Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඇරැව්වලින් කොල්ලකාපු කෝටි 700 දියමන්තිය මධුෂ් ළඟට ගිය හැටි

මාකඳුරේ මධුෂ් පොලිස් වෙසින් කණ්ඩායම් යවා කළ රට හොල්ලන අපරාධ බොහොමයක් ඇත. කළුතර එතනමඩලදී රණාලේ සමයං ඉලක්ක කර බන්ධනාගාර බස් රථයට වෙඩි තබා හත...

මාකඳුරේ මධුෂ් පොලිස් වෙසින් කණ්ඩායම් යවා කළ රට හොල්ලන අපරාධ බොහොමයක් ඇත. කළුතර එතනමඩලදී රණාලේ සමයං ඉලක්ක කර බන්ධනාගාර බස් රථයට වෙඩි තබා හත්දෙනකු ඝාතනය කිරීම, මහරගම අරැව්වල නිවෙසකින් රුපියල් කෝටි හත්සියයක් වටිනා දියමන්තියක් කොල්ලකෑම, දෙවුන්දරදී කුඩු කිලෝ එකසිය විස්සක් පැහැර ගැනීම ඒ අතරින් ප්‍රධාන සිදුවීම්ය.

කළුතර, එතනමඩලදී රණාලේ සමයං ඝාතනය කරන්නට යැවූ අංගොඩ ලොක්කාගේ කල්ලිය පොලිස් නිල ඇඳුමෙන් ප්‍රහාරයට යැව්වේ මධුෂ්ය. අංගොඩ ලොක්කා පොලිස් පරීක්ෂකවරයකුගේ නිල ඇඳුමෙන්ය. සෙසු සාමාජිකයන් නව දෙනා අතරින් කිහිප දෙනකුද පොලිස් නිල ඇඳුමින්ය. 2007 පෙබරවාරි 27දා කඩුවෙල උසාවියට සමයං රැගෙන එනදා පොලිස් වෙසින් ගොස් වෙඩි තබා ඝාතන ඉලක්කය ගන්නට පෙර මධුෂ් වීඩියෝ දුරකථන ඇමතුමකින් දුන් උපදෙස් මත ගොස් ප්‍රහාරය එල්ල කරන්නේය. මෙම ප්‍රහාරයෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු ඇතුළු හත් දෙනකු ඝාතනය වන්නේය.

පාකිස්තාන් මත්කුඩු ජාලය හරහා රැගෙන එන කුඩු කිලෝ එකසිය විස්සක් සොයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය දකුණට යන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු වෙළන්දන් අතරේ කුඩු ජාවාරම කරගෙන ගිය කෝටිපති ව්‍යාපාරිකයන් ගැන කළ විමර්ශනයකදීය. පිය, පුතු, දෙදෙනකු මත්ස්‍ය ව්‍යාපාර අතරේ කුඩු ජාවාරම සිදු කරන බව හෙළිවන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කරන විමර්ශනයකදීය. මාළු රැගෙන එන ලොරි අස්සේ මත්කුඩු රැගෙන එන මෙම ජාවාරම සොයා දෙවුන්දරට යද්දී මාකඳුරේ මධුෂ් වෙනත් කණ්ඩායමක් යොදවා එම කුඩු තොගය පැහැර ගත්තේය. එය මෙහෙය වූයේ දෙවුන්දර ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කුඩු තොගය සොයා දකුණට යන විටත් ඔවුන් ලෙසින් ගිය මධුෂ්ගේ කණ්ඩායම එය පැහැරගෙන අවසන්ය. මෙදින මධුෂ්ගේ නියෝග මත පැහැර ගන්නේ පාකිස්තාන් මත්කුඩු ජාවාරමේ නිරත ප්‍රබලයකු වන අන්නාසි මොරිල්ගේ කුඩු තොගයකි.

