Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ජීවිතය සමඟ මම ඔබ නැතිව වැතිරේ - දරාගත නොහැකි තැන කඳුළු පොඩි පිපිරේ.... - දුලානි අනුරාධා

  රාමායනයටත් වඩා ඒක  දිග  කතාවක් වග  ඉතිහාසයටත් වඩා අතීතය  පැරණි වග ලැබී ඇති කාලය ඉදින් අවසන්  වග  මට  කියා දුන්නේ ...




 රාමායනයටත් වඩා
ඒක 
දිග 
කතාවක්
වග 
ඉතිහාසයටත් වඩා
අතීතය
 පැරණි
වග
ලැබී ඇති කාලය
ඉදින්
අවසන් 
වග 
මට 
කියා දුන්නේ
ඔබ...
අතීතයට කොන්දේසි ඇත. වර්තමානයේ ඒ සියල්ලම ඉතිරි වී ඇත. මතකයේ රැුඳී ඇත. විඥානයේ පැතිර ඇත. අනාගතය පැමිණ නැත. එහෙයින් ඇයට අනුව මුල, මැද පමණක් ගැළපී ඇත. මේ, දුලානි මෙතුවක් ඒ නොකී වත.

‘‘මම හිතන්නෙ මනුෂ්‍යාත්මයක් ලබන එක වාසනාවක්. ඒ අතරිනුත් අනිත් අයට වඩා මට මිනිසුන්ගෙ ආදරය, ළෙන්ගතුකම, ජනප‍්‍රියත්වය ලැබෙනවා වැඩියි. මට කිසියම් වෙන මම පිළිගැනීමක් ලැබිල තියෙනවා. ඒ අතින් මම ගොඩක් වාසනාවන්තයි. සමහර විට මේක මට අහඹුවකින් ලැබුණ අවස්ථාවක් වෙන්නත් පුළුවන්. ඉතින් මං මේ ලබපු ජීවිතේ සුන්දරත්වය විඳිනවා. ඒ වින්දනය තුළ ජීවත් වෙනවා. ඔව්, ඇත්තමයි. මං ජීවිතය ගොඩක් විඳිනවා. ’’

ජීවිතය සමඟ මම 
ඔබ නැතිව
වැතිරේ
පිම්බුණු හුස්ම තව
අවකාශයේ 
ඇතිරේ
කොඳ මලූත් පරව ගිය
ආදරේ
ඉතිරේ
දරාගත නොහැකි තැන
‘කඳුළු පොඩි’
පිපිරේ...

‘‘ආදරය කියන දේ හැමෝටම පොදුයි. ඒකට වයස් භේදයක් නෑ. මොනම භේදයක්වත් නෑ. ආදරය මිනිස්සුන්ගෙ ජීවිතවලට විවිධාකාර දේ එකතු කරනවා. මට විතරක් නෙමෙයි, කාටවත් ආදරය නැතිව ජීවත් වෙන්න බෑ. ආදරය කියන්නෙ හුස්ම. ඒතරම්ම ඒක ජීවිතයට සම්බන්ධයි. 
මටම ම කියලා වෙන්කර ගත්ත, අයිතිකර ගත්ත පේ‍්‍රමයක් ගැන මට හරියටම මතක නෑ. සමහර විට මට නොදැනෙන්න කාගෙ හරි හිතේ එහෙම දෙයක් තියෙන්න ඇති. එහෙම තිබුණත් ඒ ප‍්‍රථම පේ‍්‍රමයම ද කියලා කියන්න තරම් අවබෝධයක් මට නෑ. 
ඒත් මං පේ‍්‍රමය විඳලා තියෙනවා. ඒක මට එදත් ලැබුණා. අදත්, මේ මොහොතෙදිත් ලැබෙනවා. හෙටත් ඒක ඒ විදිහටම වේවි. ඒක අතිශය පෞද්ගලිකයි. ඒ වගේම සුන්දරයි. 
සමහර වෙලාවට දුක හිතෙන දේවල් වෙන තැන් එහෙමත් තියෙනවා. පේ‍්‍රමය බිඳ වැටුණ තැනුත් තියෙනවා. ඒ ඉතින් ආදරේ හැටි. මට දැනෙන ආදරය හැටියට, මං කරන ආදරයේ හැටියට එහෙම කටුකත්වයක ඉඳගෙන වුණත් ඒ කටුක බව  සුන්දරව විඳගන්න මට පුළුවන්.’’

කළු පාට බිංදුවේ
පේ‍්‍රමයද හැංගුවේ
බොර පාට ඇන්දුවේ
කවුද හිත ඉන්දුවේ
හැරෙන කොට හන්දියේ
‘දෙව්රමේ’ වංගුවේ
දුවන කොට පිස්සුවෙන්
‘නොමළ අබ’
හම්බුවේ....
ඇයට අවකාශය අවශ්‍ය විය. අවකාශයක්  නොවුණි නම් ආස්වාදයක් නොවන්නට ඇත. එහෙයින් දෙවියන් ඇය වෙනුවෙන් ‘අවකාශයක්’  නිර්මාණය කර ඇත. ඇතැමකුට එය කාංසාව උපදවන සුළුය. තවකෙකුට සාංකාව ගෙන එන සුළුය. එහෙත් ඈට ඒ කිසිවක් අදාළ නොවන්නේය. 
ඔබ මොබ ඇවිද ගිය තැන්, පිය ලකුණු වූ තැන්, නිහඬව සිටිනු නොහී තව කල්, වාන් දමන්නට විය පේ‍්‍රමයේ අබිමන්.

