Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ජන බලය හරියටම පාරට ආපු දවසට ආණ්ඩුවට මෙහෙම සෙල්ලම් දාන්න බෑ - වසන්ත සමරසිංහ

ජන බලය හරියටම පාරට ආපු දවසට ආණ්ඩුවට මෙහෙම සෙල්ලම් දාන්න බැරි බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ සති අන්ත පුවත්පතක් හා පැවති සම්මු...

ජන බලය හරියටම පාරට ආපු දවසට ආණ්ඩුවට මෙහෙම සෙල්ලම් දාන්න බැරි බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ සති අන්ත පුවත්පතක් හා පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ.

එම සම්මුඛ සාකච්ඡාව...

ඔබේ නායක අනුර දිසානායක ඇතුළු  සියලු දෙනාම කිව්වා අපි එක මනුස්සයෙක්ගෙවත් ජීවිතයක් අනතුරේ දාන්නේ නැතිව ආණ්ඩුවට එරෙහි  සටන කරන්නේ කියලා. නමුත් ජාජබ උද්ඝෝෂණයට ආ සහෝදරයෙක් මිය ගියා. ඔබලා දුන් ඒ සහතිකය කඩ වුණා නේද?

අපේ රටේ ජනතාව ජාතික ජන බලවේගය එක්ක ගම් නියම්ගම්වල, වැඩබිම්වල සියලු දෙනා ඒකරාශි වී උද්ඝෝෂණ කරනවා. මැතිවරණයක් කැඳවන විට මැතිවරණයට සහාය දී ජාතික ජන බලවේගය දිනවන්න ඒ ජනතාව  කටයුතු කරද්දී ආණ්ඩුව කුමන්ත්‍රණකාරීව ඡන්දය කල් දාන්න පිළිවෙළින්  වැඩ කටයුතු කළ ආකාරය අපි දැක්කා. රටක ප්‍රජාතන්ත්‍රවාදය අකුළන්න කටයුතු කරද්දී ජනතාව ඇස්, කන් පියාගෙන බලා ඉන්නේ නැහැ. මහ පාරේ උද්ඝෝෂණය කරද්දී  රනිල්- රාජපක්ෂලාගේ ඒ ආණ්ඩුවේ ම්ලේච්ඡත්වය තමයි අපිට පෙන්නුවෙ උඹලා පාරට බහින්නත් එපා කියල. මේ විදිහට  පාරට බහින්න  එපා නම්  වහාම ඡන්දය තියන්න. අපේ සහෝදරයෙක් මිය ගියා නෙවේ, ඒක  සම්පූර්ණයෙන්ම ආණ්ඩුවේ ඝාතනයක්. මේ සහෝදරයගෙ ඝාතනයේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි. ඡන්දය නොපවත්වා ආණ්ඩුව  කටයුතු කරනවා නම් අපිට මේ උද්ඝෝෂණ අඛණ්ඩව කරගෙන යන්නට සිදු වේවි.

නමුත් ඔබලාට අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කළා. ඒ දුන්නු වාරණ නියෝගය අනුව කටයුතු කළා නම් අර මියගිය සහෝදරයා තවමත් ජීවත් වෙනවා නේද?

පොලිසිය මොකටද වාරණයක් ගත්තෙ. පාරෙ පෙළපාළියක් යනවා කියලා පොලිසිය  එක පැත්තක ඉද්දි අපි තව පැත්තකින් පෙළපාළිය ගියා. ඇයි පොලිසිය පැති තුනක් වහගෙන හිටියේ. ආණ්ඩුව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, නිදහස මේ කඩ කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය කඩනවා නම් ඒක නොදැක්කා වගේ මිනිස්සු ගල්ගැහිලා වකුටු වෙලා ඉඳලා හරියන්නෑ. ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදය කඩ කරපු පාලකයන්ට මොකද වුණේ. ආණ්ඩුව නීති විරෝධීව වැඩ නොකළ නම් මේ කිසි ප්‍රශ්නයක් නෑ. මේක ව්‍යවස්ථානුකූලව ආපු ඡන්දයක්. ඒක කල් දාන්න ව්‍යවස්ථා විරෝධී වැඩ කරන්නේ ආණ්ඩුව. එහි සම්පූර්ණ වගකීම තියෙන්නෙ රනිල්ටයි රාජපක්ෂලාටයි.

