Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ෂෙරිල්ගේ විලාසිතාවලට කොහෙත්ම මගෙන් බාධාවක් නෑ

ඇය පළමුව පෙම් බඳින්නේ ඔහුගේ හඬටය. ඒ හඬ ඒ තරමටම ළයාන්විතය. තරුණියන්ගේ සිත් ආකර්ෂණයට පත් කරන ඒ හඬෙහි හිමිකාරයාගේ ආදරය දිනාගන්නට අවසානයේ ඇයට ...

ඇය පළමුව පෙම් බඳින්නේ ඔහුගේ හඬටය. ඒ හඬ ඒ තරමටම ළයාන්විතය. තරුණියන්ගේ සිත් ආකර්ෂණයට පත් කරන ඒ හඬෙහි හිමිකාරයාගේ ආදරය දිනාගන්නට අවසානයේ ඇයට හැකි විය. ඔහු ඇයට පෙම් බඳින්නේ ඇගේ රුවටය. ඒ තරමටම ඇය රූ සපුවෙන් පිරිපුන්ය. රංගනයෙන් රසික සිත් වශී කරවන ඇගේ ආදරය ඔහුට හිමි විය. මේ හඬත්, රුවත් හිමි ඔවුහු අද ජීවන ගීතය එක්ව ගයති. ලස්සන කැදැල්ලක නිසංසලේ සතුටින් දිවි ගෙවති.

මොවුන් අන් කිසිවකු නොව ජනප්‍රිය ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි සහ රංගන ශිල්පිනී ෂෙරිල් ඩෙකර්ය. මේ ඔවුන්ගේ කැදැල්ලේ අසිරියයි.

‘‘මීට පෙරත් මම පේපර් ආර්ටිකල්වලට කියල තියෙනවා අප දෙදෙනාගේ හමුවීම ගැන. රුවන්ගෙ ‘නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී‘ ගීතය ඇසුවට පස්සෙ එම ගීතය මගේ සිත සොරා ගත්තා. මට හිතුණා රුවන් මෙවැනි ගීතයක් ගායනා කළේ මොකක් හෝ හේතුවක් නිසාද කියා. ඒ ගැන දැනගන්න තමයි මම ඔහුට දුරකතනයෙන් කතාකළේ. එහෙත් අපේ කතාව අවසන් වන්නේ අපි දෙදෙනා පෙම්වතුන් වීමෙන්. දැන් අපි විවාහ වී සතුටෙන් ජීවත් වනවා‘‘ ෂෙරිල් මිහිරි හඬින් කියාගෙන යන්නීය.

සැබැවින්ම ඇය රුවන් දකින්නත් පෙර ඔහුට ආදරය කරන්නේ ඔහුගේ හඬටය. මම එහි ඇත්ත නැත්ත රුවන්ගෙන් විමසුවෙමි.
‘‘ෂෙරිල් මගේ ගීතය අහලා මට කතා කළා. මම ඇය ගැන දැන සිටියේ රංගන ශිල්පිනියක් කියා විතරයි. එහෙත් කතා කරගෙන යද්දී මම තේරුම් ගත්තා ඇය පොළොවේ පය ගහල ජීවත් වන සාමාන්‍ය කෙල්ලක් කියලා. ඒ නිසයි මම ඇයට ආදරය කරන්න පටන් ගත්තේ‘‘ රුවන්ගේ පිළිතුර ෂෙරිල් අනුමත කරයි.

‘‘අපි දෙදෙනා විවාහ වී දැන් වසර කිහිපයක් ගෙවුණා. දෙන්නාම කලාකරුවන් නිසා බොහොම අවිවේකී ජීවිතයක් ගත කරන්නේ. එහෙත් අපි අපේ කැදැල්ල අපට ඕනෑ විදිහට පවත්වාගෙන යනවා. මම ප්‍රසංග වැඩිපුර පැවැත්වෙන කාලයට බොහෝම අවිවේකියි. රාත්‍රි ප්‍රසංගවලට සහභාගි වී දවල්ට නිදාගන්න එක තමයි ගොඩක්ම කරන්නෙ. ප්‍රසංග නැත්නම් දවසේ වැඩ කොටස් සාමාන්‍ය පරිදි සිදු වනවා‘‘.

කොහොමද දෙදෙනාගේ දවස ගෙවෙන්නේ..
‘‘උදේම අපි ව්‍යායාම කරනවා. කොහොමත් පැයක්වත් ව්‍යායාමවල යෙදෙනවා. ශරීර සුවතාව කියල කෑම විතරක් පාලනය කළාට මදි. ගොඩක් අය කන්න, ‍බොන්න විනෝද වෙන්න ප්‍රිය කළාට ව්‍යායාම කරන්න කම්මැලියි. මම නම් එහෙම නෑ. ලැබෙන හැම විවේකයකදීම ව්‍යායාම කරනවා‘‘.

