Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

බින්දුවටත් පහළින් පටන් ගත්ත මගේ ජීවිතේ දිනනකල්ම එයා මාව අත නොහැර හිටියා.. - මනේජ් සංජය

මනේජ් සංජය කියන්නේ රියැලිටි හරහා ගායන ක්‍ෂේත්‍රයට ආ තරුවක්. මනෝජ් ගැන වැඩියෙන් කතාබහක් ඇති වුණේ හිරු ස්ටාර් රියැලිටි වේදිකාවට එකතු විමත් සමඟ...

මනේජ් සංජය කියන්නේ රියැලිටි හරහා ගායන ක්‍ෂේත්‍රයට ආ තරුවක්. මනෝජ් ගැන වැඩියෙන් කතාබහක් ඇති වුණේ හිරු ස්ටාර් රියැලිටි වේදිකාවට එකතු විමත් සමඟ. මනෝජ් මේ වන විට ඔහුටම අනන්‍ය වූ ගීත ගණනාවක්ම ඉදිරිපත් කරමින් සමාජය තුළ ගායකයෙක් විදිහට තමන්ගේ ප්‍රතිරූපය නිර්මාණය කර ගනිමින් සිටින කෙනෙක්. 

මනේජ් සංජය සහ සාරධාගේ විවාහ සංවත්සරය නිමිත්තේන් ඔහු විසින් සිය FB පිටුවේ සටහනක් තබා තිබුනා..

බින්දුවටත් පහළින් පටන් ගත්ත මගේ ජීවිතේ දිනනකල්ම ඔයා මාව අත නොහැර හිටියා. ❤️

හැමදාම කිව්වේ ඔයාට පුළුවන් .. අපි දිනමු කියලා.. ඔයා දිනනකල් වගේම හැමදාම ඔයා අතනොහැර ඉන්නවා කියලා.. 

ඔව් අපි දිනුවා 

සල්ලි නෑ කියලා අතෑරලා යන ආදර කතා ඇතුලේ මොන දේ නැතත් තමන්ගේ එකාව රජ කරන්න උත්සහකරන ඔයා වගේ අය හැමෝටම ලැබෙන්න ඕන 

Happy anniversary my lovely wife Ayomi Saradha ❤️

සතුටින් ඉමු හැමදාම..

මනේජ් සංජයට ආදරය කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඔහු සමඟ සති අන්ත පුවත්පතක මේ විදියට සොඳුරු සංවාදයක් සටහන්ව තිබුණා.

මනේජ් සෑහෙන්න කාර්යබහුලයි වගේ.

ඇත්තටම කාර්යබහුල කාලයක්. හැබැයි ඒ ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණු ආදරේ නිසාම තමයි. ගොඩක් ස්තුතිවන්ත වෙනවා ආයෙමත්. 

හිරු ස්ටාර් වේදිකාවට එන්න කලින් ඉඳලා සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා නේද හිටියේ

හික්කඩුව ශයිනි සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් විදියට ගීත ගැයුවා. කලාකරුවෙක් වීමේ ආසාව හිතේ තිබ්බ නිසා තමයි මම හිරු ස්ටාර් වේදිකාවට ගියේ. එතැනින් තමයි ජිවිතේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගැහෙන්නේ. මේ වෙලාවේ මුලින්ම ආදරෙන් මතක් කරන්න ඕනේ ජනක දීප්ත අයියා. ඔහු තමයි මාව මේ සංගීත ක්ෂේත්‍රයට ගෙනාවේ. අධික කාර්යබහුල කලාකරුවෙක්ගේ මට්ටමකට මාව අවුරුදු දෙකක් තිස්සේ ගෙනාවේ හිරු ස්ටාර් වේදිකාවෙන් ලැබුණු ආදරය. ඒ නිසා ඒ හැමෝටම ගොඩක් ස්තූතියි.

දැන් සංගීත ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කාලයක් වෙනවද?

අවුරුදු හතක් පමණ වෙනවා. ඒ හතෙන් අවුරුදු පහක්ම මම උත්සහ කළා මගේ ගමන හදාගන්න. මම රියැලටි තරග අටකට විතර ගිහින් තියෙනවා. මුල් කාලේ වෙච්ච අඩුපාඩු හදාගෙන ටික ටික, වැටි වැටි, අත් නොහැර ඉස්සරහට ආවා. හිරු ස්ටාර් වේදිකාවෙන් සම්පූර්ණ පෙරළියක් මම කරනවා.

මනේජ් පුංචි කාලේ ඉඳන්ම හීන දැක්කේ ගායකයෙක් වෙන්නද?

