ ලිපිනය වන්නේ ආර්.එම්. නිලූෂා සදමාලි, දඹුලු හල්මිල්ලෑව, හබරත්තාවල, දඹුල්ල. මේ අය සම්බන්ධ කර ගැනීමට ඔවුන්ට අඩුම තරමේ දුරකථනයක් හෝ නොමැත. එමෙන්ම බැංකු ගිණුමක්ද නොමැත.

No comments