Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පාස්කු ප්‍රහාරය එල්ල කළ ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ගේ හෙළි නොවුණු කතාව

කටුවපිටිය දේවස්ථාන ප්‍රහාරකයා මොහොමඩ් කස්තූන් ය. අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදි කල්ලිය විසින් ඔහුට නම් තබා ඇත්තේ අබු කෂිල් ලෙසිනි. තුර්කිය හර...

කටුවපිටිය දේවස්ථාන ප්‍රහාරකයා මොහොමඩ් කස්තූන් ය. අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදි කල්ලිය විසින් ඔහුට නම් තබා ඇත්තේ අබු කෂිල් ලෙසිනි. තුර්කිය හරහා සිරියාවට ගොස් පුහුණුව ලැබූ ඔහු අන්තර්ජාතික පාසලකින් අධ්‍යාපනය ලබා ඇත. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළට මුහුණ දී ඇති කස්තූන් මන්නාරමේ පදිංචිකරුවකු බව හෙළ වී ඇත. ඔහුගේ බිරිය කුරුණෑගල කැකුණුගොල්ල ප්‍රදේශයේ කතක වන අතර ද මේ වන විට සිටින්නේ ගේ දොර ඇතහැර පලා ගොස් සැඟවීය.

මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරන විට කස්තූන් තොරතුරු තාක්ෂණ විශේෂඥයෙකු ලෙස රැකියාවක නිරත වෙමින් සිට ඇත.

කටුවපිටිය දේවස්ථාන ප්‍රහාරයට මොහු සූදානම් වී ඇත්තේ කටානේ ඩේවිඩ් පෙරේරා මාවතේ පිහිටි නිවසක සිටය. අන්තර්ජාල වෙබ් අඩවියක පළ කර තිබුණු දැන්වීමකට අනුව ජාතික තව්හිත් ජමාල් සංවිධානයේ අරමුදල් යොදා මසකට රුපියල් 45000ක කුලියකට එම නිවස කුලියට ගෙන ඇත්තේ වසරක කාලයකටය. මාස හයක අත්තිකාරමක් එකවර ගෙවමින් පසුගිය පෙබරවාරි මාසයේදී නිවස කුලියට ගෙන ඇති ඔහු පෙනී සිට ඇත්තේ කොළඹ පිටකොටුවේ පාවහන් වෙළද සලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකු ලෙසිනි.

නිවෙස් හිමියා කාන්තාවකි. ඇගේ පුතාත් දියණියත් සිටින්නේ විදෙස්ගතවය. නිවස කුලියට දෙන්නේ ඇය තනිවම ජීවත් වන බැවිනි. නිවසේ කුලී ගිවිසුම අස්සන් කරන්නේ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නැමැති කොළඹ 12 යෝන් වීදියේ පදිංචිකරුවෙකි. ප්‍රහාරකයන්ට නවාතැන් සපයාදීම පැවරී තිබී ඇත්තේ ඔහුටය. ජාතික තවුහිත් ජමාත් නායක සහරාන් කාසීම් සමඟ ෂැංග්‍රිලා හෝටලයට පහරදෙන දෙවැන්නා මුබාරක්ය.

නිවස කුලියට ගන්නා විට කස්තූන් නිවෙස් හිමි කාන්තාවට කල්තියාම දැනුම් දී ඇත්තේ සිය වෙ‍ළෙඳසලේ සේවකයන්ද එහි නතර වන බවය. ඒ අනුව එම නිවසේ කස්තූන් ඇතුළු පිරිමි තිදෙදෙනෙකුද කාන්තාවන් දෙදෙනෙකුද ළමයින් දෙදෙනෙකුද නවාතැන් ගෙන සිට ඇත. කස්තූන් පෙනී සිට ඇත්තේ මහනුවර පැත්තේ පදිංචිකරුවෙකු ලෙසිනි.

විමර්ශනවලින් හෙළි වී ඇත්තේ කටුපිටිය දේවස්ථානයට එල්ල කළ ප්‍රහාරයේ බෝම්බය සකස් කර ඇත්තේ එම නිවසේදී බවය. බෝම්බකරු කස්තූන් නවාතැන්ගෙන සිටි බව සඳහන් එම නිවස හඳුනාගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නිවස පරීක්ෂාවට ලක් කර ඒ බව තහවුරු කර ගත්තේය. නිවසේ තිබී හමුවන පුපුරන ද්‍රව්‍ය සුළු ප්‍රමාණයත්, යකඩබෝල, ඉලෙක්ට්‍රොනික් පරිපථ කොටස්, බැටරි, වයර් කැබලි, වැනි බෝම්බ සකස් කිරීමට යොදාගන්නා උපකරණ ඒ බව තහවුරු කෙළේය.

