Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

‘මට සම්මාන එපා - සම්මානවලින් මාව අන්දන්න බෑ’ - කෞශල්‍යා ප‍්‍රනාන්දු

මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලේ හොඳම නිළිය වන්නේ ඔබයි? සම්මානයක් ලැබීම ලොකු උනන්දු කිරීමක්; ධෛර්යයක්. නමුත් මේ චිත‍්‍රපටයට වෙච්ච අසාධාරණක...


මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලේ හොඳම නිළිය වන්නේ ඔබයි?

සම්මානයක් ලැබීම ලොකු උනන්දු කිරීමක්; ධෛර්යයක්. නමුත් මේ චිත‍්‍රපටයට වෙච්ච අසාධාරණකම් වගේම අවුරුදු ගාණක් ප‍්‍රදර්ශනයට අවසර නොලැබීම කියන හේතුත් එක්ක මට මේ සම්මානය ගැන මහා ලොකු හැඟීමක් නෑ. චිත‍්‍රපටයක් වාරණය කරන්නෙ චිත‍්‍රපටයේ තිබුණු යම් යම් ප‍්‍රශ්න නිසානෙ. නමුත් ඒ එක ප‍්‍රශ්නයක්වත් පේ‍්‍රක්ෂකයන්ට බලපෑවෙ නෑ. එයාලා ‘බොරදිය පොකුණ’ නැරඹුවෙ හරිම උනන්දුවෙන්.

‘බොරදිය පොකුණ’ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනයෙ දි ලද ප‍්‍රතිචාරත් එක්ක ඔබ සම්මානයක් අපේක්ෂා කළාද?

මිනිස්සු මට ලබා දීපු ප‍්‍රතිචාරය තුළින් සම්මානයක් ලබා ගැනීමෙ දි හිමි වන උත්කර්ෂයටම මාව පත් වුණා. ඒ නිසාම වෙන්න ඇති මේ සම්මානය අවංකවම මට හැඟීමක් ඇති නොකළේ. මං හිතන්නෙ සම්මානවලින් සතුටු වන කාලය මං පහු කරලද කොහෙද? මගේ නාට්‍යයක් කරලා, වැඩමුළු හරහා මං හදන නළු නිළියො රඟපානවා දකිද්දි, ඒ අයගෙ හැකියාව දකිද්දි මේ සම්මානය ලැබුණාට වඩා තෘප්තියක් මං ලබනවා.

ඔබ සම්මානය හිමි වීම ගැන කතා කරන්නෙ ඇල්මැරුණු ස්වභාවයකින්?

මං හිතන්නෙ ඒ තෘප්තිය මං ලබලා ඉවරද කොහෙද. අපට මේ චිත‍්‍රපටය නිසා දීපු වද නිසාද, මං පරණ නිසාද, මට වයස නිසාද මේ හැඟීම නොදැනෙන්නෙ කියලා මමත් හිතනවා. යම් සම්මානයක් ලැබිය යුත්තෙ ඒ කාලයේදිමයි. නමුත් අවුරුදු පහළොවක්.  පොඩි කාලයක් නොවෙයි. වෙන්න තිබුණු ප‍්‍රශ්න ඔක්කොම වුණාට පස්සෙ, ඒ සම්මානය ගැන කිසිම හැඟීමක් ඇති වෙන්නෙ නෑ. ඒ ගැන ඇල්මැරුණු ස්වභාවයක් තමයි මට තිබුණෙ. මං නෙවෙයි සාමාන්‍ය දක්ෂ නිළියක් මේ චරිතය කළා නම් ඒ කෙනාට ඒ සම්මානය ලැබෙනවා. නිළියකට ලැබිය හැකි ඉහළම අවස්ථාවක් ඒ චරිත රංගනයේ දී හිමි වෙනවා. මේ චිත‍්‍රපටය  ජාත්‍යන්තර තලයේ ප‍්‍රදර්ශනය කරද්දි විචාරකයො මං ගැන කියපු දේවල් මට පුදුම විදිහට දැනුණා.

