Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

දේපළ හානි සිදුවීම් පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක්?

වයඹ පළාතේ හා ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයක සිදුවූ දේපළ හානි කිරීමේ හා පූජනීය ස්ථාන කීපයකට හානි කිරීමේ සිදුවීම් කිසියම් දේශපාලන කුමන්ත...

වයඹ පළාතේ හා ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයක සිදුවූ දේපළ හානි කිරීමේ හා පූජනීය ස්ථාන කීපයකට හානි කිරීමේ සිදුවීම් කිසියම් දේශපාලන කුමන්ත්‍රණකාරී සිදුවීම් මාලාවක ප්‍රතිඵලයක් ලෙස සංවිධානාත්මක කල්ලයක් විසින් සිදුකරන ලද ඒවා බවට පොලීසියට තොරතුරු හෙළිවී තිබේ.

බොහෝ ස්ථානවලට හානි කළ පිරිස් එම ස්ථානවලට පිටතින් පැමිණ ඇති බවටත් ඇතැම් පුද්ගලයන් යම් යම් දේශපාලනඥයින්ගේ අනුදැනුම මත ක්‍රියා කළේද යන්න පිළිබඳව සොයා ගැනීම සඳහා විශේෂ පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

කුලියාපිටිය සහ අවට ප්‍රදේශවල සිදු වූ කලහකාරී සිද්ධි සම්බන්ධයෙන් නාමල් කුමාර, අමිත් වීරසිංහ සහ ඩෑන් ප්‍රියසාද් යන තිදෙනා ඊයේ (14දා) අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී ඩෑන් ප්‍රියසාද් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, සෙසු දෙදෙනා පොලිස් මූලස්ථාන විශේෂ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ කලහකාරී හා නොසන්සුන්කාරී සිද්ධිවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මූලස්ථානය විසින් විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර තිබෙන බවයි.

එම විශේෂ පොලිස් කණ්ඩායම විසින් මහ සොහොන් බළකායේ නායක අමිත්වීරසිංහ තෙල්දෙණිය ප්‍ර‘දේශයේදීත්, දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර වරකාපොළ ප්‍ර‘දේශයේදීත් අත්අඩංගුවට ගනු ලැබූ බවද ඔහු සඳහන් කළේය.

මීට අමතරව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නව සිංහලේ ජාතික සංවිධායක ඩෑන් ප්‍රියසාද් නමැත්තා‍ අත්ඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඔහුගේ නිවසට ගොස් තිබේ. එම අවස්ථාවේඩෑන් ප්‍රියසාද් සිය නිවසේ සිට නොමැති අතර, පසුව ඔහු නීතිඥයෙකු සමග පැමිණ කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය කාලයේදී මහනුවර ආශ්‍රිතව සිදුවූ ගැටුම්කාරී සිද්ධි සම්බන්ධයෙන්ද අමිත් වීරසිංහ නමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතුකළ අතර,ඔහු මාස කිහිපයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමටද අධිකරණය කටයුතු කළේය.

ජනාධිපතිවරයා ඇතුළු ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියක් පිළිබඳව නාමල්කුමාර නමැත්තා මීට ඉහතදී මාධ්‍ය මගින් තොරතුරු හෙළිකළ අතර අදාළ පරීක්‍ෂණ කටයුතු තවමත් සිදුකරමින් තිබේ. නාමල් කුමාර නමැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සමග කතාබහ කරන ආකාරය නිරූපණය වන ඡායාරූප සමාජ ජාල මාධ්‍ය තුළ ඊයේ දිනය තුළ දී ප්‍රචාරය වී තිබිණි. මේ අතර, ඊයේ (14දා) අත්අඩංගුවට ගැනීමට පෙර මාධ්‍ය වෙත අදහස් දැක්වූ නාමල් කුමාර මහතා මෙසේ සඳහන් කළේය.

මම දැක්කා මමත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාත් එකට ඉඳගෙන කතා කරන ස්වරූපයේ ෆොටෝ එකක් අන්තර්ජාලයේ හුවමාරු වෙනවා. ඒ සම්බන්ධව යම් මාධ්‍ය ආයතන මගින් අදහස් දක්වනවත් මම දැක්කා. ඊට පස්සෙ මට දැනගන්න උවමනා වුණා පොලීසියෙන් ඇයි අපේ ගෙදර වට කරන්න ආවේ කියන එක ගැන.

13 වැනිදා උදේ මමත්, අපේ සභාපතිතුමාත්, තවත් දෙදෙනෙකුත් අපේ පුද්ගලික අවශ්‍යතාවක් වෙනුවෙන් යම් කෙනෙක් හමුවෙන්න ආරච්චිකට්ටුව ප්‍රදේශයට ගියා. ඒ යනකොට හෙට්ටිපොල පොලීසිය ඉදිරිපිටදී අපේ වාහනයේ රියදුරුගේ හිතවතුන් කිහිපදෙනෙක් බහින්න කියල අපට කිව්ව නිසා අපි වාහනයෙන් බැස්සා. එතන භික්ෂූන් වහන්සේලාත් හිටියා. අපි ඒ අයගෙන් ඇහුවා ඇයි කියලා. පස්සෙ එයාල කිව්වා අපේ පිරිසක් අත්අඩංගුවට අරගෙන තියෙනවා, ඒ අය නිදහස් නොකළොත් අපි ගහනවා කියලා. පස්සෙ භික්ෂූන් වහන්සේ නමකුයි එතන හිටපු තවත් දෙදෙනෙකුත් එක්ක අපි හෙට්ටිපොළ පොලීසියේ ස්ථානාධිපතිවරයා හමුවෙලා විස්තරේ අහපුවහම එතුමා කිව්වා ඔව්, කිහිපදෙනෙක් බිංගිරිය පොලීසියෙන් අත්අඩංගුවට අරගෙන, ඒ අය මේ වෙනකොට හෙට්ටිපොළ පොලීසියේ රඳවා තබාගෙන ඉන්නවා. ඒ අය නිදහස් කරනවාද නැද්ද කියන එක සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පිරිසක් මේ වෙනකොට සාකච්ඡාවක ඉන්නවා කියල.

