Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මාව ජන­ප්‍රිය ගාය­ක­යකු කළේ උමා­ලිගේ ආද­ර­යයි - රොමේෂ් සුග­ත­පාල

බලා ඉන්නම් කල්ප ගානක් වුණත් මං එදා කී කතා සිත පතුලෙ තියා.... ඔහු ඇයගේ ආදරය බලාපොරොත්තුවෙන් වසර ගණනක්ම සිටියේය. ඒ තරමටම කුඩා කල සිටම ඔහ...

බලා ඉන්නම් කල්ප ගානක් වුණත් මං එදා කී කතා සිත පතුලෙ තියා....

ඔහු ඇයගේ ආදරය බලාපොරොත්තුවෙන් වසර ගණනක්ම සිටියේය. ඒ තරමටම කුඩා කල සිටම ඔහු ඇයට ආදරය කළේය. ඒ නිසාම ඔහුට කෙසේ හෝ ඇගේ ආදරය දිනාගැනීමට හැකි විය. අද වන විට ඔවුහු ආදරණීය පුතකුගේ මවුපියන් ලෙස සුන්දර කැදැල්ලක ලස්සනට දිවි ගෙවෙති. මේ ජනප්‍රිය ගායන ශිල්පී රොමේෂ් සුගතපාල හා බිරිය උමාලි හේරත්ය. ඔවුන්ගේ කැදැල්ලේ අසිරිය සොයා ගිය අප එහි ගත කළ සුන්දර හෝරාවකදී රැස් කරගත් තොරතුරුයි මේ.

‘‘කාලෙකට පස්සේ අද මම ගෙදර ඉන්නවා. බෑන්ඩ් එකත් එක්ක රට වටේම යන නිසා ගෙදර ඉන්න වෙලාවක් ලැබෙන්නෙම නෑ. ‘සමුගෙන‘ ගීතය පසුගිය ජනවාරි මාසෙ අවුට් කළ නිසා තවත් කාර්යබහුල වුණා. තවත් අලුත් ගීතයක් මැයි මාසෙ එන්න තියෙනවා. ඒ වැඩත් එක්ක තමයි මේ දවස් ගෙවන්නේ‘‘

එසේ කියමින් රොමේෂ් අප පිළිගත්තේ ඉතා උණුසුම් අන්දමිනි.

‘‘ගෙට එන්න. අපි කතා බහ කරමු‘‘

රොමේෂ් ළෙන්ගතුව අපට ඒ සොඳුරු කැදැල්ලට ආරාධනා කරයි. ඔහු පසුගිය කාලයේ මාලඹේ නව නිවෙසක් ඉදිකරනවා යැයි කීවත් ඒ නිවෙස මෙතරම් සුන්දර යැයි අපට නිකමටවත් නොසිතුණි. සැබැවින්ම ලස්සන කැදැල්ලකි. ඔහුගේ සරල බවත්, චාම් බව මෙන්ම මහන්සියේ ප්‍රතිඵලය මේ කැදැල්ල විය යුතුය.

‘‘ඉතින් කොහොමද?‘‘ මම අපේ සුහද කතාබහ අරඹමි.
‘‘හොඳයි‘‘. සුපුරුදු ළෙන්ගතු සිනහවෙන් යුතුව ඔහු පිළිතුරු දෙයි.

‘‘ප්‍රසංගයක් නැත්නම් අනිවාර්යයෙන්ම ගෙදර ඉන්නවා. ලෝකෙ කොහේ ගියත් ගෙදර තමයි මම කැමැතිම තැන. බිරියයි, දරුවයි එක්ක කාලය ගෙවනව තරම් සැනසීමක් කොහෙන්වත් ලැබෙන්නෙ නෑ‘‘

ඔහු සුහදශීලීව කියාගෙන යයි.

නව නිවෙස සැබැවින්ම අලංකාරය. මගේ නෙත් ඒ අසිරිය විඳින්නට හාත්පස සිසාරා දිවයයි. ඒ ගැන විමසන්නටත් පෙරම ඔහු කටහඬ අවදි කළේය.

‘‘මේ තමයි මම මේ තාක් හම්බකළ ධනය. මමත්, උමාලිත් බොහොම කැපකිරීම් කළා අපේ අලුත් නිවෙස ගොඩනගා ගන්න. දැන් පදිංචියට ඇවිත් අවුරුද්දකට කිට්ටුයි. කලාවෙන් උපයපු හැම මුදලක්ම ගේ හදන්න වැය කළා. රසිකයන්ගේ ආදරය නිසා තමයි මේ දේවල් ලැබුණේ‘‘ රසිකයින් පිළිබඳව එලෙස සිතන ඔහු මොනතරම් නිහතමානී කලාකරුවෙක්ද?