නිවසේ සිටි සියලුම දෙනා පසුගිය 18 වැනිදා නිවස අතහැර යන අතර ඊට දින දෙකකට පසු කස්තූන් එහි එන්නේ 21 වැනිදා ප්‍රහාරයට සූදානමිනි. 21 වැනිදා ඔහු කටුවපිටිය දේවස්ථානයට බෝම්බ බෑගයද රැගෙන පිටත්ව යන්නේ එම නිවසේ සිටය. නිවසේ සිට දේවස්ථානයට ඇත්තේ කිලෝ මීටර් දෙකක පමණ දුරකි. එබැවින් ඔහු දේවස්ථානය වෙත ගමන් කර ඇත්තේ පාගමනි.

ටාජ් හෝටලයේ වැරදුණු කුරුමානම සහ දෙහිවල ට්‍රොපිකල් ඉන් පිපිරුම

මේ බෝම්බකරුද තුර්කිය හරහා සිරියාවට ගොස් අයි.එස්.අයි.එස් පුහුණුව ලැබූවෙකි. තිස් හතර හැවිරිදි ඔහු අබ්දුල් ලතීෆ් ජමිල් මොහොමඩ් හෙවත් ජමිල්ය. අයි.එස්. සංවිධානය විසින් ඔහුට තැබූ නාමය මෙතෙක් ප්‍රසිද්ධ කර නැත. මහනුවර වෙලම්බඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ගම්පොළ ඇති විශාලතම තේ කර්මාන්ත ශාලාවක හිමිකරුවෙකු වන්නේ ජමිල්ගේ පියාය. ධනවත් පවුලක දරුවෙකු වන ජමිල් විවාහ වී සිටින්නේ වැල්ලම්පිටියේ පදිංචිකාරිනියක වන ජාත්‍යන්තර පාසලක ගුරුවරියක සමඟිනි. මේ යුවළට දරුවන් සිවු දෙනෙකි. බාලයාගේ වයස මාස හතකි.

ජමිල් පළමු උපාධිය සම්පූර්ණ කරන්නේ එංගලන්තයේදීය. ඒ 2006 වසරේ ජනවාරි 01 වැ නිදා එංගලන්තයට යන ඔහු ගුවන් යානා ඉංජිනේරුවකු ලෙස උපාධිය හදාරා මෙරටට එන්නේ 2007 වසරේ සැප්තැම්බර් 29 වෙනිදාය. ඒ බව එංගලන්තය නිල වශයෙන් මේ වන විට ප්‍රකාශ කර තිබීම විශේෂිතය. අනතුරුව ඔහු පශ්චාද් උපාධිය හදරා ඇත්තේ ඕස්ට්‍රේලියාවේදීය. 2013 වසරේ ඔහු එරට ශිෂ්‍ය වීසා මඟින් රැදී සිටි බව ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා තහවුරු කර ඇත.

සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහ ආරාබි භාෂා චතුර ලෙස හැසිරවීමට හැකි ඔහුගේ ඉලක්කය වී තිබී ඇත්තේ ටාජ් සමුද්‍රා හෝටලයේදී මරාගෙන මැරෙන්නටය. ඒ සඳහා සූදානමින් ඔහු 20 වැනිදා ටාජ් සමුද්‍රා හෝටලයට එන්නේ පිපිරවීමට යොදාගන්නා බෝම්බය ඇටවූ බෑගයද කරේ දමාගෙනය. එදින රාත්‍රියේ ඔහු වෙනුවෙන් හෝටලයේ කාමරයක් ද වෙන් වි තිබිණි. ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ මුදල්වලින් එම කාමරය වෙන් කරන්නේ මොහොමඩ් මුබාරක්ය. ඒ ඔහුගේ නමිනි.

එදා රැය එහි පහන් කළ ජමිල් පසු දින උදෑසන කාමරයෙන් පිටතට එන්නේ බෝම්බ බෑගයද කරේ දමාගෙනය. හෝටලයේ ආලින්දයට පිවිසෙන ඔහු බෝම්බය පුපුරවා හැරීමට කිහිප විටක්ම උත්සහ ගත්තද පරිපථයේ ඇති වුණු යම් දෝෂයක් හේතුවෙන් එය පුපුරා යන්නේ නැත. එවිට වේලාව පෙරවරු 8.22 ට පමණ ඇත.