අන්නාසි මොරිල් කුඩු බෙදා හරින්නට යොදාගත් උපක්‍රමය වූයේ පිය, පුතු දෙදෙනාගේ මාළු ලොරිවල සඟවා දකුණෙන් කුඩු තොග කොළඹ එවීමය. මධුෂ්ට මොරිල්ගේ කුඩු ජාවාරම නවත්වන්නට අවශ්‍ය වන්නේ ඔහු තමාගේ රට පුරා කුඩු ජාවාරම ව්‍යාප්ත කරන සිහිනයට බාධාවක් වන නිසාය.

කඩුවෙල රණාලේ සමයංව ඝාතනය කරන්නට ප්‍රධාන හේතුව ඔබේසේකරපුරදී තම සමීපතමයා වූ හර්ෂ යසස් හෙවත් කඹුරුපිටියේ හර්ෂගේ මරණයට පළිගැනීම බව මධුෂ් අංගොඩ ලොක්කාගේ කල්ලියට ඒත්තු ගැන්වූයේය. නමුත් මධුෂ්ගේ යටි අරමුණ වූයේ අංගොඩ සිට අවිස්සාවේල්ල දක්වාත්, අතුරුගිරිය අවට ප්‍රදේශයත් කේන්ද්‍ර කරගෙන සිදු කළ රණාලේ සමයංගේ මත්කුඩු බෙදාහැරීමේ ජාලය තමා අතට ගැනීමය.

මත්කුඩු ජාලයේ පරතෙරට යන්නට වෙරදරන මධුෂ් දෙවුන්දරින් මොරිල්ගේ කුඩු තොගය කොල්ලකෑමත් සමඟ මොරිල් මධුෂ්ට එරෙහි සටන අරඹන්නේය. එහි ප්‍රතිඵලය මධුෂ් අද අත් විඳින්නේය. මධුෂ්ගේ දෙවැනි බිරිය වූ තිළිණි නිශායාට මධුෂ්ට දාව උපන් දැරියගේ පළමු උපන් දින සාදයේදී මධුෂ් කොටු කරන්නට අබුඩාබි පොලිසියට ඔත්තුව දෙන්නේ අන්නාසි මොරිල්ය.

ඒ මධුෂ් ඉකුත් 2017 වසරේ අගදී මොරිල්ට අයත් රුපියල් කෝටි ගණනක කුඩු තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙසින් ගොස් කොල්ලකෑමට පළියක් ලෙසින්ය. මාකඳුරේ මධුෂ් මෙවර කොටුවීමත් සමඟ මීළඟට කරළියට එන්නේ රටේම කතා බහට ලක්වූ පොලිස් වෙසින් ගොස් කළ රුපියල් කෝටි හත්සියයක් වටිනා දියමන්ති කොල්ලය ගැනය. අබුඩාබි පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් පසුව මාකඳුරේ මධුෂ් සමඟ අසු වූ ගායක අමල් පෙරේරා හා රංගන ශිල්පි රයන් වැන්රෝයන් ගැන ඒ වන විටත් ශ්‍රී ලංකා පොලිසිය විමර්ශනයක් සිදු කරමින් තිබිණි.

දියමන්ති කොල්ලයට මේ දෙදෙනාගේද නම් අෑඳී ඇති බවට වූ තොරතුරක් ඔස්සේ එම විමර්ශනය කෙරෙන්නේ මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා යටතේය.

මාකඳුරේ මධුෂ් ඩුබායි සිට පොලිස් නිලධාරීන්ට එල්ල කළ තර්ජන අතරේ පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරාටද තර්ජනය කළ සිද්ධියක් වාර්තා වන්නේ මීට පෙරය. මහරගම පොලිස් වසමට අයත් පන්නිපිටිය, ඇරැව්වල නිවෙසකට පොලිස් වෙසින් ගිය කණ්ඩායමක් රුපියල් කෝටි හත්සියයක් වටිනා දියමන්තියක් කොල්ලකාගෙන යන්නේ පසුගිය වසරේ නොවැම්බර් 5දාය.