පස්සේ එතනට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාත් ආවා. එතුමා මගෙන් ඇහුවා ඔයා මොකද මෙහෙ කියලා. මම එතුමට කිව්වා මම ආරච්චිකට්ටුවට යන ගමන් කට්ටිය දැකල මට කතා කළා, ඒ නිසා මම බැස්ස කියල. පස්සේ එතුමා මට කිව්වා මේක මගේ ආසනය, මෙහෙ ප්‍රශ්න මට විසඳගන්න පුළුවන් තමුසෙ යනවා යන්න කියලා. ඒ වෙලාවෙත් එතන යම් නොසන්සුන්තාවක් ඇති වූ නිසා මම එතනින් ගියා. පැය දෙකකින් විතර පස්සේ මට ආරංචි වුණා ඒ ප්‍රදේශයේ ගැටුමක් ඇති වුණා කියලා

කෙසේවෙතත්, කලහකාරී ලෙස රැස්වූ පිරිස් විසින් පෙරේදා (13දා) සිදුකරන ලද හානිවලින් විශාලතම හානිය හෙට්ටිපොළ, කොටන්පිටිය ප්‍රදේශයේ සිදුව ඇතැයි අද පුවත්පතට නිරීක්ෂණය විය. යතුරුපැදිවලින් පැමිණි පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් කොටන්පිටිය ප්‍රදේශයේ නිවාස, වෙළෙඳ සැල් හා ආගමික ස්ථානවලට හානි කර තිබිණි. මෙම හානිවල වටිනාකම ඊයේ (14දා) සවස් වනතුරුත් තක්සේරු කර නොතිබූ අතර, සිද්ධියෙන් භීතියට පත්වූ කොටන්පිටිය ජනතාව දැඩි කම්පනයකට පත්ව සිටියහ. මේ අතර, ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ස්ථාන කීපයක පිහිටි වෙළෙඳ සල් කීපයකටද කඩාකප්පල් කාරීන් විසින් පහරදීම නිසා බරපතල ලෙස හානි සිදුවී තිබිණි.

වයඹ පළාත තුළ සිදුවූ කළහාකාරී සිද්ධිවලට අදාළව හා ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීමේ චෝදනාව මත 60 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. මෙම පිරිස් හදිසි අවස්ථා රෙගුලාසි යටතේ හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ තිබෙන නෛතික ප්‍රතිපාදන මත අත්අඩංගුවට ගෙන තිබෙන බවද හෙතෙම පවසා සිටියේය. මෙම නීතිමය තත්ත්වය යටතේ අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත වන සැකකරුවන්ට ඇප ලබා ගැනීමට සිදුවනුයේ මහා ධිකරණයකින් බවද ඔහු කියා සිටියේය. මෙවැනි සිද්ධියකට අධිකරණයකදී වැරදිකරු බවට පත්වුවහොත් වසර 10ක් දක්වා සිරදඬුවම් ලබාදිය හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

වයඹ පළාත තුළ සිදු වූ කලහාකාරී සිද්ධිවලට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 09 දෙනෙකු හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 27 දක්වා රක්ෂිත බන්ධානාගාරගත කර තිබේ. තවත් සැකකරුවන් 10 දෙනෙකු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. සෙසු සැකකරුවන්ද අධිකරණ වෙත ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.

මෙම සිදුවීම සොයා බැලීමට අදාළ ප්‍ර‘දේශවල සිටින පොලිස් නිලධාරීන්ට අමතරව නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුගේ මූලිකත්වයෙන් පොලිස් කණ්ඩායම් යොදවා සිටින බවද ඔහු සඳහන් කළේය. කලහකාරී හා නොසන්සුන්කාරී සිද්ධි සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පත්කර ඇති විශේෂ පොලිස් කණ්ඩායම පොලිස් අධිකාරීවරයෙකුගේ අධීක්‍ෂණයෙන් ක්‍රියාත්මක වේ.

මෙවැනි ක්‍රියාවලට සම්බන්ධ වී අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් අදාළ කටයුතු අවසන් වීමෙන් පසු රැකියාවකට හෝ විදේශගත වීමට පොලිස් වාර්තා ලබා ගැනීමේදී %ප්‍රචණ්ඩ ක්‍රියාවකට සම්බන්ධ වී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු^ බවට අදාළ පොලිස් වාර්තාවේ සටහන් කරන්නැයි පොලිස් ස්ථානවලට උපදෙස් ලබාදී තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.

No comments