Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මානව හිමිකම් කොමිසමත් දෙකට බෙදේ ! පොලිස් ඇමති කැඳවීම දේශපාලන කුමන්ත්‍රණයක්ද?

විරෝධතා විසුරුවා හැරීමේ සිදුවීම්වලට අදාළව මානව හිමිකම් කොමිසම මහජන ආරක්ෂාව භාර ඇමැතිවරයා කැඳවීමට තීරණයක් ගෙන නැතැයි එම කොමිසමේ සාමාජිකයන් පස...

විරෝධතා විසුරුවා හැරීමේ සිදුවීම්වලට අදාළව මානව හිමිකම් කොමිසම මහජන ආරක්ෂාව භාර ඇමැතිවරයා කැඳවීමට තීරණයක් ගෙන නැතැයි එම කොමිසමේ සාමාජිකයන් පස්දෙනාගෙන් සිවු දෙනෙක්ම පවසති.

මහජන ආරක්ෂාව භාර ඇමැතිවරයා කැඳවීමට මානව හිමිකම් කොමිසම තීන්දුවක් ගෙන ඇති බවට පළ වන්නේ වැරැදි පුවතක් යැයිද කොමිසමේ සාමාජිකයන් සිවු දෙනකුගේම දැනුවත් භාවයකින් තොරව නිවේදනයක් පළකළේ කෙසේ දැයි මාධ්‍ය නිලධාරියාගෙන් විමසන්නේ යැයිද කොමිසමේ සාමාජිකයකු වන ආචාර්ය විජිත නානායක්කාර මහතා කියා සිටියේය.

කොමිෂන් සභාව පෙබරවාරි 28 වැනිදායින් පසුව මේ වනතෙක් රැස් වී නැතැයි කී හෙතෙම, මෙවැනි තීන්දුවක් ගැන සෙසු කොමසාරිස්වරුන් දැනුවත් වූයේද ජනමාධ්‍ය මඟින් යැයි අවධාරණය කළේය.

මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරන්නේ නම් ඒ ගැන සභාවේ කොමසාරිස්වරුන් පස්දෙනාම දැනුවත් විය යුතු නමුත් මේ ගැන සභාපතිනිය හැර කිසිවකුත් දැනුවත් නැතැයි එහි කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි චෝදනා කළේය.

තමන් දින කීපයක් තිස්සේ තායිලන්තයේ වැඩ සිටින්නේ යැයිද මහජන ආරක්ෂක ඇමැතිවරයා කොමිසමට කැඳවීමක් ගැන තමන්වහන්සේ දැනුවත් නැතැයිද එහි කොමසාරිස් කළුපහනේ පියනන්ද හිමියෝ පැවැසූහ.

තමා සති දෙකක් තිස්සේ නිවාඩු දමා සිටින්නේ යැයිද මේ ගැන කිසිදු කරුණක් නොදන්නේ යැයිද එහි කොමසාරිස්වරියක වන අනුසුයා ෂන්මුගනාදන් කීවාය.

මානව හිමිකම් කොමිෂන් සභා සාමාජිකයන් සිවුදෙනා මෙම අදහස් පළ කළේ උද්ඝෝෂණ මැඬපැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් අනුගමනය කළ ක්‍රියා පිළිවෙත් පැහැදිලි කරගැනීම සඳහා මහජන ආරක්ෂාව භාර අමාත්‍ය ටිරාන් අලස් මහතා එලෙඹන 13 වන සඳුදා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බවට පසුගිය 9 වැනිදා එම කොමිසමේ ලිපි ශීර්ෂයෙන් පළ කළ නිවේදනය සම්බන්ධයෙන් කළ විමසීමේදීය.

එහිදී මේ ගැන විස්තර කළ එහි කොමසාරිස් ආචාර්ය විජිත නානායක්කාර මෙසේ පැවැසුවේය.

“මහජන ආරක්‍ෂක ඇමැතිතුමා කොමිෂන් සභාවට කැඳවා ඇති බවක් ඇත්තටම කොමිෂන් සභාවේ අපි නම් දන්නේ නැහැ. ඒක ගැන කොමිෂන් සභාව හැටියට එහෙම තීන්දුවක් ගත්තෙත් නැහැ.”

“කොමිෂන් සභාවේ සාමාජිකයන් පස්දෙනෙක් ඉන්නවා. මම දන්න විදියට ඒකෙන් හතර දෙනෙක් දන්නේ නැහැ.”