පැමිණිලිකරු සෞදි අරාබියේ කේටරින් ආයතනයක සේවය කළ අයෙකි. එහි සේවයේ නිරතව සිටි ඔහුට මේ තරම් වටිනා දියමන්තියක් හමුවන්නේ තමන් සේවය කළ සේවා ස්ථානයට ගෙනැවිත් දැමූ පස් ගොඩක තිබියදීය. රේගුවට නොදන්වා මෙරටට එවූ භාණ්ඩ අතරේ සඟවා මේ කියන දියමන්තිය ඔහු විසින් මෙරටට රැගෙනවිත් තිබුණේය. ඔහු සෞදියේදී තම මිතුරන්ටවත් තමන්ට දියමන්තියක් ලද බව නොකියන්නට වග බලා ගත්තේය.

හොර රහසේ තම නිවෙසට දියමන්තිය යැවූ මොහු ඉන් පසුව ලංකාවට පැමිණෙන්නේ මැණික් ව්‍යාපාරිකයකු ලෙසින් ගමනක් අරඹන්නටය. ඔහු මැණික් මිලදී ගෙන විකුණන්නට පටන් ගන්නේ කෙදිනක හෝ දියමන්තිය නිසා තමන් පොහොසතකු වන බව දැනගෙනය. විවිධ අයගෙන් මැණික් මිලදීගෙන විකුණමින් මැණික් ව්‍යාපාරයට අතගසන ඔහු මැණික් ව්‍යාපාරය ඉහළට යත්ම කෝටි ගණනක් වටිනා දියමන්තිය විකුණන්නට සැලසුම් යෙදුවේය. ඒ සඳහා විදේශිකයන් කිහිප දෙනකුව සංචාරක මඟ පෙන්වන්නන්් මාර්ගයෙන් ගෙන්වා ගත්තේය. ස්වර්ණාභරණ අධිකාරියෙන් මේ සඳහා තක්සේරු වාර්තාවක්ද ගෙන තිබුණේය. සංචාරක මඟ පෙන්වන්නන් සමඟ විදේශිකයන්ට අමතරව ශ්‍රී ලාංකිකයන් පවා දියමන්තිය මිලදී ගැනීමට එහි ආවේය.

මේ අතරේ මාකඳුරේ මධුෂ්ට තම ඔත්තුකරුවකු මඟින් රුපියල් කෝටි හත්සියයක් වටිනා දියමන්තිය ගැන තොරතුරක් යන්නේය.

මාකඳුරේ මධුෂ් ඒ වනවිටත් රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයන් පසුපස හඹායමින් මැණික් කොල්ලයන් හා කප්පම් ගැනීම් සඳහා තම කණ්ඩායම් යොදවා තිබුණේය.

සීතාවක ගඟේ පාලම යට මැණික් ගරද්දී හොරෙන් පන්නා විකුණූ­ කෝටි ගණන් වටිනා මැණික් ගල් ඇත්තේ රත්නපුර, කුරුවිට, පැල්මඬුල්ල ප්‍රදේශවල මැණික් ව්‍යාපාරිකයන් කිහිප දෙනකු සන්තකයේය. ඒ සියල්ල ගැන හොඳින් දැන සිටියේ අංගොඩ ලොක්කා හා අතුරුගිරියේ ලඩියාය. සීතාවක ගඟේ මැණික් පතලේ ආරක්ෂාවට එවකට සිටියේ අංගොඩ ලොක්කා හා ලඩියා නිසා ඔවුන් මැණික් ගල් විකුණන්නේ කාටදැයි හොඳින් දැන සිටියේය.

කිරිඇල්ලේ මාටුවාගල මැණික් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි හතරක කප්පමක් මධුෂ් විසින් ගන්නේ ලොක්කාගෙන් ලද තොරතුරු මතය.

