Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ශනුද්‍රි දෙවෙනි ඉනිම හැර යයි ; මෙන්න ඇත්තම කතාව

මේ දවස්වල ඉතා ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් විකාශය වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ රවීන්ගේ (බිමල් ජයකොඩි) හදිසි මරණය පසුගිය කා‍ලේ බොහෝ දෙන...

මේ දවස්වල ඉතා ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් විකාශය වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ රවීන්ගේ (බිමල් ජයකොඩි) හදිසි මරණය පසුගිය කා‍ලේ බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් වූ මාතෘකාවක් වුණා. රවීගේ මරණය පිළිබඳ ප්‍රේක්ෂකයන් සහ විචාරකයන් පැවැත්වූ පශ්චාත් මරණ පරික්ෂණයේදී අන්තිමට හෙළි වුණේ එම චරිතය රඟපෑ බිමල් ජයකොඩි දෙවෙනි ඉනිම හැර යාමට අවශ්‍ය වූ බැවින් මේ විදියට රවීව මරා දැමු බවයි. දෙවෙනි ඉනිමෙන් ශනුද්‍රි ඉවත් වන්නට යනවා යැයි කියන පුවත මීට සති කිහිපයකට කලින් අන්තර්ජාලය ඔස්සේ පැතිර යාමත් සමග ආයෙමත් දෙබර කූඩයකට ගල් ගැසීමක් වුණා.

ඒ සමගම අපි ශනුද්‍රිට දුරකථනයෙන් කතා කොට ඇත්ත නැත්ත විමසා සිටියා.

ඔය ගැන කිසිම දෙයක් කියන්න මට බැහැ

කෙටි පිළිතුරක් දුන් ශනුද්‍රි නිහඬ වූ අතර නැවත ඇයව සම්බන්ධ කර ගැනීමත් අපහසු වුණා. ඔය විදියට කාලය ගෙවිලා ගියා. මීට දවස් කිහිපයකට කලින් පුංචි තිරය හරහා දෙවැනි ඉනිම නරඹන කාටත් දැක ගන්නට ලැබුණේ සමල්කා පැවිදි බිමට ඇතුළත් වී හැමෝගෙන්ම සමුගෙන ගිය හැටියි. හදිසියේම එහෙම වුණේ ඇයි?

මේ ප්‍රශ්නාර්ථයත් සමග තවත් කට කතා පැතිර යන්නට වුණා. ශනුද්‍රිට දෙවෙනි ඉනිමෙන් ඉවත් වීමට අවශ්‍ය හින්දා ඇය රඟ පෑ සමල්කාගේ චරිතයට මෙවැනි ඉරණමක් අත් කළාද? කියලා ඇතමුන් අපෙන් අසද්දී තවත් කෙනෙක් ශනුද්‍රිව දෙවැනි ඉනිමෙන් හලන්න ඕන හින්දා සමල්කාගෙ චරිතය ඉවත් කරලා යැයි අපට කිව්වා. මේ පටලැවිල්ල හින්දාම ඇත්තටම සිද්ධ වුණේ මොකක්ද කියලා දැන ගන්න අපි ආයෙමත් ශනුද්‍රිට කතා කළා. ඒ වෙනකොටත් ශනුද්‍රි මාධ්‍යයට කිසිවක් ප්‍රකාශ නොකරන ප්‍රතිපත්තියකයි හිටියේ. නමුත් ඒ වන විටත් ශනුද්‍රිගේ පියා වන දිනේෂ් ප්‍රියසාද් (ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ) ඔහුගේ සමීප හිතවතුන් සමග මෙසේ කියා තිබුණා. අන්තිම අන්තිම වෙනකොට දුවට ඒ අය හොඳට සලකලා නෑ.

අපි දෙවෙනි ඉනිම අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස්ටයි පිටපත් රචක සමන් එදිරිමුණිටයි කතා කරලා ඇත්තටම සිද්ධ වෙච්ච දේ ගැන ඔබට කියන්නට කල්පනා කළා.

කතාව පටන් ගන්න කොටමයි අපි සමල්කාගේ චරිතයේ මේ විදියට අවසන් කරන බව තීරණය කරලා තිබුණේ. රවී මැරුණේ බිමල් අයියාට නාට්‍යයෙන් ඉවත් වන්න අවශ්‍ය වූ හින්දා. හැබැයි සමල්කා පැවිදි වුණේ ශනුද්‍රි හින්දාම නෙමෙයි. කතාවේ හැටියට එය සිදුවිය යුතු නිසා. දෙවෙනි ඉනිම අධ්‍යක්ෂ සාරංග ඒ විදියට කියද්දී එහි පිටපත් රචක සමන් එදිරිමුනි දුන්නේ ඊට එහා ගිය වෙනස් පිළිතුරක්.

සමල්කා පැවිදි වීම දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ඇගේ චරිතය තුළ අනිවාර්යයෙන්ම සිදුවන දෙයක්. හැබැයි එය සිදුවන්න තිබුණේ මේ විකාශය වන කොටස්වල නෙමෙයි. එය තවත් ටිකක් පහුවෙලා සිදුවන්නට තිබු දෙයක්. ඒත් ඉතින් හදිසියේම සමල්කා පැවිදි බිමට ඇතුළත් කරන්න අපට සිදු වුණා.