ඔබ පවසන අන්දමට සිනමා නිර්මාණයක් ප‍්‍රදර්ශනය විය යුත්තෙ, එය නිර්මාණය කරන කාලයේදීමයි?

ඔව්. ඒ කාලයේ නිර්මාණය වෙන දේවල්, ඒ කාලයේම ප‍්‍රදර්ශනය විය යුතුයි. දැන් බලන්න දෙරණ සම්මාන උළෙලට සමගාමීව අලූත් අයගෙ චිත‍්‍රපට හයක් පෙන්නුවා. ඒ චිත‍්‍රපට ඒ කාලයට අයත් ප‍්‍රකාශන. කල් පැනලා ආවම සමහර නිර්මාණවල වටිනාකමක් නැතිව යනවා. ඉන්දියාව වගේ රටක මොන තරම් චිත‍්‍රපට නිපදවෙනවද, ඒත් ඒ සේරම ඒ කාලයේම පෙන්නනවනෙ. අපි අවුරුද්දකට චිත‍්‍රපට කීයද හදන්නෙ, ඒ ටික ඇයි පෙන්නගන්න බැරි? මිනිසුන්ට කනවා, බොනවා, අඳිනවා, ඉගෙන ගන්නවා වගේම, හුස්ම ගන්නවා වගේම කලාවත් අවශ්‍යයි. මුළු ලෝකෙම පිළිගන්න කලාව ඇයි අපේ රටේ විතරක් පිළිනොගන්නෙ? තරුණ ප‍්‍රජාව සහමුලින්ම අමතක කරලා කලාව ගැන රසඥතාවක් නැති පිරිස් තීන්දු තීරණ ගන්නවා. ඒක ඛේදවාචකයක්.

රජයක් වශයෙන් කලාවට සම්බන්ධ යම් යම් තීන්දු තීරණ ගැනීමෙ දි තරුණ ප‍්‍රජාව ඉලක්ක කරගත යුතුයි කියලද ඔබ කියන්නෙ?

සත්තකින්ම; රජයක් වශයෙන් කලාව සම්බන්ධ යම් යම් තීන්දු තීරණ ගත යුත්තේ තරුණ පිරිස්, ප‍්‍රවීණ පිරිස් එකතු කරලා කතා බහ කරලා. පසුගිය පාලන සමයටත් එහා ගිය පාලන සමයේ ඉඳලම, සංස්කෘතික අමාත්‍යවරයා පත්කරන තැනේ ඉඳලම අපි දැක්කා කලාවට තිබුණු සැලකිල්ල මොනතරම්ද කියලා. මං දන්නා විදිහට එක්තරා වැඩපිළිවෙළක් ඉදිරියේ දී ක‍්‍රියාත්මක වීමට සැලසුම් සකස් කරනවා. එතන දි ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ යම් යම් සැමරීම් ටිකක් කරගෙන යන්න. එතන දි ආපසු ගමනක් මිසක් ඉදිරි ගමනක් සිද්ධ වෙන්නෙ නෑ. රටක අතීත නිර්මාණ සැමරීම, අගය කිරීම වගේම තරුණ අයගෙ නිර්මාණත් ඒ තරමටම වැදගත්.

සිනමාවට වගේම නාට්‍ය කලාවටත් අද උදා වෙලා තියෙන්නෙ හොඳ කාලයක් නම් නෙවෙයි. නාට්‍ය නිෂ්පාදිකාවක්, ගුරුවරියක් විදිහට ඔබ ඒ ගැන දකින්නෙ කොහොමද?