මීළඟට ඒ අයුරින්ම කප්පම් ගන්නට සූදානම් වූ ව්‍යාපාරිකයන් අතර කිරිඇල්ලේ තිස්ස අප්පෝද සිටියේය. ඔහු ළඟ ඇති කෝටි ගණනක් වටිනා මැණික් කන්දරාවට කෙළ හලමින් සිටි මධුෂ් කෝටි ගණනක කප්පමක් ගන්නට වෙර දැරුවේය. නමුත් මධුෂ්ගේ බිය වැද්දීම් හමුවේ එකී ව්‍යාපාරිකයා ආරක්ෂිතව කොළඹ රැඳී සිටියේය. මේ අයුරින් රත්නපුරයේ මැණික් වෙළෙඳුන් ඉලක්ක කර මධුෂ් අරඹන පාතාල මෙහෙයුමෙන් ව්‍යාපාරිකයන් බිය වැදෙන්නේය.

රත්නපුරයට බැල්ම හෙළන අතරේ මධුෂ්ට පන්නිපිටියේ දියමන්තිය ගැන දැනගන්නට ලැබිණි.

මධුෂ් දියමන්ති කොල්ලය සඳහා සූදානම් කරන්නේ මාතර මල්ලී නමැති පාතාලයකුවය. මාතර, රොටුඹ පදිංචි තුසිත මධුරංග (38) හෙවත් මාතර මල්ලී මාකඳුරේ මධුෂ්ගේ කල්ලියේ සිටි කොල්ලකෑම්වලට යොදාගත් අපරාධකරුවෙකි.

ගිනි අවි පෙන්වා මංකොල්ලෑම් හා මිනීමැරුම් ඇතුළු අපරාධ සම්බන්ධව නඩු දහයකට වඩා ඇති මාතර මල්ලී හිරගෙදර සිට ඇප ලබා පැමිණ වීරකැටියේ පන්සලක රියැදුරකු ලෙස කටයුතු කර තිබුණේය. යළිත් කෙටි කාලයක් යද්දී අපරාධ රැල්ලට එකතු වන මාතර මල්ලී 2017 මාර්තු මාසයේ සිට මධුෂ්ගේ කල්ලි සමඟ අපරාධ රැල්ලට අත්පොත් තබන්නේය.

මාකඳුරේ මධුෂ් මාතර මල්ලීව දියමන්ති කොල්ලයට සම්බන්ධ කරගන්නේ රුපියල් ලක්ෂ පනහක් මාතර මල්ලිට දෙන පොරොන්දුව මතය. ඒ ගැන කතා කරගත් පසුව මධුෂ් මාතර මල්ලීට අත්තිකාරම් ලෙස රුපියල් ලක්ෂ දෙකක් හා ජංගම දුරකථනයක් එවන්නේ දියමන්ති කොල්ලය සඳහාය.

කොල්ලයට යොදා ගන්නේ නොවැම්බර් 5 වැනිදාය. මධුෂ්ගේ කීම මත මාතර මල්ලී පිළියන්දලට එන්නේ නොවැම්බර් 4දාය. මේ වන විටත් මධුෂ් දියමන්තිය මිලදී ගන්නා මුවාවෙන් ඔස්ටි්‍රයා ජාතිකයකු සමඟ රණසිංහ ආරච්චිගේ රවීන්ද්‍ර නාලක නමැති ඔරුවල, අතුරුගිරියේ සිටින මංකොල්ලකෑම් පාතාලයට සම්බන්ධ තම සගයකුව දියමන්තිය ගැන බැලීමට පන්නිපිටියට යවා තිබුණේය.

ඔස්ටි්‍රයා ජාතිකයාත් මධුෂ්ගේ සබඳකම් මත මෙරටට ගෙන්වා ගන්නේ එය මිලදී ගන්නට එන විදේශිකයකු ලෙස පැමිණ කොල්ලය සිදුකරන්නටය.