ශනුද්‍රි දෙවෙනි ඉනිම නාට්‍යයෙන් ඉවත් වීම හා සමල්කා පැවිදි වීම අතර සහසම්බන්ධයක් ඇති බව ඉඟියක් බව සමන්ගේ කතා බහෙන් කියැවෙන හින්දා. අපි ඒ ගැන වැඩිදුර තොරතුරු ඔහුගෙන්ම විමසා සිටියා. ශනුද්‍රිට දෙවෙනි ඉනිම හැර යන්න ඕනෑ වුණාද? නැතිනම් දෙවෙනි ඉනිම ශනුද්‍රිව හැලුවාද? කියලා ඇහුවාම සමන් පිළිතුරු දුන්නේ මේ විදියටයි.

ශනුද්‍රිව හලන්න අපිට අවශ්‍ය වුණේ නැහැ. එයාටයි යන්න ඕන වුණේ.

ශනුද්‍රි ඒ බව නිෂ්පාදක කණ්ඩායමට දන්වා සිටියාද?

ෂුටිං ඉවර වෙලා ගෙදර ගියා. පහුවදා එස්.එම්.එස්. එකක් එවලා තිබුණා. ආයෙ ෂුටිං එන්නේ නැහැ කියලා. ඒ විදියට තමයි ශනුද්‍රි දෙවෙනි ඉනිමෙන් ඉවත් වුණේ.

ඒ විදියට නතර වුණා නම් සමල්කා පැවිදි බිමට ඇතුළත් වෙලා සමුගන්න ජවනිකා රූගත කළේ කොහොමද?

අහස කළු වෙද්දී වහින්න ළඟ බව අපිට වැටහෙනවා. නළු නිළියන්ගේ හැසිරීම් රටා අනුව රචකයෙකුට තේරෙනවා එයාට නාට්‍යයෙන් ඉවත් වෙන්න අවශ්‍යතාවක් ඇති වෙලාද කියන එක. ඒ අනුව මම කලින්ම සමල්කා පැවිදි බිමට ඇතුළත් වූ ජවනිකා ලියලා තිබුණා. දෙවෙනි ඉනිම නිෂ්පාදක කණ්ඩායමේ ප්‍රශ්න වගේම ශනුද්‍රිගේ ප්‍රශ්නත් ඒ අයට පෞද්ගලිකයි. ඒ වුණත් දෙවෙනි ඉනිම හා සමල්කා අයිති ප්‍රේක්ෂකයින්ටයි. නිර්මාණයේ සිදුවන මේ වගේ වෙනස්කම් හින්දා ප්‍රේක්ෂකයෝ එම නිර්මාණයට දක්වන ප්‍රතිචාරත් වෙනස් විය හැකියි. දෙවෙනි ඉනිම කොටස් 1000ක ටෙලි නාට්‍යයක්. එකම චරිත ටික එකම විදියට ගලාගෙන ගියොත් තමයි ප්‍රේක්ෂකයින්ට එපා වෙන්නේ. කතාව ගලාගෙන යද්දී නොහිතපු දේවල් වුණොත් ප්‍රේක්ෂක ප්‍රතිචාරය යහපත් වෙනවා මිස අඩුවීමක් වන්නේ නැහැ. සමල්කා පැවිදි බිමට ඇතුළත් වීමත් ඒ වගේ සිදුවීමක්. තව කොටස් 500 ගණනක් පුරා මේ නාට්‍යය ගලාගෙන යනවා. ඒ අතරතුරේදී මීටත් වඩා දේවල් විය හැකියි. සමහර චරිත ඉවත් වෙයි. අලුත් චරිත එයි. සිදුවන සමහර සිදුවීම් ප්‍රේක්ෂකයන්ට හිතාගන්න බැරි වෙයි. ඉන්දියානු නාට්‍යයක් මේ රටේ ජනප්‍රියම ටෙලි නාට්‍යය වෙනවා නම් ඒක කාටවත් ප්‍රශ්නයක් ‍නෙවෙයි. ඒත් අපේ නාට්‍යයක් අංක එකට ආවොත් ගොඩාක් අයට දරාගන්න බැහැ. තවමත් දෙවෙනි ඉනිම අංක එකට තියෙනවා. ඒක වැටෙන්නේ කොයි වෙලාවේද කියලා බලාගෙන ඉන්න අය නොයෙක් කතා පතුරුවනවා. හැබැයි ඉතින් මට කියන්න තියෙන්නේ සමල්කා ඉවත්වීම දෙවෙනි ඉනිමට කිසිම ප්‍රශ්නයක් නැහැ කියන එකයි.

දෙවෙනි ඉනිම තුළ මේ ඇති වූ පෙරැළිය ගැන අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් දක්වන්නේ ඒ වගේ අදහසක්. නොසිතූ පෙරැළි සිදුවන මෙගා නාට්‍ය සම්ප්‍රදාය තුළ මියගිය අයටත් පස්සේ කාලෙක යන එන හැටි අපි දැකලා තියෙනවා. අද නාට්‍යයෙන් ඉවත් වූ සමල්කා තව ටික දවසකින් ආයෙමත් දෙවෙනි ඉනිමට එන්න බැරිත් නැහැ. එහෙම වෙයිද? බැරි වෙලා හෝ එවැන්නක් වුණොත් සමල්කා එන්නේ තෙරණියක් විදියටද? නැතිනම් නැවතත් ගිහි ජීවිතයට ආපු සමල්කා විදියටද? ඒ ප්‍රශ්න වැල අපි ඉදිරිපත් කළේ සාරංගටයි. ඔහු ඒ සියල්ලටම දුන්නේ පැහැදිලි, කෙටි ඒ වගේම සෘජු පිළිතුරක්.

නැහැ. සමල්කා ආයේ කවදාවත් දෙවෙනි ඉනිමට එන්නේ නැහැ.

No comments