අද සංවිධායකයො ගමට ගෙනියන්නෙ ජනප‍්‍රියවාදී නාට්‍ය පමණයි. මිනිස්සු නාට්‍ය බලන්න කැමැතියි. ඒත් බලන්න තියෙන්නෙ එකම රැුල්ලක නාට්‍ය විතරයි. නාට්‍ය වර්ග කිහිපයක්ම රස විඳින්න ඉඩ දීලා මිනිසුන්ට තේරීමක් දෙන්න  ඕනේ. සංවිධායකයන්ට මේ මේ දේ පෙන්නන්න කියලා බල කරන්න බෑ. ඒත් රජයක් වශයෙන් මැදිහත් වෙලා මාසෙකට එක පළාතකට වෙනස් රසවින්දනයක් සහිත එක නාට්‍යයක්වත් පෙන්නනවා නම් නාට්‍ය කලාවෙ රසාස්වාදය දියාරු වෙලා යන්නෙ නෑ.

දැන් අපි ඔබ කලාවට පය තබපු අතීත මතකය ආවර්ජනය කරමුද?

ශාන්ත පාවුළු බාලිකාවෙ ඉගෙන ගන්නා කාලෙ අම්මා ළමා නාට්‍ය කරනවා. විකෘති නාට්‍යය කරනවා, පාසල් වේදිකාවෙ. මේක ප‍්‍රසිද්ධ වේදිකාවට ගේන්න අම්මට අවශ්‍ය වෙනවා. ඉතින් නාට්‍ය කණ්ඩායමක් හදනවා. එහි 80% ක්ම හිටියෙ උසස් පෙළ විභාගෙ කරලා ඉන්න ළමයි. මමත් සුළු සුළු චරිතවලට එකතු වෙමින්, තේ හදමින්, ඇඳුම් සෝදමින්, මදිමින් ඒ නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධ වෙනවා. පස්සෙ සුගතපාල ද සිල්වා ඔහුගෙ නාට්‍යයකට සම්බන්ධ කරගන්නවා. එතන තමයි ආරම්භය. ධර්මසිරි බණ්ඩාරනායක, කේ.බී. හේරත්, ප‍්‍රියන්ත සිරිකුමාර, රුවිනි මනම්පේරි යන අයගෙ නාට්‍යවලට වගේම අම්මගෙ නාට්‍යවලටත් එකතු වෙනවා.

වේදිකාවෙන් ඔබ්බට ගමන් කරලා ටෙලි නාට්‍ය සහ සිනමාවට පය තබන්නෙ කොහොමද?

අශෝක හඳගම ඔහුගෙ ‘දුන්හිඳ අද්දර’ ටෙලි නාට්‍යයට මාව සම්බන්ධ කරගන්නවා. ඒ මගේ ප‍්‍රථම ටෙලි නාට්‍ය රංගනය. ඔහුට මගේ රංගනය ගැන පැහැදීමක් තිබුණු නිසාම ඔහුගෙ දෙවන චිත‍්‍රපටය ‘සඳ දඩයම’ට මට කතා කරනවා. එහි ප‍්‍රධාන චරිත රංගනය ලැබෙන්නෙ මට. ඒත් අවාසනාවකට තාක්ෂණික ප‍්‍රශ්න වගයක් ඇවිත් නිෂ්පාදකයා පහුබහිනවා. ඒ නිසා ප‍්‍රසිද්ධ සිනමා ශාලාවල පෙන්නුවෙ නෑ. ඒත් එවකට ලංකාවේ පැවති විචාරක සම්මාන උළෙලට මේ චිත‍්‍රපටය ඉදිරිපත් කරනවා. එතන දි හොඳම නිළියට හිමි සම්මානය මට ලැබෙනවා.

නාට්‍ය කරමින් කලාවට බැහැගෙන හිටපු ඔබ විවාහ වෙනවා. මේ විවාහයත් එක්ක ඔබගෙ කලා කටයුතුවලට තහංචි වැටෙන්නෙ නැද්ද?