කොල්ලය සැලසුම් කළේ නොවැම්බර් 5දාය. විදේශිකයා ගෙන්වන්නට කලින් නාලක පන්නිපිටිය ඇරැව්වල පිහිටි දියමන්තිය ගැන මුලින්ම බලන්නේ අගෝස්තු මාසයේදීය. එය බලා පැමිණ මධුෂ්ට සියලු විස්තර ලබාදුන් පසු ඔස්ටි්‍රයා ජාතිකයා ලංකාවට එවන්නේත් මධුෂ්ය.

මොවුන් දෙදෙනා ඇරැව්වල නිවෙසට ගොස් දියමන්තිය ගැන තොරතුරු බලාගෙන විත් මාකඳුරේ මධුෂ්ව දැනුවත් කරන්නේය. ඉන්පසු සියලුදේ සැලසුම් කරන මධුෂ් මාතර මල්ලීව හා අනෙක් කණ්ඩායම් පිළියන්දලට ගෙන්වන්නේය.

මධුෂ්ගේ දැනුම්දීම මත මාතර මල්ලී පිළියන්දලදී තවත් පිරිසක් පැමිණි වෑන් රථයකට ගොඩ වූයේය. එහි රියැදුරු සමඟ මධුෂ්ගේ ගෝලයන් තිදෙනකු සිටියේය. වෑන් රථයට නැඟගත් මාතර මල්ලී ඔවුන්ව හඳුනන්නේ නැත. ඔවුන්ද මෙහෙය වූයේ මධුෂ්ය. මධුෂ් දුරකථනයෙන් දුන් උපදෙස් අනුව 3.8 වර්ගයේ රිවෝල්වරයක් හා මාංචු කුට්ටමක් මාතර මල්ලීට දුන්නේය.

එම පිරිස සමඟ වෑන් රථයේදීම මාතර මල්ලී පොලිස් නිල ඇඳුම් අඳින්නේද මධුෂ්ගේ කීමටය.

ඒ වන විටත් මධුෂ් කී පරිදි විදේශික ඔස්ටි්‍රයානු ජාතිකයා හා නාලක දියමන්තිය මිලදී ගන්නට ආ අයුරින් ඇරැව්වල පිහිටි මැණික් ව්‍යාපාරිකයාගේ නිවෙසට පැමිණ ගනුදෙනු කතා කරමින් සිටියහ.

ඉන් පැය භාගයකට පසු නිවෙසට කඩා වදින මාතර මල්ලී ඇතුළු පිරිස අපි පොලිසියෙන්, මෙතැන හොර ජාවාරමක් වෙනවා කියලා අපිට තොරතුරක් ආවා. මේ විදේශිකයා අපට අවශ්‍ය සැකකරුවෙක් කියා රඟපාමින් විදේශිකයාගේ අත්වලට මාංචු දැම්මේය. නිවෙස හිමි ව්‍යාපාරිකයා එසැණින් කාමරයකට දමා එහි වූ රුපියල් කෝටි හත්සීයේ දියමන්තිය හා මැණික් ගල් කිහිපයක්ද රැගෙන ඔවුහු අතුරුදන් වූහ. නිවෙස් හිමියා එළියට එනවිට සියල්ල හමාරය. විදේශිකයා සමඟ හයදෙනාම අතුරුදන්ය. නිවෙසේ වූ දියමන්තිය හා මැණික්ද අතුරුදන්ය.

මෙම කොල්ලය සම්බන්ධව මහරගම පොලිසියට පැමිණිලි කිරීමත් සමඟ ආයුධ සන්නද්ධව පැමිණි කොල්ල කල්ලිය ගැන මහරගම පොලිසියට අමතරව මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයද යොදවන්නේ නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ හා නුගේගොඩ පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ මහත්වරුන්ගේ නියෝග මතය.