‘‘විවාහයට කියලා වෙන් වෙච්ච වයසක් තියෙන්න බෑ. සමහරු අවුරුදු 15න් 16න් පැනලා යනවා. තවත් සමහරු අවුරුදු 25,27 වගේ වයසෙදිත් විවාහ වෙනවා. 30දිත් බඳිනවා, 40දිත් බඳිනවා. ඔය අතරෙ සමහරු නොබැඳ ඉන්නවා. ඒක ඒ ඒ අය කැමැති විදිහ. කොයිකද හරියි කියන්න අපිට බෑ. ඒත් මට හිතෙනවා ඔය විවාහ වෙන අයට වඩා තනිකඩව ඉන්න අය ආදරේ සුන්දරත්වය විඳිනවා වැඩියි කියලා. තනියම ඉන්නකොට ආදරෙන් හිත පිරෙනවා.  සතුට වුණත් වැඩිපුර දැනෙනවා.’’

ඉඩෝරය මැද කඳුළු අස්වද්දන, රුහිරු වෙස් ගෙන උන්හිටි තැන් පවා අහිමි කළ. අසනි වැස්සකිය තනිකම. මෘගසන් වැස්සකිය පාළුව.

නළල මත වත් කළ 
පඬු පාට සිත්තම
මුණිවරුත් කලබලයි
සිසි වුවන දැක්කම
බොරු නැතිව කියන වද 
ළඟට විත් ඇත්තම
‘කාවද පේන්නෙ...?’
ඇස්පියා ගත්තම...

 ‘‘මට තවම එහෙම දැනෙන්නෙ නෑ. ඇත්තටම කියනවා නම් මට තනිකම බරක් වෙලා නෑ. මං සතුටින්, සැහැල්ලූවෙන් ජීවිතය දිහා බලන් ඉන්නවා. දැනට මට තනිකම කියන දේ දැනෙන්නෙම නෑ. ඒත් අනාගතේ කොහොම වෙයිද කියලා මට දැන්ම ම  කියන්න බෑ. ඒක මගේ දෛවයට අනුව තීරණය වෙයි. 
සමහර දේවල් මට අහිමි වුණා. සමහර දේවල් මට නැති වුණා. ඒත් මං කවදාවත් නැති වුණ දේවල් ගැන හිතලා දුක්වෙන කෙනෙක් නෙමෙයි. මං තේරුම් අරන් ඉන්නෙ, ඒක තමයි ජීවිතේ කියලා.’’ 

 දියෙන් කිර වෙන් කර ගන්න, හංස සමීකරණය විසඳන්න, පේ‍්‍රමයත් රාගයත් ගලපන්න, ඇයට හිතුණා ඔන්න...
පේ‍්‍රමයට පුළුවන්ලූ හිතම අස්වද්දන්න... රාගයට පුළුවන්ලූ ගතම හිරි වට්ටන්න...

තනන්නට හිත් වුවත් ජීවිතය රඳන්නට සෙනෙහසක් තව නැතිය... පේ‍්‍රමයේ දිගුව කුටුම්බයක්ය. එහෙත් ඈ ඊට වෙනස්ය. අදහස් හිතුවක්කාරය. එහෙයින් ඈ ස්ථානගත වන්නේ වෙනස් තැනකය.

පරළු රෙදි කැබැල්ලේ
වෙරළු මල් සුවඳකිය
කිරළ ඇබ කැබැල්ලේ
විරළ තැන් තව ඇතිය
කොරළ පොතු කැදැල්ලේ
වරළ ගෑවේ ”හතිය”
මරල දැම්මත් සකිය
සරල වරදකි ”රතිය”...

‘‘ආදරේ කරන දෙන්නෙක් අතර ලිංගිකත්වය කියන්නෙ සාමාන්‍ය දෙයක්. ආදරය වගේම ලිංගිකත්වයත් ජීවිතයට අවශ්‍යයි. ඇත්තටම ඒක සාමාන්‍යයි. නමුත් ඒක වැරැුදියට වටහාගත යුතු නැහැ. අවබෝධයෙන් දෙදෙනෙක් අතර වන ලිංගික හැසිරීමක තියෙන්නෙ ආදරය. ඒ නිසා පේ‍්‍රමය සහ ලිංගිකත්වය කියන්නෙ දෙකක් නෙමෙයි.’’ 

වහින එක පුදුමය ගිම්හාන කාලෙට. ගැහෙන හිත කවියක්ය වචන රළු තාලෙට. ඇඬෙන එක සතුටක්ය කඳුළු මුතු මාලෙට.