දැන් කුමක් කිව්වත් එක පුද්ගලයකුගේ ජීවිතය අහිමි වෙලා. තව පුද්ගලයෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. 28 දෙනකු තුවාල වුණා. මෙහෙම වෙද්දී  ජනතාව උද්ඝෝෂණ, පෙළපාළි යන්න ඉදිරියට ඒවි කියලා ඔබ හිතනවද?

අපේ රටේ අද ඊයෙක නෙමෙයි මිනිස්සු අසාධාරණයට එරෙහිව සටන් කළේ. ඉතිහාසය නැවත නැවත අපට ඔප්පු කරමින් තිබෙනවා රනිල් වික්‍රමසිංහගේ මාමා කරපු දේවල්  මොනවද කියලා. එදත් රනිල්ගෙ ජේ.ආර්. මාමා කළේ සංවර්ධන සභා මැතිවරණයේදී යාපනය පුස්තකාලයට ගිනි තියලා, ජාතිවාදය හදලා, දේශපාලන පක්ෂ තහනම් කරලා,  කළගෙඩි ලාම්පු සෙල්ලම් දාපු ප්‍රජාතන්ත්‍ර විරෝධී  වැඩ. අදත් රනිල් ඒක කරන්න හදනවා. හැබැයි ඒ කරන්නේ පොහොට්ටුවේ මන්ත්‍රිවරු එකසිය තිස් අටක් එක්ක එකතුවෙලා. රනිල්ටයි පොහොට්ටුවේ මන්ත්‍රි 138ටයි අපි කියන්නේ ඡන්දය තියන්න කියලා. ජන බලය හරියටම පාරට ආපු දවසට ඔය රනිල්ට මෙහෙම සෙල්ලම් දාන්න බෑ.

ඔබ විශ්වාස කරනවද උද්ඝෝෂණයේදී සියලු දෙනා ඉතා සාමකාමී ව කටයුතු කළා කියලා?

ඔව්. අනිවාර්යයෙන්. ජනතාව මේ සටනට බොහොම ඉවසීමෙන් ප්‍රජාතන්ත්‍රවාදීව දායකත්වය දුන්නෙ. ඉදිරියේදීත් එහෙමයි. මේ ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමේ උත්සාහයක්. ඒක වළක්වන්න ඉඩ දෙන්නේ නැහැ. එහෙම වළක්වන්න කටයුතු කළොත් තවත් දස දහස් ගණනක් පාරට බහින  එක අපිටවත්  නවත්තන්න බැහැ.

මිනිස්සු  පීඩාවට පත් කරන අර්බුද රැසක් මේ වනවිට ඔඩු දුවමින් තියනවා. මේ වෙනුවෙන් නේද විශාල බලපෑමක් කළ යුත්තේ?

ඒක හින්දා තමයි ජනතාව එදා ගෝඨාභය රාජපක්ෂ කියන්නේ සැලැස්මක්, වැඩපිළිවෙළක් නැති මෝඩ පිස්සෙක් කියලා එළෙව්වේ. රනිල් දැන් ගෝඨාභයගේ පිස්සුවම පාර්ලිමේන්තුවට පැනලා වළං කඩේට පැන්න ගොනා වගේ හැසිරෙනවා. තමන්ට උත්තර ලැබෙන විදිහට තමයි තෙල් මිල, ලයිට් බිල වැඩි කරන්නේ. දිගටම ජනතාව පීඩාවට පත් කරන ක්‍රියාමාර්ග ගන්නවා. ඒ නිසා තමයි ජනතාව ආණ්ඩුවට කියන්න හැදුවේ ඡන්දෙ තිබ්බාම ඕගොල්ලෝ ගෙදර යන්න කියලා. හැබැයි රනිල්ලා රාජපක්ෂලා ගෙදර යන්න සැලසුමක් නෑ. ඒ වෙනුවට කූට සැලසුම් කරනවා මැතිවරණය නොතියන්න. අපි ඒ කූට සැලැස්ම අනිවාර්යයෙන්ම පරද්දනවා. ජනතාව වෙනුවෙන් අපි වැඩ කරනවා. රනිල් ජනතාව එක්ක සෙල්ලම් කරලා ගෙදර යන්න විදිහකුත්  හොයාගන්න. මොකද ඉතිහාසයේ පාඩම් රනිල් ඉගෙන ගන්නෙ නෑ.