මෙම විමර්ශනවලදී මුලින්ම කොටුවන්නේ පාදුක්කේ නිවෙසක සැඟ වී සිටි නාලකය. ඔහු අනියම් බිරියගේ නිවෙසේ සිටියදී නොවැම්බර් 17දා කොටු වූයේය. නාලකගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම කොල්ලය මාකඳුරේ මධුෂ් කරවූ එකක් බව හෙළි වන්නේය. එය තවදුරටත් තහවුරු වන්නේ නාලක අත්අඩංගුවට ගන්නා මොහොතේදීත් නාලකට ඩුබායි සිටින මධුෂ්ගෙන් ඉමෝ ඇමතුමක් ලැබීමෙන්ය. නාලක මධුෂ් සමඟ අවුරුදු දහයකට පමණ පෙර මීගමුවේ කොල්ලයකට ගොස් මධුෂ් සමඟම මීගමුවේ එකම සිරමැදිරියක සිටි අපරාධකරුවකු විය.

මේ ගැන විමර්ශන කරන අතරේ මාතර මල්ලීව රත්මලාන මැලිබන් හන්දියේදී කොටු වන්නේ ඉකුත් දෙසැම්බර් 01දාය. මාතර මල්ලීගෙන් ප්‍රශ්න කිරීමේදී මෙයට එක්වූ විදේශිකයා හා තවත් අයෙක් නොවැම්බර් 07දාම රටින් පිටව ගොස් ඇතැයි සනාථ විය. මින් පසුව කරන ලද විමර්ශනවලදී අනාවරණය වන්නේ කොල්ලකන ලද දියමන්තිය ගුවන් මඟින් මධුෂ් විසින් ඩුබායිවලට ගෙන්වා ගත් බවය.

මෙම දියමන්තිය ඩුබායිවලට රැගෙන ගිය ආකාරය සොයන අතරේ දෙහිවල පොලිසිය මත්කුඩු සමඟ පාතාලයට සම්බන්ධ අයකු කොටු කරගත්තේය. එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මාකඳුරේ මධුෂ් සමඟ හිතවත්කම් ඇති රංගන ශිල්පී රයන් වැන්රෝයන් හා ගායන ශිල්පී අමල් පෙරේරාගේ සහාය මාකඳුරේ මධුෂ්ට ලැබෙන බවත් ඩුබායිවලට රයන් එම දිනවල ගිය බවත් කියැවේ.

එම සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන මිරිහාන පොලිස් විශේෂ මෙහෙයුම් ඒකකය එම තොරතුරුවලට අදාළව කට උත්තර ගැනීම සඳහා රයන් වැන්රෝයන් හා අමල් පෙරේරාට පොලිස් පණිවුඩයක් යවන්නේය.

ඒ අනුව මීට සති තුනකට පෙර රයන් වැන්රෝයන් මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයට පැමිණ කට උත්තර දී ඇත්තේය. එහිදී තමන් ඩුබායිවල සංචාර කළත් මාකඳුරේ මධුෂ් කෙනකු දැක නැති බවත්, මධුෂ් නොහඳුනන බවත් වැඩිදුර ප්‍රකාශයක් දී තිබුණේය. කෙසේ වුවද රයන්ගේ දුරකථන සම්බන්ධතා ජාල පරීක්‍ෂණයක් සඳහා අධිකරණ නියෝග ගන්නා පොලිසියට එම වාර්තාව ලැබෙන විට රයන්ට කට උත්තර නැති වී ඇත. ඒ මාකඳුරේ මධුෂ්ගේ දරුවාගේ උපන්දින සාදයට ගිය මොහොතේ රයන්ද කොටු වී සිටි නිසාය.