‘Romesh with Tunes‘ ගැනත් කතා කරමු?
“Romesh with Tunes සංගීත කණ්ඩායමේ නායකයා මමයි. අපේ ස්ටූඩියෝ එක ගෙදර තිබුණත් පුහුණුවීම් කරන්නේ වත්තල. ගෘහස්ථ, එළිමහන් වගේම මංගල උත්සව, පාටිවලට සහභාගි වෙනවා. ඊට අමතරව ගායනය, වාදනයට අමතරව රූපවාහිනී දැන්වීම් නිර්මාණයත් සිදුකරනවා. පසුගිය කාලයේ මම සංගීත නිර්මාණය කළ රූපවාහිනී වෙළෙඳ දැන්වීම් ගණනාවක්ම මේ වන විට විකාශය කෙරෙනවා.

මට මේ දේවල් කළ හැක්කේ ගෙදර වගකීම්වලින් මාව නිදහස් කරන නිසයි. මගේ බිරියට එයට ස්තූති කරන්න ඕනෑ‘‘

ඔහු එසේ කියමින් බිරිය දෙස බලයි. ඇගේ ඇස්වල ආදරය උතුරන්නේ පුංචි ලජ්ජාවක් ද සමගිනි.

‘‘දන්නවද? අපි වැලිකෙළියේ පටන් ආදරය කළ පෙම්වතුන් දෙන්නෙක්‘‘ රොමේෂ් එසේ කියන්නේ ඒ තරමට ඔවුන්ගේ ආදර කතාව රසවත් නිසා විය යුතුයි.

මම ඒ පිළිබඳව විමසමින් උමාලි දෙසට හැරුණෙමි.

‘‘අපිත් කැමැතියි රොමේෂ් - උමාලි ආදර කතාව ගැන දැනගන්න. උමාලිම ඒ ගැන කියනවද?‘‘
‘‘ඒක ටිකක් දිග කතාවක්. මම ඔයාට කෙටියෙන් කියන්නම්. මම නුවර. රොමේෂ් කඩුගන්නාවේ. මම පාසල් ගියේ මහනුවර හිල්වුඩ් විදුහලට. රොමේෂ්ගේ අක්කි මගේ මියුසික් ටීචර්. මියුසික් ඉගෙන ගන්න මම රොමේෂ්ගෙ ගෙදර යනවා. එතකොට මම තුන වසරේ විතර ඇති. රොමේෂ් හයේ පන්තියේ. ඒ කාලෙත් රොමේෂ් මම ගැන හරිම උනන්දුයි. ඒ බව තේරුණත් අඟවන්න ගියේ නෑ. සාමාන්‍ය පෙළ කරන කාලෙදි මගේ අම්මා නැතිවුණා. ඇය මිය යන්න පෙර මට කිව්වා ගෙදරට හොරෙන් පිරිමි ළමයෙක් සමග සම්බන්ධතා ඇති කරගන්නෙ නෑ කියල පොරොන්දු වෙන්න කියල. ඒ දේවල් නිසි වයසෙදි තාත්තා කර දෙයි කියා. රොමේෂ් ඒ බව දැනගෙන සිටියා. ඒ නිසා ඔහු මගෙන් අහන්නෙ නැතිව ගොඩ කලක් ඉඳලා ඉවසල බැරිම තැන වෙන්න ඇති සාමාන්‍ය පෙළ කරන කාලෙ යාළුවෙන්න ඇහුවේ. එතකොට මට වයස අවුරුදු දාසයයි. රොමේෂ් උසස් පෙළ කරනවා. රොමේෂ් හොඳ කෙනෙක් නිසා ඔහුට කැමැති වෙන්න ඕනෑ කියා හිතුණා.’’

ඇය කියාගෙන යද්දී තවමත් ඒ මුහුණ ආදරයෙන් පිරි ඉතිරෙයි.

රොමේෂ් ජනප්‍රිය ගායකයෙක් ලෙස ජනප්‍රිය වෙනකොට අත හරියි කියා බය හිතුණේ නැද්ද?
‘‘නැහැ. කවදාවත් මට එයා ගැන එහෙම හිතිලා නෑ. එදා හිටපු රොමේෂ්මයි අදත් ඉන්නේ. කිසිම වෙනසක් නෑ. හැම වෙලේම මමත්, පුතාත් ගැන සොයා බලනවා. කා එක්කවත් අනවශ්‍ය කතාවට යන්නෙ නෑ. තමන්ගේ පාඩුවේ ඉන්නවා. අපි මැරි කරලා දැන් අවුරුදු හතක්.‘‘

ඇය ඔහු ගැන චරිත සහතික දෙද්දී ඔහුටත් ඇය ගැන කියන්නට යමක් ඇතිසේය .