‘‘මට මොනවා නැති වුණත්, කවුරු නැති වුණත් හොඳ පවුල් පසුබිමක් තියෙනවා. මම හැඳුනෙ වැඩුනෙ අම්මා - තාත්තාගෙ ආදරය මැද. මට හොඳ රැුකියාවක් තියෙනවා. හිතන්න පුළුවන්, තීරණ ගන්න පුළුවන් තැනක මං අද ඉන්නවා. මං මං ගැන විශ්වාස කරනවා. මගේ හැකියාව ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. 
ජීවිතය ගැන මට ලොකු ලොකු හීන නෑ. ලෝකෙට පේන්න කරන්න ලොකු වැඩ මං ගාව නෑ. මට එහෙම වුවමනාවකුත් නෑ. ඔය බොරු දේවල් පස්සෙ දුවලා වැඩක් නෑ. මට දැන් ජීවිතේ අත්දැකීම් තියෙනවා. ඒ නිසා මං සරලව හිතනවා. සැහැල්ලූවෙන් ජීවත් වෙනවා. 
මං හිතනවා මට හොඳ කාන්තා පෞරුෂයක් තියෙනවා කියලා. ගොඩක් අය මට ළං වෙන්නෙ පෙනුමට. රසික ආදරය මට වැඩිපුර ලැබෙන්නෙත් ඔය කියන පෙනුමට.
 සමහරු කියනවා දුලානි ආඩම්බරයි කියලා. මං ආඩම්බර නෑ. ඒ මගේ පෙනුම. ගැහැනු ළමයෙක් වුණාම ටිකක් ආඩම්බර වෙන්න  ඕන තමයි. එහෙම නොවුණොත් ඒකත් කරදරයක් තමයි. (හිනා...*’’

එකමත් එක කාලෙක සිටන් පැවතෙන සිහිනයක් ඈ සතුව වූවාය. එහෙයින් කපකට අවැසි තරම් පොරොත්තු සටහන් තැබුවාය. අවසන ඒ සියල්ලක්ම ක්ෂණ, තත්පර, විනාඩි මතුව නොව පැය ගණන් ගෙවී කාලයේ වැලි තලාවෙන් වැසී ගියාය.

‘‘මට මතකයි, මං කාලයක් ගොඩක් ආශාවෙන් බලන් හිටියා විවාහ වෙන්න. ඉකිමනින් කූඩු වෙන්න. ඒත් හිතක් රිදුනාම ඒ හැමදේම වෙනස් වෙනවා. ආදරය කරපු කාලෙ මගේ හිත රිදුණා. ආදරය කළා කියලා විවාහ වෙන්න  ඕනමයි කියලා නීතියක් නෑ. ඇත්තටම විවාහ නොවී ආදරය කරන්න පුළුවන්. කෙනෙකුට ආදරය කරනවා කියන්නෙ විවාහවෙලා එක ගෙදරක ජීවත් වෙනවා කියන එක නෙමෙයි. ඉතින් මට මේ විදිහ හොඳයි. විවාහ නොවුණත් මං ආදරය කරනවා. 
අනාගතය ගැන මට ලොකු හීන නෑ. බලාපොරොත්තුත් නෑ, පණ තියෙන කල් ඉදීවි. එතකල් සරලව ජීවත් වෙනවා. ගොඩක් බලාපොරොත්තු, ගොඩක් හීන ජීවිතේට බර වැඩියි. බලාපොරොත්තු විනාශ වුණොත්, හීන බිඳලා ගියොත් ඒක දැනෙන්නෙ වෙන කොහෙටවත් නෙමෙයි, පපුවට. ඉතින් හොඳම දේ තමයි සරලව ජීවත් වෙන එක. 
සමහර විට කවදම හරි දවසක මං විවාහ වෙයි. ඒත් එහෙම නොවෙන්නත් ඉඩ තියෙනවා. මං විවාහ නොවුණා කියලා මට ලොකු පසුතැවීමක් නෑ. මොකද විවාහ නොවුණත් මං ජීවිතය විඳිනවා. සමහර වෙලාවට පාලූයි. සමහර වෙලාවට දුකයි. ඒත් ඒ එකක්වත් නෙමෙයි ජීවිතය කියන්නේ. විඳලා මැරිලා යන එකට.’’

හිස් පිටුවක් කවි කොළයක් කරමින් අහිංසකව ජීවිතයේ මුල් පත කියූ ඈ හෙමින් සීරුවේ යළි සමනල් ලොවට පියාසර කෙරුවාය. එහෙයින් අප ද දඹරැුඟිල්ල මත හිර වූ පෑන පසෙකින් තැබුවේය. ඉදින් තවදුරටත් ඇයට වචන නැති ලොවක් මැවිය හැක. තර්කයක් විය හැක. සංකේතවත් විය හැක. ආගමික විය හැක. මූලධර්මයක් විය හැක.
අවසන, 
සියල්ලක් ප‍්‍රහානය කළ හැක
ජීවිතය දැක දැක
කල්පිතයක් නොවන ලෙස...

සකු විතානගේ


No comments