රයන් මධුෂ් නාඳුනන බවට පොලිසිය නොමඟ යැව්වත් රයන් එහි කොටුවන විට පොලිසිය දුරකථන ජාල පරීක්‍ෂාවෙන් පසු මධුෂ්ගේ සම්බන්ධය හෙළි කර ගත්තේය. එම විමර්ශනයට අදාළව ගායන ශිල්පී අමල් පෙරේරාට කැඳවීමක් කර ඇතත් ඔහු විදේශ ගතවන නිසා යළි පැමිණි පසු පොලිසියට එන බව දැනුම් දී තිබුණේය. දැන් අමල්ද ඉන්නේ ඩුබායි පොලිස් භාරයේය.

මධුෂ්ගේ නියෝග මත කොල්ලකෑ දියමන්තිය මධුෂ්ට ඉමෝ දුරකථන ඇමතුමකින් පෙන්වා එය පාර්සල් කර එහි ඡායාරූපද මධුෂ්ට ලැබෙන්නට සලස්වන්නේ මාතර මල්ලීය. ඒ කොල්ලය සිදුවූ නොවැම්බර් 05දාමය. මෙම කොල්ලයට ගිය ඔස්ටි්‍රයානු ජාතිකයා මෙය රැගෙන ගිය බවට කලින් සැක කළද ඔහු පිටව ගොස් තිබුණේ නොවැම්බර් 07දාය. නමුත් මධුෂ්ගේ උපදෙස් මත සුරක්‍ෂිතව තැබූ දියමන්තිය මාතර මල්ලී හා නාලක විසින් රැකගෙන සිට නාලක විසින් එය කොළඹට ගෙනැවිත් දෙන්නේ නොවැම්බර් 08දාය. ඒ මධුෂ් කී නාඳුනන අයකුටය.

දැනට කරන ලද විමර්ශනවලට අනුව රයන් නොවැම්බර් 08දා ඩුබායි බලා ගොස් ඇත. ඒ අනුව පොලිස් විමර්ශන කණ්ඩායම් සැක කරන්නේ රයන් හෝ ඔහු සමඟ ගිය අයකු අතේ මධුෂ් මෙම දියමන්තිය ඩුබායි වෙත ගෙන්වාගත් බවය.

රයන්, අමල් වැනි ප්‍රසිද්ධ කලාකරුවන් ගුවන් තොටුපොළේදී වැඩි පරීක්‍ෂාවකට ලක් නොවීම නිසා මධුෂ් ඔවුන්ගෙන් වැඩ ගත් බව පරීක්‍ෂණ කණ්ඩායම් සැක කරන්නේය. අමල් පෙරේරා මීට පෙර සුදු කැස්බෑවකු අතුරුදන් වූ සිද්ධියටද චෝදනා ලැබූවෙක්ය.

මාකඳුරේ මධුෂ්ට කෝටි හත්සීයේ දියමන්තිය ගෙනගිය ආකාරය හෙළිකර ගත හැක්කේ ඩුබායි අත්අඩංගුවෙන් මිදී රයන් හා අමල් මෙරටට පැමිණ විටදීය.

දැනට ඇති බුද්ධි තොරතුරුවලට අනුව දියමන්තිය ඇත්තේ මධුෂ්ගේ දෙවැනි බිරිය වන ඩුබායිහි සිටින තිළිණි නිශායා ළඟය. ඇය මහරගම කළු තුෂාර නමැති පාතාල නායකයාගේ බිරියය. කළු තුෂාර වැලිකඩදී මියගිය පසු ඇය මධුෂ්ට හේත්තු වන්නේ ඇගේ ආශාව පාතාල රැජනක වන්නට වූ නිසාය. පාතාල රැජනක් ලෙස මධුෂ්ගේ තුරුලට ගිය ඇය තම සැමියා වූ කළු තුෂාරගේ මරණයට වගකිවයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීවට වෙඩි තබන මෙහෙයුමද මධුෂ් ලවා කරවන්නේය. මේ අනුව ඇයද ඉදිරියේදී මෙරටට අවශ්‍ය අපරාධකාරියක් ලෙස ලේඛනගත වෙමින් සිටින්නේය.

පුබුදු වික්‍රමතිලක

Gossip Lanka

No comments