ලැබෙන ආරංචි අනුව නම් මේ වසර දෙක කිසිම  ඡන්දයක් නොතියා කෙළින්ම ජනාධිපතිවරණයකට  යන සූදානමක් තිබෙනවා කියලා ආරංචියි?

රනිල් කැමැති ඇති පිනට හම්බවෙච්ච ජනාධිපතිකම entertain කරලා යන්න. විඳලා යන්න. හැබැයි රනිල්ට ඒකට ඉඩ නෑ. ජනතාවට බර පටවල රනිල්ට සතුටින් රජ කරන්න  බෑ. රනිල්ට මේ විදිහට  අවුරුදු දෙකක් නෙමෙයි මාස දෙකක්වත් ඉන්න වෙන්නෑ මැතිවරණය තිබ්බොත්. රනිල් එක්කො ගෝඨාභයගෙ පාඩම ඉගෙන ගන්න. නැත්නම්  ගෝඨාභයගෙ අත්දැකීමම විඳින්න බලන් ඉන්න.

කොහොම වුණත් බොහෝ පිරිස් කියනවා මේ වෙලාවේ ඡන්ද තියන්න බැහැ, තියෙන ප්‍රශ්න ටික හෙමි හෙමින් විසඳගන්න අවශ්‍ය බව?

අවුරුදු 75ක් මේ රට කරපු මිනිස්සු රට මේ තැනට වට්ටලා තවත් අපිට ඡන්දෙ  ඕන්නෑ කියලා කියන්නෙ. ලෝකෙ මිනිස්සු කවුරුත්  කියන්නෙ නෑ ඡන්ද  එපා කියලා. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණය තමයි ඡන්දයක් තිබීම. ඒ නිසා මේ ප්‍රශ්න විසඳලා ඡන්දෙට යන්න ඕන කියන අයගෙන් අහන්නේ අවුරුදු හැත්තෑ පහක් තිස්සේ අපේ ප්‍රශ්න විස¾දුවාද? ජනතාවට කන්න  නෑ. ඉස්පිරිතාලෙ බෙහෙත් නෑ. x-ray කාඩ් එකක් ගන්න බෑ. සිසේරියන් සැත්කමට ඉන්ජෙක්ෂන් එක නෑ. ගොවිතැනට පහසුකම් නෑ. ණය ගෙවන්න බැරි බංකොලොත් රටක් හදපු මේ අය කවුද විශ්වාස කරන්නේ? මේ සල්ලි නැති ප්‍රශ්න නෙමෙයි. ඡන්දෙට තියන ප්‍රාණ බය මේ ඔප්පු වෙන්නෙ. 2023 අය-වැය  රුපියල් කෝටි හැත්තෑ අටදාස් පන්සියක් වෙන්කළා. ඡන්දෙට යන්නෙ  කෝටි 10ටත් අඩු ගාණක්. ඒ කියන්නෙ 0.02ටත් අඩු ප්‍රමාණයක්. ඉතින් මේ පට්ටපල් බොරු කියන්නෙ ඡන්ද තියන්න සල්ලි නැහැ කියලා.

මිනිස්සුන්ට මේවා තේරෙනවද?

ඔව්. මිනිස්සු  මෝඩ නෑ. පාර්ලිමේන්තුවට තමයි මූල්‍ය බලය තියෙන්නෙ. මූල්‍ය  බලය අයථා ලෙස භාවිත කරන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පාර්ලිමේන්තුවට ගෙනත් හරි නම් ප්‍රශ්න කරන්න ඕනි. අවසන් ගණන් බැලීමේ නිලධාරියා මුදල් අමාත්‍යාංශ ලේකම්.