ප්‍රහාරය අසාර්ථක වීමෙන් අනතුරුව ආලින්දයෙන් පිටතට එන ඔහු සිය ජංගම දුරකතනයෙන් ඇමතුමක් ගෙන හෝටල් පරිශ්‍රයෙන් ඉවත් වී නැවත මතු වන්නේ දෙහිවල සත්වෝද්‍යානය ආසන්නයේ ඇති උත්සව ශාලාවක් සහ කාමර කුලියට දෙන ස්ථානයක් වන ට්‍රොපිකල් ඉන් නැමැති ස්ථානයෙනි. ත්‍රී රෝද රථයක නැඟී එහි එන ඔහු විනාඩි කිහිපයක් කාමරයක රැඳී සිට පිටත් වී යන්නේ බෝම්බ බෑගයද කරේ එල්ලාගෙනය. ත්‍රී රෝද රථයක නැඟුණු ඔහු ගාලු පාරේ ගමන් කරන්නේ දේවස්ථානයක් ඉලක්ක කරගෙනය. එහෙත් එයද අසාර්ථක වන්නේ කොළඹ පිපුරුම් කිහිපයක්ම ඒ වන විට සිදු වී තිබුණු බැවිනි. පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ඒ වන විටත් පාරට බැස සිටියේය.

නැවතත් දෙහිවල හෝටලයට එන ජමීල් අසාර්ථක ඉලක්කය වෙනුවට බෝම්බ බෑගය පුපුරවාගෙන සියදිවි හානි කරගන්නේ ඒ අසල කාමරයක නවාතැන්ගෙන සිටි තරුණ යුවළක්ද මරුමුවට පත්කරමිනි.

විමර්ශනවලින් හෙළි වන්නේ 21 වැනිදා උදෑසන ජමීල් සිය බිරියගේ ජංගම දුරකතනයට වොයිස් පණිවිඩයක් මඟින් දැනුම් දෙන්නේ දෙවියන් ළඟට යන බවය. බිරිය පොලිසියට පවසන්නේ තමාට රූපවාහිනිය නැරඹීමට මෙන්ම සමාජ ජාල පරිශිලනයටද සැමියා විසින් තහනම් පනවා තිබුණු බවය. ආන්තවාදී අදහස් දැරූවත් සැමියා මේ ආකාරයේ ක්‍රියාවකට මුල පුරතැයි සිහිනෙන්වත් නොසිතූ බව ඇය කියයි.

ජමීල් ප්‍රහාරයට සතියකට පෙර සිය මවුපියන්ගේ සුවදුක් විමසන්නට මහනුවර වෙලම්බඩටද ගොස්ද තිබිණි. එහිදී ඔහු වෙනදාට වඩා සිය මවුපියන් සමඟ කාලය ගතකර ඇත්තේ විනෝදයෙනි.

කොච්චිකඩේ දේවස්ථානයට එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය සහ බෝම්බ වෑන් රථය

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාරය එල්ල කළ අන්තවාදියාද තුර්කියේ පුහුණුව ලැබූවෙකි. අබු හම්සා නමින් අයි.එස්.අයි.එස් සංවිධානයේ නම් ලබා සිටි ඔහුගේ සැබෑ නාමය මොහොමඩ් ඩාවුඩ්ය. විසි දෙහැවිරිදි වියැති ඔහු මට්ටක්කුලියේ පදිංචිකරුවෙකි. ඔහුගේ පියා මෙරටට ප්ලාස්ටික් භාණ්ඩ ගෙන්වන අංක එකේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකි.

අන්තර්ජාතික පාසලකින් නීති උපාධිය පවා සම්පූර්ණ කළ අයෙකි. ඔහු සූදානමින් සිටියේ නීති විද්‍යාලයයට ඇතුළත්ව නීතිඥයෙකු වන්නටය. ඉන්දියාව, සෞදිය සහ එක්සත් එමීර් රාජ්‍යය වැනි රටවල් රැසක සංචාරයේද නිරතව ඇත.

ඩාවුඩ්ද විවාහකයෙකි. බිරිය පදිංචි වී සිටින්නේ කල්මුණේය. ඇය ගැබිනියකි. මරාගෙන මැරෙන ප්‍රහාරයට සූදානමින් ඔහු කල්මුණේ සිට කොළඹට පිටත් වී එන්නේ 18 වැනිදාය. එහෙත් කොළඹ සිටින මවුපියන්ට ඔහු පවසන්නේ කල්මුණේ සිටින බවකි.