“කොමිෂන් සභාව අවසන් වරට රැස්වුණේ පෙබරවාරි 28 වැනිදා. ඉන් පස්සේ රැස්වෙලත් නෑ. මේ පිළිබඳව කිසිම තීරණයක් අපි ගත්තෙ නැහැ. අපි දැනගත්තෙත් මාධ්‍ය නිවේදනයක් ඉදිරිපත් කළාට පස්සේ. ඒක කොහොම වුණාද? කවුද මේක දැම්මේ කියලා කොමිෂන් සභාව හැටියට අපි දන්නෙ නැහැ.”

“එහෙම ඉදිරිපත් කිරීම මුළුමනින්ම දෝෂ සහිතයි. ඒක වැරැද්දක්. ඒ ගැන අපි තීන්දුවක් ගත්තෙ නැහැ. මම දන්න විදියට කොමිෂන් සභාවේ සභාපතිතුමිය හැරෙන්න අනෙක් සාමාජික සාමාජිකාවන් හතර දෙනෙක් ඉන්නවා. ‍ෙදාස්තර නිමල් කරුණාසිරි, අනුසුයා ෂන්මුගනාදන්,  කළුපහනේ පියනන්ද හිමි. උන්වහන්සේ දැනට තායිලන්තයේ ඉන්නෙ. අපි හතර දෙනාම මේ ගැන දන්නෙ නෑ.”

“මෙතැන ගිහින් තියෙන්නෙ සම්පූර්ණ වැරැදි මතවාදයක්, කොමිෂන් සභාවේ තීන්දුවක් තියෙන එක. කොමිෂන් සභාවේ  මාධ්‍ය නිලධාරියෙක් ඉන්නවා. එයාගෙන් අහන්න ඕනෑ තීන්දුවක් නැතිව කොහොමද ඒක දැම්මෙ කියල.”

වෛද්‍ය නිමල් කරුණාසිරි: “අපි දන්නෙ නෑ ඇත්තටම. කොමිෂන් එක එහෙම තීන්දුවක් අරගෙන නෑ. ඇමැතිවරයා ගෙන්වන එක හරිද? වැරැදිද? කියන එක නෙවෙයි මම කියන්නෙ. එහෙම තීන්දුවක් අපි අරන් නෑ.”

“අපි නම් නිවේදනයක් නිකුත් කළේ නෑ. කොමිෂන් එක හැටියට නිවේදනයක් නිකුත් කරනව නම් කොමිසමේ ඉන්න කොමසාරිස්වරුන් පස්දෙනාම දැනගන්න ඕනෑ. විජිතත් කතා කළා. විජිත දන්නෙ නෑ. අපි දන්නෙ නැතුව එහෙම කරන්න බෑ. අපි පක්‍ෂ වුණත්, විරුද්ධ වුණත් අපි දැනගන්න එපායැ.”

“මේකට අස්සන් කරපු කෙනෙක් ඇතිනේ. එයාගෙන් තමයි අහන්න ඕනෑ මේකට කවුද අස්සන් කළේ කියලා. අපි දන්නෙ නැතිව අපේ නම් පාවිච්චි කරල එහෙම නිවේදන දාන්න බැහැ.”

“චෙයාර් පර්සන් එහෙම නිවේදනයක් දැම්මත් එයාට තනියම තීරණ ගන්න විධායක බලයක් නෑ. කොමිසමේ කිසිම සාමාජිකයකුට විධායක බලයක් නෑ. අපි කවුරුත් එකතු වෙලයි තීරණයක් ගන්න ඕන.”

කළුපහනේ පියනන්ද හිමි: “මම නම් ඒ ගැන දන්නෙ නැහැ. මම ඉන්නේ ලංකාවේ නොවේ. එහෙම දෙයක් ගැන අපි සාකච්ඡා කළෙත් නෑ. මට එහෙම කතා කරලා කිව්වෙත් නැහැ කවුරුවත්. එහෙම තීන්දුවක් ගත්තා කියලවත්.

අනුසුයා ෂන්මුගනාදන්: “මම වැඩට ගියේ නෑ. මම නිවාඩු. මම මේ ගැන මුකුත් දන්නෙ නෑ. මම සති දෙකක් තිස්සේ නිවාඩු දාලා ගෙදර හිටියේ. මෙඩිකල් ලීව් දාලා සුමාන දෙකක්ම මම ගෙදර හිටියේ.”

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිය වන අතර පුජ්‍ය කළුපහන පියරතන හිමි, වෛද්‍යාචාර්ය නිමල් කරුනාසිරි, ආචාර්ය විජිත නානායක්කාර , අනුෂියා ෂම්මුගනාදන් එහි සෙසු සාමාජිකයින් වේ. එම සියලු පත්වීම් සිදුකර තිබුනේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි.

- ජේ.ටී. ද සිල්වා

No comments