ආණ්ඩුවේ ඇමැතිවරුන්ම කියනවා දෙසැම්බර් වෙනකම්  කිසිම ඡන්දයක් නැහැ කියලා. යම් හෙයකින් ඡන්ද  සිතියම හැකිළුවොත් ගන්නා පියවර මොකක්ද?

අනිවාර්යයෙන්ම ව්‍යවස්ථානුකූලව එන ඡන්දය ලබා ගන්න මේ රටේ ජනතාව වෙනුවෙන් අඛණ්ඩව උද්ඝෝෂණ කරනවා. ක්‍රියාමාර්ග ගන්නවා. රටක මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උන්මන්තක තක්කඩියකුගේ වුවමනා වෙනුවෙන් යට කරන්න දෙන්න බැහැ.

ඉදිරියේදී කිසිදු ජීවිතයට හානියක් නොවී උද්ඝෝෂණ සහ වෘත්තීය  ක්‍රියාමාර්ග ගන්නා බවට ඔබට සහතිකයක් දිය හැකිද?

අපි  ප්‍රජාතන්ත්‍රවාදීව අරගල කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නරි හම් පොරවාගත්  කපටින්ට ඔන්න තමන්ගේ සළු උනා දාලා තමන් ඉන්නේ කොතැනද කියලා පෙන්නන්න අවස්ථාව තියෙනවා. මේ කරන්නේ ඒගොල්ලොත් නිරුවත් කරලා තමනුත් නිරුවත් වීමක්. අර කරු ජයසූරියට  ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්  සම්මානත් දුන්නා.  කෝ ඒ කරු ජයසූරිය? පේන්නේ නෑ. ලෝකය ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියා ගන්නා අයත් අද නිහඬයි. මේ අත්තනෝමතික රනිල් රාජපක්ෂගේ ක්‍රියාමාර්ගවලට එරෙහිව තමයි අපි මේ අරගලය කරන්නේ. අපි නීතිය පැත්තෙන් යන්න පුළුවන් උපරිම මැදිහත්වීම් කරනවා. ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය මැදිහත් කිරීම් කරනවා. ඇමරිකානු විදෙස්  කටයුතු අමාත්‍යාංශයේ සෙනෙට් සභිකයන්ගේ කණ්ඩායමත් මැතිවරණයක් ඉල්ලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැන් කියා තිබෙනවා මැතිවරණය කල්දාන්න එපා කියලා. රනිල් රාජපක්ෂලා  මේ  අත්තනෝමතිකව ව්‍යවස්ථා විරෝධීව කරන මේ වැඩේට ජාත්‍යන්තරයත් අද එරෙහිව කටයුතු කරනවා.

ඡන්දෙ කල් යන්න කල් යන්න  මිනිස්සුන්ගේ ඔළු වෙනස් වෙනවා. විශේෂයෙන්  ජවිපෙට විවිධ මඩ ප්‍රහාර එල්ල වෙනවා. ඔබ විශ්වාස කරනවද ඡන්දෙ එනතුරු  ජනතාව අල්ලගෙන ඉන්න පුළුවන් කියලා?

ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය රටේ ජනතාවට ඇත්ත කියලා තියෙන්නෙ.  ජනතාව අපිට වඩා ඇත්ත කියන, පිළිගන්න තැනකට තමයි අපි රට ගෙනියන්න ඕන. මාලිමාව රට ගැන කියලා තියෙන ඇත්ත තව කෙනකුට කියන්න බෑ. මොකද ජනතාවගෙන් යැපිලා  දේපළ හොරාකාලා ඉන්න ඔය  නඩයෙ කිසිකෙනෙක්ට ඇත්ත කියන්න බැහැ. ඡන්දය මාස දෙකක් අවුරුදු දෙකක් කල් දැම්මත් මේ ආර්ථික පීඩනය ඇතුළේ ජනතාව අපිට ඒකරාශී වීම වළක්වන්න බැහැ. කුස්සිය වළන් ටික හිස්. ලුණු පොල්කට්ට හිඳිලා. සීනි බෝතලේ හිඳිලා. පොකට් එක හිස්. බැංකු  ගිණුම් සෘණ ශේෂයෙ. බඩත් හිස් කාටවත්  නොපෙනුණාට දැන් ජනතාව ජීවත් වෙන්නේ ඉතාම අමාරුවෙන්. මේ රටේ ජනතාව සංවිධානය වෙනවා හැර වෙන කිසිම දෙයක් කරලා වැඩක්  නැහැ මින්පසු.