19 වැනිදා කොළඹට පැමිණි ඔහු 21 වැනිදා ප්‍රහාරය එල්ල කරන මොහොත දක්වා සිටියේ කෙහේදැයි මේ වන විට ඇත්තේ අබිරහසකි. සැක කරනුනනේ ඔහු පාණදුර සාරික්කමුල්ලේ සහ ගල්කිස්ස පන්සල පාරේ පිහිටි අන්තවාදීන්ගේ ආරක්ෂක නිවාසයක ගත කරන්නට ඇති බවය. ඒ කාලය තුළ ඔහුගේ ශ්‍රමය යොදන්නට ඇතැයි සැලකෙන්නේ බෝම්බ නිෂ්පාදනයටය.

කොච්චිකඩේ දේවස්ථානයේ ප්‍රහාරයට ඩාවුඩ් පැමිණෙන්නේ PJ 4080 අංකය දරන වෑන් රථයෙනි. එම වෑන් රථයේ හිමිකරුවා සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරකයා වන මුබාරක්ය. තිර රෙදි දැමූ එම වෑන් රථය කුඩා ප්‍රමාණයේ එකකි. දේවස්ථානය ආසන්නයේ කොළඹ වරායේ තාප්පයට යාබදව පදික වේදිකාවේ වෑන් රථය නතර කරන ඔහු ඉන් බැස දේවස්ථානයට ඇතුළු වන්නේ කිලෝ 15ක් බරැති බොම්බය ඇටවූ බෑගයද කරේ එල්ලාගෙනය. එම බෝම්බය දේවස්ථානය තුළ පුපුරවා හැරීමෙන් පසු දෙවැනි ප්‍රහාරයද දේවස්ථානය ආසන්නයේදී එල්ල කිරීමට සැලසුම විය. ඒ ඩාවුඩ් පැමිණි වෑන් රථයේ අටවා තිබුණු කාල බොම්බය පුපුරවා හරිමිනි.

එකී බෝම්බය ටයිමරයක් සවි කරන ලද අර්ධ ස්වයංක්‍රීය බෝම්බයකි. ටයිමරය ක්‍රියාත්මක කර තිබෙන්නේ පැයකින් බෝම්බය පුපුරා යන ආකාරයටය. එහෙත් පරිථයේ යම් දෝෂයක් හේතුවෙන් ‍එම බෝම්බය පුපුරා යන්නේ නැත. අන්තවාදීන් විසින් සැලසුම් කළ ආකාරයට එම බෝම්බය පුපුරා ගියේ නම් හානිය පැවැති හානියට වඩා විශාල වන්නට ඉඩ තිබිණි. ඒ දේවස්ථානයේ සිදු වූ බෝම්බ පිපුරුමෙන් පසු සිය දහස් ගණනක් ඒ ස්ථානයේ රැස්ව සිටි බැවිනි.

පුපුරා නොගිය ඒ බෝම්බ වෑන් රථය 22 දා සවස් වන තුරුම තිබෙන්නේ එය නතර කර තිබුණු තැනමය. එහෙත් එහි බෝම්බයක් ඇතැයි කිසිවෙකු දැන සිටියේද නැත. අඩුම තරමින් එම වෑන් රථය ගැන සොයා බලන්නටවත් පොලිසියට කිසිදු උවමනාවක් නොවීය. පිපුරුමෙන් පසු ඒ ස්ථානයේ ඉතිරි වන්නේද එම වෑන් රථය පමණි.

බෝම්බකරු දේවස්ථානයට පැමිණෙන්නේ එම වෑන් රථයෙන් බව පොලිසිය දැන සිටියේ නැත. ඒ බව හෙළි කරගන්නේද දේවස්ථානයේ පූජකවරු සහ ප්‍රදේශවාසීහුය. ඒ ආරක්ෂක කැමරා දත්ත විශ්ලේෂණය කරමිනි.

දේවස්ථානයේ පූජකවරුන් ඒ අවට පොලිස් ස්ථාන තුනකටම දැනුම් දෙමින් වෑන් රථය පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටියත් අඩුම තරමින් පරීක්ෂා කිරීම තබා ඒ ගැන සොයා බලන්නට වත් පොලිස් නිලධාරියකු නොපැමිණීම නිසා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාට පූජකවරයෙකුගෙන් 22 වැනිදා සවස දුරකතන ඇමතුමක් ලැබෙන්නේ ඒ නිසාය. එම පූජකවරයා නොසෑහෙන්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දොස් නඟන්නේ පොලිසියේ අලස හැසිරීම ගැනය. සැකකටයුතු වෑන් රථය ගැන නිද්‍රාශීලීව සිටි පොලිසියේ ඇස් ඇරෙන්නේ ඒ සමඟය. එතෙක් අනාරක්ෂිතව තිබුණු එම වෑන් රථයේ බොම්බයක් අටවා ඇතැයි හෙළි වන්නේත් එවිටය. ඒ වන විටත් දේවස්ථානයට සිදු වුණු හානිය සොයා බලන්නට ඒ ආසන්නයෙන් ප්‍රභුවරුන් රැසක්ම ගමන් කර තිබිණි. ඒ අය අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සිටියේය.