‘‘උමාලිට ලස්සනට ‘සින්ග්‘ කරන්න පුළුවන්. මම මුලින්ම ආදරය කෙළේ එයාගෙ හඬට. එයා එයාගෙ හැකියාව සඟවාගෙන මට ඉදිරියට යන්න උදවු කළා. උමාලිගේ ආදරය තමයි මාව ගායකයෙක් කළේ‘

අම්මයි, තාත්තයි අතීත සිදුවීම් සිහිපත් කරද්දී පුංචි පුතු ඔවුන්ගේ තුරුලට විත් මොනවාදෝ කියයි‘

‘‘පුතා කියනවා එයා ගැනත් කියන්නලු‘‘.
‘‘පුතා චෙනිත. තලවතුගොඩ නියුට්‍රියන් ළදරු පාසලට යන්නේ. පුතාට දැන් අවුරුදු තුනහමාරයි. අපි දෙන්නගෙම උපන්දිනය එකම දවසක. පුංචි උණාට පුතා මියුසික්වලට හරිම දක්ෂයි. පුංචිකමට මෙලඩිවලට වචන දාල ලස්සනට සින්දු කියනවා. ඉගෙන ගන්නත් දක්ෂයි වගේම දඟ කරන්නත් දක්ෂයි..’’ රොමේෂ් කියාගෙන යද්දී, චෙනිත පුතු මුතු දත් පෙන්නා සිනාසෙයි.

‘ඇත්තද උමාලි රොමේෂ් කියන්නේ ඔයාට රසට උයන්න පුළුවන් කියලා..‘
“ඒක නම් කියන්න දන්නෙ නෑ. හැබැයි මම හදන ඕනෑම කෑමක් කන්න රොමේෂ් කැමැතියි.’’ <

‘රොමේෂ් මොනවද ඒ ගැන කියන්න තියෙන්නෙ‘
‘‘උමාලි හදන ගමේ කෑම තමයි ගොඩක්ම රසවත්. එයා උයන්නෙ අවුරුදු දාසයේ ඉඳන්. එයාගෙ අම්ම නැතිවෙනකොට එයාට දාසයයි. එදා ඉඳන් ගෙදර සියලුම වැඩපළ කරන්නෙ උමාලි. එයා පොල් සම්බෝලයක් හැදුවත් පුදුම රසයි. ඒ වගේ තමයි උමාලි හදන ෆ්‍රයිඩ් රයිස් එක ගොඩක් රසයි. ගෙදර ෆ්‍රයිඩ් රයිස් හැදුවාම පුතාත් ආසාවෙන් කනවා‘‘ උමාලි කියන්නේ ලස්සනට අඳින තරුණ මවක් නිසා ෆැෂන් ගැනත් ඇසිය යුතුම වෙයි.

‘රොමේෂ් කැමැතියිද උමාලි විලාසිතා කරනවට?‘‘
‘‘ඉස්සර නම් අත් කපපු ඇඳුම් අඳිනවට එයා කැමැති නෑ. දැන් නම් මුකුත් කියන්නෙ නෑ. එයා දන්නව මම අඳින්නෙ මට හරියන ඇඳුම් කියල. විශේෂයෙන් කොට්න්වලින් මැසූ රෙදි අඳින්න තමයි කැමැති. රතු, නිල්, කහ වගේ වර්ණවත් පාට ඇඳුම්වලට තමයි වැඩිපුරම හිත යන්නෙ.‘‘

අවසාන වශයෙන් තවත් යමක් විමසිය යුතුම වෙයි. ඒ මෙතරම් විශාල නිවෙසක් පිරිසුදු කරන්නේ කොහොමද යන්නය.
‘‘රොමේෂ් ඉන්නදාට එයා තමයි මොබ් කරන්නේ. අනිත් දවසට මම කරනවා. කොච්චර අස් කළත් වැඩක් නෑ පුතා හැඩි කරනවා.!‘‘ උමාලි කියාගෙන යන්නීය.

අපි බොහෝ වේලාවක් බොහෝ දේවල් කතාබහ කළෙන් අවසානයට තවත් යමක් ඇසිය යුතුමය. ‘දෙන්නගෙම අනාගත බලාපොරොත්තු මොනවාද?
දෙදෙනාම ඔවුනොවුන්ගේ මුහුණු දෙස බලමින් සුන්දරව එකම පිළිතුරක් දෙයි.

‘‘පුතාට හොඳට උගන්වලා හොඳ පුරවැසියකු කිරීම.‘‘

බොහෝ වේලාවක් අපට නොදැනීම ගෙවී ගොසිනි. තවත් සුන්දර කැදැල්ලකින් සමුගෙන යන වෙලාව පැමිණ තිබේ. අපි ඔවුන්ට සුබ පතා ආපසු එන්නට පිටත් වීමු.


මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න


No comments