විදුලි බිලත් සියයට 265කින් වැඩි වෙලා තිබෙන්නේ සකසුරුවමින් විදුලිය පාවිච්චි කරන අයට. මේකට මොකක්ද ගන්න පියවර?

විදුලි බිලත් ඉතාම ඉහළයි.  රටේ ජනතාවගේ ආදායම් වැඩි නොකර,  පඩි වැඩි නොකර විදුලි බිල වැඩි කළාම ඒ මිනිස්සු  ඒවා ගෙවන්නෙ කොහොමද? දැන් වතුර බිල වැඩි වෙනවලු. බැංකු  ණය පොලී වාරිකය වැඩි වෙලා. ආණ්ඩුවට සල්ලි නැත්තම් මිනිස්සුන්ට  කොහෙන්ද සල්ලි? වහාම විදුලි බිල අඩු කරන්න. ණය පොලී වාරික අඩු කරන්න. එහෙම කරන බැරි නම් ආණ්ඩුව බැහැලා ගෙදර යන්න.

ඔබ අනුරාධපුර පුරපති අපේක්ෂකත්වයට පෙනී සිටිනවා. ඒ ප්‍රදේශයේ ජනතාව  ගොවිතැන පැත්තෙන් දැඩි  අසීරුවක ඉන්නෙ. මොකක්ද ඔවුන් වෙනුවෙන් ඔබට තියෙන ප්ලෑන්  එක?

ඇත්තටම අපේ රට බඩඉරිඟු ටික මෙහෙ කඩනොකොට පිටරටින් ගෙනල්ලා පටවා ගන්නවා. වී අස්වැන්න ගද්දි  නියමිත මිලක් නෑ. හාල් ටික  පිටින් ගේනවා. පොහොර ටික හරියට දෙන්නෙ නෑ. අස්වැන්නක් නෑ. ගොවි ජනතාව ගැන කිසි දැක්මක්, සැලැස්මක්, ඉලක්කයක් නැති ආණ්ඩුවක් මේක. ඒ නිසා මේ ආර්ථික අර්බුදයට අද ඇණයක් වෙලා තියෙන්නේ දේශපාලන අර්බුදයයි. ඒ දේශපාලන අර්බුදයට විස¾දුමක්  නොදී ආර්ථික අර්බුදයක් විසඳාගන්න  බෑ. ඒකයි අපි කියන්නේ ඡන්දයක් තියන්න. අලුත් ආණ්ඩුවක් හරහා උත්තර සොයන්න පුළුවන්. ඒ හැර මේකට පැලැස්තර හෝ මැජික් එකක් නෑ.

ඔබ ජාතික වෘත්තීය  සමිති මධ්‍යස්ථානයේ  ජාතික සංවිධායක හැටියට මොකක්ද ඉදිරියේදී  කරන්න  බලාපොරොත්තු වෙන්නෙ?

රටේ සියලු වෘත්තීය සමිති මධ්‍යස්ථාන සමඟ සම්මුඛ සාකච්ඡා කරලා බදු වැඩි කිරීම්, පොලී වැඩි කිරීම්, සහනාධාර කප්පාදු, වතුර විදුලි බිල් වැඩි කිරීම,  රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම ඇතුළු කාරණාවලට එරෙහිව විරෝධතාවලට ප්‍රවිෂ්ට වී තිබෙනවා. ජනතා අයිතිවාසිකම්  වෙනුවෙන් අපි දිගින් දිගටම මැදිහත් වෙනවා. අපේ වෘත්තීය ක්‍රියාමාර්ග රනිල්ගෙ තක්කු මුක්කුවලට නවතින්නෙ නෑ.

– අනුරාධා හේරත්

No comments