රුවන් ව්‍යායාමවලට මෙන්ම රසවත් ආහාරපාන ගැනීමටද කැමැත්තක් දක්වයි.
‘‘අපි දෙන්නා විවේකයෙන් ඉන්න දවසට අලුත් කෑම වර්ග පිළියෙල කරනවා. එහෙමත් නැත්නම් එළියට යනවා. චිත්‍රපට බලනවා, ඕවගේ වැඩ තමයි කරන්නේ‘‘

රුවන්ගේ කතාවට ෂෙරිල්ද එක් වෙයි.
‘‘කියන්න මගේ ප්‍රියතම විනෝදාංශය කෑම හදන එක කියලා‘‘ ෂෙරිල් රුවන්ට රහසින් මෙන් පවසන්නේ ඇගේ සූප ශාස්ත්‍ර දැනුම ගැන රුවන්ගෙන් අගය කිරීමක් අවැසි වී වගෙයි.

‘‘ආ... ෂෙරිල්ගෙ කුකුළුමස් කරිය හරිම රසයි. ෂෙරිල් හදන කෑමවලින් මම වැඩිපුරම කැමැති කුකුළුමස් කරියට.‘‘

‘ඇත්තද ෂෙරිල් රුවන් කියන්නේ‘ මගෙන් තවත් පැනයක්.
‘චිකන් කරියට කැමැති වුණාට මම කැමැති නැහැ මස් උයන්න. ඉස්සරනම් අපි නිතරම කෑවත් දැන් කන්නේ කලාතුරකින්. රුවන් කැමැතියි මම හදන මාළු කරියට, පැස්තාවලට, පොළොස් ව්‍යංජනයට. ගොඩක් වෙලාවට එළවළු බත් හදනවා. මොකද එතකොට අපේ ආහාරයට ගොඩක් එළවළු එකතු වන නිසා.‘‘ ෂෙරිල් එක දිගට කියාගෙන යන්නීය.

මම හිතන්නේ එක එක් කෙනාගේ අත් ගුණයත් කෑම රසවත් වෙන්න බලපානවා. ඒ නිසා වෙන්න ඇති මගේ කෑම රසවත්.‘‘

‘රුවන් මතක් කරමුද කලාවට අවතීර්ණ වූ ආකාරය ගැන‘ කතාබහට අලුත් ප්‍රවේශයක් ගෙන දෙන්නට මම පැනයක් යොමු කළා.
‘‘මම ගායන ක්ෂේත්‍රයට එන්නේ 2010 වසරෙදි. එදා ඉඳන් මේ වන තුරු ගීත විසි පහක් පමණ ගායනාකර තිබෙනවා. කියන්න සතුටුයි මගේ ගීත ලංකාවේ වයස් භේදයකින් තොරව විවිධ ජාතීන් ආදරයෙන් වැලඳ ගන්නවා.

විශේෂයෙන් මුස්ලිම්, ද්‍රවිඩ තරුණයන් මගතොටේදි හමුවුණහම අපි ඔයාගේ ගීතවලට කැමැතියි, හරිම ලස්සනයි කියනවා. ඒ වෙලාවට මාර සතුටක් හිතට දැනෙන්නෙ. ෂෙරිල්ව හමුවුණෙත් ගීතයකින් නිසා සංගීතය මගේ ජීවිතයම වෙලා‘

ෂෙරිල්ට මතකයිද කලාවට අවතීර්ණ වූ හැටි...
‘‘ඒක නම් කවදාවත් අමතක වෙන්නෙ නැහැ. 2006 අයි. ටී. එන්. අවුරුදු කුමාරි තරගයෙන් දෙවැනි ස්ථානය ජයග්‍රහණය කිරීම තමයි කලාවට එන්න අඩිතාලම වැටුණේ.

ඉන්පසුව සිරස ඩාන්සින් ස්ටාර් තරගයට ගියා. රංගනයට අත්පොත් තබන්නේ 2008 බෙනට් රත්නායකගේ ඉර හඳ යට චිත්‍රපටයේ රඟපෑමෙන්.

රංගනයට එන්න කලින් මම නර්තනය හැදෑරුවා බුදවත්ත සර්ගෙන් සහ රැජිනි චෙල්වනායගම් මහත්මිය ළඟ. ගයාන් ශ්‍රීමාල් අයියා තමයි රංගන ශිල්පිනියක් වෙන්න මට උදවු කරන්නේ. එදා සිට අද දක්වා ටෙලි නාට්‍ය හතක රඟ පා තිබෙනවා‘‘

එහෙම කලාවට ආපු ඔබ දැන් වැඩිපුරම දකින්නෙ රුවන්ගෙ මියුසික් වීඩියෝවලින්
‘එහෙම දෙයක් නැහැ රුවන්ගෙ හැම ගීතයකම විෂුවල්වලට ඉන්නෙ නෑ.
මට ගැළපෙන ගීතවලට විතරයි මම ඉන්නේ. අලුත් ටෙලි නාට්‍ය නම් වැඩිපුර භාර ගන්නෙ නැත්තෙ අපිට සොච්චමට කතා කරන නිසාත් හරි හමන් චරිත නොලැබෙන නිසාත්. එවැනි නිර්මාණවලට සහභාගිවනවට වඩා හොඳයි ගෙදරට වෙලා ඉන්න එක.