මගේ වාසනාවට ද කොහෙද මං විවාහ වුණේ අම්මගෙ නාට්‍ය කණ්ඩායමේ හිටපු අම්මට වැඩියෙන්ම උදව් කරපු පුද්ගලයෙක් සමඟ. බොහෝ නිර්මාණවල දී කොඳු ඇටපෙළ වගේ අම්මට උදව් කළේ ඔහු. නාට්‍යයේ ගොඩක් වගකීම් කරට අරගෙන කටයුතු කළත්, අම්මා ආඥාදායකයෙක් වගේ ඔහුට අධ්‍යාපනයේ ඉහළට යන්න බල කරනවා. ඔහු නාට්‍ය ක්ෂේත‍්‍රය වගේම අධ්‍යාපන ක්ෂේත‍්‍රයත් ජයගත්තා. අපේ ගෙදර දැක්ම ඔහු එදා ඉඳන්ම දන්නවා. තාත්තා අම්මගෙ කලා හැකියාව කොතෙක් අගය කරනවද, ඒ වෙනුවෙන් ලබා දෙන සහයෝගය කොයි වගේද ඔහු හොඳට දන්නවා. ඉතින් මගේ ගමනටත් ශක්තියක් මිසක විරුද්ධත්වයක් ඔහුගෙන් ප‍්‍රකාශ වෙන්නෙ නෑ. ඔහු දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරනවා. ඔහු චන්දන අලූත්ගේ. මම ඔහුව මගේ විවාහක සහකරු ලෙස තෝරාගන්නෙ ඔහු තුළ තිබෙන මානුෂීය ගුණාංග නිසා.

දරුවන් සමඟ ගෙවෙන ජීවිතය සුන්දර අත්දැකීමක්. ඔබ කොහොමද ඒ අත්දැකීමට මුහුණ දෙන්නෙ?

අපේ ලොකුම සම්මානය අපේ දරුවො දෙන්නා. මම විවාහ වෙලා ගොඩක් කාලයක් බලාන හිටියා මේ සම්පත ලැබෙනකන්. මට ඉන්නෙ නිවුන් දරුවො. ඒ, දුවෙකුයි පුතෙකුයි. දැන් වයස අවුරුදු නවයයි. මට වෙලාවකට හිතෙනවා මේ ලබපු සම්මානය ඒ තරමටම නොදැනුණේ මේ දරු දෙදෙනා නිසාමද කියලා. ඒ තරමටම අම්මා කෙනෙක්  විදිහට මං එයාලා නිසා ගොඩක් සතුටින් ඉන්නෙ.

රංගන ශිල්පිනියක, ගුරුවරියක ලෙස මේ ආව ගමන දෙස ආපසු හැරී බලද්දි ඔබ සිත ඇත්තටම සතුටින්ද?

රංගන ශිල්පිනියක් ලෙස මීට වඩා හුඟක් දේවල් කරන්න තිබුණා. ඒ ගැන කනගාටු වෙනවා. මොකද අපි ක්ෂේත‍්‍රයට ආව කාලයේමනෙ මේ කර්මාන්තයේ කඩා වැටීම පටන් ගත්තෙ. නමුත් මම කලාවට සම්බන්ධ ගුරුවරියක් ලෙස තරුණ අයට ගොඩක් උදව් කරනවා. ඒ සම්බන්ධව නම් ලොකු තෘප්තියක් තියෙන්නෙ. මට ඔවුන්ට යම්කිසි මංපෙතක් පෙන්නන්න පුළුවන් වුණා; ඔවුන්ට ජීවිතය ගැන යම් දෙයක් කියලා දෙන්න පුළුවන් වුණා, යම් දැක්මක් ඇති කරන්නට පුළුවන් වුණා. ඒ ගැන මම ගොඩක් සතුටින්. නමුත් රංගන ශිල්පිනියකට වඩා ලේඛිකාවක් වෙන්න මට පුළුවන් වුණා නම් කියන සිතුවිල්ල නිතරම සිතට නැගෙනවා. ඒකට පුදුම දක්ෂතාවක්, පරිකල්පන ශක්තියක් තිබිය යුතුයි. මගේ දරු දෙන්නගෙන් එක්කෙනෙක්වත් ලේඛන ක්ෂේත‍්‍රයට අවතීර්ණ වුණොත් මං ඒකට ගොඩක් කැමැතියි.

No comments