නැහැ. මම හීන දැක්කේ වෛද්‍යවරයෙක් වෙන්න. ඒ නිසාම උසස් පෙළ කරේ විද්‍යා අංශයෙන්. නමුත් ඒ කාලේ මගේ පවුලේ තිබුණු ආර්ථික තත්වය එක්ක මට ඒ හීනයට යන්න බැරි වෙනවා. ඒකත් එක්ක ජිවිතේ කඩාවැටීම් කිහිපයකට ලක් වෙනවා. නමුත් මම මගේ ගමන අත් හරින්නේ නැහැ. ඊට පස්සේ තමයි සංගීතය පැත්තෙන් ඉස්සරහට එන්න පටන් ගත්තේ.

සංගීතය පාසල් කාලේ ඉඳන්ම හදාරලා තියෙනවද?

සංගීතය පාසල් කාලයේ හැදෑරීම් කළා. නමුත් මම එක අවස්ථාවක සංගීතය අතහැරලා සිංහල සාහිත්‍ය විෂය තෝරා ගත්තා. සංගීත ගුරුතුමිය මට හොඳටම බැන්නත් හැකියාවක් තියාගෙන ඇයි එහෙම කරන්නේ කියලා. වෛද්‍ය හීනය කඩා වැටුණාම මම උපරිම උත්සහ කළා සංගීතය පැත්තෙන් අනාගතය ගොඩ නඟා ගන්න. ඒ කාලේ තමයි හික්කඩුව ශයිනි සංගීත කණ්ඩායම මට හමුවෙන්නේ. දැන් අවුරුදු හතක් තිස්සේ මම තවමත් සංගීත කණ්ඩායම එක්ක ඉන්නවා. ඉන් හැර යන්න කිසිම අදහසක් නැහැ.

පාසල් ගියේ කොහෙද?

මුලින්ම ගියේ දීරානන්ද මහා විද්‍යාලයට. ශිෂ්‍යත්වය සමත් වෙලා ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයට ගියා.

පවුලේ කවුද ඉන්නේ?

මගේ අම්මා. මල්ලිලා තුන්දෙනා. ආච්චි සහ සීයා ඉන්නවා. දැන් මම විවාහකයි. අපිට දුවෙක් ඉන්නවා. දුවගේ නම මිහින්‍යා ස්වරැසි.

දුවත් සංගීතයට ඇහුම්කන් දෙනවද?

දුවට තාම අවුරුද්දයි. ඒ නිසා තාම වචන කියන්න බැහැ. නමුත් මම සින්දු කියද්දී මගේ දුවත් මුමුණනවා. බලමු ඉදිරියේදී එයත් සංගීතයට හැකියාවන් අරන් ඇවිත් ද කියලා.

සංගීත ක්ෂේත්‍රයට ආ දවසේ ඉඳන් ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමද?

මාව සංගීත ක්ෂේත්‍රයට යොමු කිරීමේ මුල්ම හීනය තිබ්බේ මගේ අම්මාට. මම පොඩි කාලේ ඉඳන්ම අම්මා මාව සංගීත ප්‍රසංගවලට එක්ක යනවා. ඒ සංවිධායක මණ්ඩලයට කියලා කොහොමහරි මට සින්දුවක් කියන්න අවස්ථාව අරන් දෙනවා. ඒ නැති අවස්ථාවල අම්මා අඬලත් තියෙනවා. කොහොම හරි අම්මගේ හීනය හිරු ස්ටාර් වේදිකාව තුළින් සැබෑ වුණා. අම්මා තමයි හීනය පාට කරමින් යන්නේ. අද මම අම්මව රැජිනක් වගේ බලා ගන්නවා. ඒ වගේම සහයෝගයක් මට මගේ බිරිඳගෙන් ලැබෙනවා. පෙම්වතිය වෙලා ඉන්න කාලේ ඉඳන්ම නීති දැම්මේ නැහැ. අදටත් එහෙමයි. ඒ නිසා මම හරි නිදහසේ මගේ රැකියාව කරගෙන යනවා.

ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැන මොකද හිතෙන්නේ

“පණට නමක්“ ගීතයේ ඉඳන් මේ වෙනකම් ආව හැම ගීතයක්ම යූ ටියුබ් එකේ ට්‍රෙන්ඩඩින් ආවා. පණට නමක්, පොරොන්දුවක්, උපමාවක්, ජෝඩු කරගෙනා, මනාලයි, සසර බැඳීමක්, එක පිට එක ට්‍රෙන්ඩඩින් ආවා. මම කියන්නේ නැහැ ඒක එහෙමම වෙන්න ඕනේ කියලා. නමුත් ප්‍රේක්ෂක ආදරේ ඒ මට්ටමට ගෙනැත් තිබුණා. ඉදිරියේදීත් මම හිතනවා ඒ ආදරේ ලැබෙයි. හැබැයි ජනප්‍රියත්වය කියන්නේ හරි තාවකාලිකයි. ඒ දේ ඇතිවෙනවා වගේම නැති වෙන්න පුළුවන්. මම අත්දැකීමෙන් දන්නවා. ඒ නිසා ඒ හැමදේටම මුහුණ දෙන්න බලාගෙන ජිවත් වෙන්නේ. කිසිම දෙයක් අපි අරගෙන යන්න ආව දේවල් නෙවෙයි. ඒ නිසාම කිසි දෙයක් බදාගෙන නැහැ. ජීවිතේ විඳිමින් හරි සතුටින් කාලය ගෙවනවා.

වෛද්‍යවරයෙක් නොවී ගායකයෙක් වීම ගැන අද මොකද හිතෙන්නේ

වෛද්‍යවරයෙක් වුණා නම් මිනිසුන්ගේ ලෙඩ හොඳ කරනවා කියන එක වෘත්තියක් වගේම ලොකු පිනක්. මම දැන් මේ ඉන්න ක්ෂේත්‍රයත් ඒ වගේම තමයි. අපිට පුළුවන් සංගීතයෙන් මනුස්සයෙක් පිනවන්න. මනස සුවපත් කරන්න. ඒ හැමදේම මම කරලා තියෙනවා. මට ගොඩක්ම ආරාධනා ලැබෙන්නේ මංගල උත්සව වලට. මිනිසුන්ගේ හැඟීම් කියවන්න ලැබිලා තියෙනවා. මම ඒ දේවල් ඇස් දෙකෙන් දැකලා තියෙනවා. ඒ නිසා සංගීතය කියන්නෙත් මනස සුවපත් කරන ඔසුවක්ම තමයි.

ඒ කියන්නේ අද ගායකයෙක් වීම ගැන තෘප්තිමත්

ඇත්තෙන්ම තෘප්තිමත්. මම මිනිසුන්ගේ වෝට් එකෙන් ආව කෙනෙක් නිසා මට පුළුවන් දේ මම කරනවා. මම හිතන්නේ මගේ ජීවිතේ ගැන විතරක් නෙවෙයි. මගේ ජනප්‍රියත්වය කොහොමද තව මනුස්සයෙක්ට උදව් කරන්න යොදා ගන්නේ කියන එක ගැන මම හිතනවා. මම මාසෙකට වතාවක් කාට හෝ සරණක් අවශ්‍ය කෙනෙක්ට උදව් කරනවා. කෙනකුගේ ජීවිතයක් ගොඩ දාන්න අපිට මේ ලැබුණු ජනප්‍රියත්වයෙන් කරන්න පුළුවන් කියන එක මම කරලා පෙන්නනවා.

මේ අවුරුද්දේ අහන්න දකින්න ලැබෙන අලුත් නිර්මාණ මොනවද?

මම සාමාන්‍යයෙන් මාස හයකට එක ගීතයක් කළේ. නමුත් මේ අවුරුද්දේ හිරු නාළිකාවේ නාට්‍යයක තේමා ගීතයක් එන්න තියෙනවා. විලන් චිත්‍රපටයට මම ගීතයක් ගැයුවා. ඒ දේවල් අහන්න දකින්න ලැබෙයි. තව මගේම නිර්මාණ කිහිපයක්ම එන්න තියෙනවා.

අවසාන වශයෙන් ලැබෙන ප්‍රේක්ෂක ආදරේට යමක් කියන්න ඇති

අනිවාර්යෙන්ම. මම බින්දුවටත් පහළින් හිටිය කෙනෙක්. ජීවිතේ හොය හොයා ගිය කෙනෙක්. අද මම යමක් තැනක ඉන්නවා නම් ඒ මට ආදරේ කරපු ප්‍රේක්ෂකයින් ලබා දුන්නු වෝට් එක නිසා. ඒ නිසාම තමයි මාසෙකට වතාවක් කාට හෝ උදව්වක් අවශ්‍යය කෙනෙක්ට උදව්වක් කරන්නේ. මට පුළුවන් විදියට මම ඒ දේ ඉදිරියටත් කරනවා. අදටත් වෙනස් නොවී මා එක්ක ඉන්න ප්‍රේක්ෂක ආදරේ දැනෙනකොට ඒ ගැන සතුටුයි. මගේ අනාගතය තියෙන්නේ ප්‍රේක්ෂකයින් අතේ. මාව මේ තරම් දුර ගෙනාවාට ආදරෙයි හැමදෙනාටම ගොඩක් ස්තුතියි.

- අනුෂා රණසිංහ

No comments