මේ දවස්වල දෙදෙනාම විවේකයෙන්ද දවස ගෙවන්නේ 
රුවන් එක්වරම පිළිතුරු බඳියි.
‘‘විවේකයක් නෑ. මම අලුතෙන් ගීත තුනක් කරගෙන යනවා. තව ටික දවසකින් අසන්නට ලැබෙයි. ෂෙරිල් අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. එහි රූගත කිරීම් මේ දිනවල සිදු කෙරෙනවා‘‘

රුවන් කන්න කැමැති ෂෙරිල්ගේ රසවත් චිකන් කරිය හදන්නේ කොහොමද?
‘‘මස් තරමක කෑලිවලට කපා සෝදා පිරිසිදු කරගෙන එයට බැදපු තුනපහ, මිරිස්, සහ ගම්මිරිස්, එනසාල් කුඩු පදමට මිශ්‍ර කරනවා. එයට රම්පේ, කරපිංචා සහ අඹරාගත් සුදුලූනු, ඉඟුරු දමා පදමට ගැලපෙන ලෙස ලුණු කුඩු එක්කර වතුර මිශ්‍රකර ළිපේ තබනවා. රසකාරක එකතු කරන්නෙ නෑ. මස් ව්‍යංජනය පදමට තැම්බුණාට පසුව ළිපෙන් භානවා.

රුවන් කැමැතියිද ෂෙරිල් විලාසිතා කරනවට? මගෙන් තවත් පැනයක්.
‘‘එයා දන්නවා තැනේ හැටියට අඳින්න. ඒ නිසා ෂෙරිල්ගේ විලාසිතාවලට කොහෙත්ම මගෙන් බාධාවක් නෑ‘‘

රුවන්ගේ පිළිතුරට ෂෙරිල්ගේ මුවේ නිරහංකාර සිනාවක් සටහන් වෙයි.
‘‘විලාසිතා කරනවා කියා එහි උපරිමයට යන්න මම කැමැති නෑ. කොටට අඳිනවා. විශේෂයෙන් සුදු, ළා කොළ, දුඹුරු, කහ පැහැති ඇඳුම් අඳින්න ආසයි. සාමාන්‍ය ගමනට බිමනට ඩෙනිම් කලිසම සහ ටී ෂර්ට් එක තමයි අඳින්නේ.

රුවනුත් ඒ ඇඳුමට කැමැතියි. රුවන්ගේ විලාසිතා ගැනත් මම හරිම උනන්දුයි. ප්‍රසංගවලට යන විට අඳින ඇඳුම් තෝරන්නෙ මමයි. ඔහුගේ කොණ්ඩ මෝස්තරයේ ඉඳන් සියලු දේ සිදුවන්නේ මගේ අතින්. ‘‘

ෂෙරිල් කතාකරන අතරතුර ඇගේ සුරතල් සුනඛ ජෝඩුව අපට පෙන්වයි.
‘‘දන්නවද මේ තමයි මගෙයි, රුවන්ගෙයි ආදරය. කෙල්ල ලැක්සි, කොල්ලා රොක්සි. මේ දෙන්න තමයි අපේ තනියට ඉන්නේ. මෙයාලත් අපි වගේම තරුණ ජෝඩුවක්.

මම හරිම සාමාන්‍ය විදිහට ජීවත්වෙන්න කැමැති ලැබෙන දෙයින් සතුටු වන කාන්තාවක්. පාරෙ යනකොට සතෙක් දැක්කත් ඌට මොනවහරි කන්න දීල තමයි යන්නේ. මට කාන්තාවන්ට කියන්න තියෙන්නේ කැමැති දේ කරන්න.

අපට ලෝකයා මොනවද කියන්නෙ කියන එක අදාළ නෑ. තමන් සතුටෙන්නම් තමන් ආසා දේ කරන්න. මම පුංචි කාලෙ සිටම ලස්සනට ඉන්න කැමැතියි. ඒ නිසා තමයි රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන්නේ.‘‘

නිහඬ නිස්කලංක පරිසරයක පිහිටි මේ සොඳුරු කැදැල්ලෙන් නික්ම යෑමට මත්තෙන් මට එහි පුංචි අඩුවක් දැනුණි. එය ෂෙරිල්ගෙන් විමසිය යුතුමය.

‘කවදද කැදැල්ල ලස්සන කරන්න දරු පැටියෙක් ගේන්නේ‘ 
ෂෙරිල්ගේ මුහුණේ ආදරණීය බලාපොරොත්තුවක සේයාවකි ‘දෙවියන් වහන්සේ අපි දෙන්නට අනික් දේවල් දුන්න වගේම දරු පැටියකුත් වෙලාවට දෙයි. අපි ඒ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා‘

අපි ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු වෙන්නැයි ප්‍රාර්ථනා කරමින් රුවන් - ෂෙරිල් කැදැල්ලෙන් නික්මුණෙමු.





No comments