එම වෑන් රථ බොම්බය පරීක්ෂා කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන්ට බැලූ බැල්මටම පෙනී ගියේ වෑන් රථයේ අටවා ඇති බෝම්බය ඉතා සංකීර්ණ ආකාරයට සකස් කර ඇති බවය. එය මර උගුලකි. ගෘහස්ත ගෑස් සිලින්ඩර් 04ක් වෑන් රථයේ පිටුපස කොටසේ තබා බොම්බය අටවා ඇත්තේ එම ගෑස් ටැංකිද පුපුරා යන ආකාරයටය. ඒ බෝම්බ පිපුරුමේදි සිදු වන හානිය වැඩි කරන්නටය. කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ද ගමන් කර ඇත්තේ එම වෑන් රථය අසලින්ම බවට වාර්තා වෙයි.

එදා ඒ බෝම්බය පුපුරා නොගියද ටයිමරය ක්‍රියාත්මකව තිබුණු බැවින් එවන් බෝම්බ සැලකෙන්නේ අර්ධ වශයෙන් පුපුරා ගිය බෝම්බ ලෙසිනි. කොයි මොහොතක හෝ එය පුපුරා යන්නට හැකිය. එබැවින් ඊට අත තැබීම භයානක බව වටහාගත් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රිය අංශයත් පසුව එහි පැමිණි ගුවන් හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයත් තිරණය කරන්නේ බෝම්බය නිෂ්ක්‍රීය කරන්නට අවදානමක් නොගෙන පුපුරවා හරින්නටය. එකී වෑන් රථ බොම්බය පුපුරවා හැරෙන්නේ ඒ අනුවය. එම පිපුරුමේ ප්‍රබලත්වය වෑන් රථය යකඩ ගුලියක් බවට පත්වීමෙන්ම වටහා ගන්නට පුළුවන.

එම වෑන් රථය කොච්චිකඩේට ආවේ කොහේ සිට දැයි සොයා බලන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශණයක් ඇරැඹිණි. ඒ අනුව 21 වැනිදා එම වෑන් රථය පාණදුර සරික්කමුල්ලේ පිහිටි අන්තවාදීගේ ආරක්ෂක නිවස්නයේ සිට පැමිණ ඇති බව හෙළි වන්නේ එවිටය. ඒ මෝටර් රථයේ ගමන් මග ඔස්සේ කෙරුණු ආරක්ෂක කැමරා සිය ගණනක් විමර්ශනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ අනුව පැහැදිලි වන්නේ වෑන් රථයේ බෝම්බය අටවා ඇත්තේ සරික්කමුල්ලේ පිහිටි නිවසේදී බවය.

එකී විමර්ශනයේදී තවත් වැදගත් හෝඩුවාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන්ට ලැබෙයි. ඒ අන්තවාදීන්ගේ තවත් ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරකි. එම නිවස්නය තිබුණේ ගල්කිස්සේ පන්සල පාරේ පිහිටි ස්ටෑන් ටවර් හී එකකි. එම ආරක්ෂක නිවස්නය පිහිටියේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් වූ එහි ඉහළ මහලේය. එම නිවස කුලියට ගෙන තිබුණේ ද මුබාරක්ගේ නමිනි. ජාතික තවුහිත් ජමාන් නායක සහරාන් කාසීම්ගේ නවාතැන් පොළ වූයේද එම නිවසය.

එම නිවාස සංකීර්ණයට 20 වැනිදා බෝම්බ ඇටවූ වෑන් රථය ගමන් කර තිබිණි. එදා එය පදවාගෙන ගොස් ඇත්තේ මුබාරක්ය. වෑන් රථය එදා එම නිවාස සංකීර්ණයට ඇතුළු වූ බව නිවාස සංකීර්ණයේ ආරක්ෂක අංශවල සටහන්වලින් සනාථ වී තිබේ.

අයි.එස් සංවිධානය ප්‍රහාරයේ වගකීම භාර ගනිමින් නිකුත් කළ සහරාන් කාසීම් ඇතුළු මුහුණු වසාගත් පිරිසක් සිටින වීඩියෝව පටිගත කර ඇත්තේ යැයි සැක කරන්නේ එම නිවසේදීය. ඒ වීඩියෝවේ සිටින මුහුණු ආවරණය කරගත් අයගෙන් ප්‍රහාරයන්ට සහභාගි වී ඇත්තේ යැයි සැකකරන්නේ කිහිප දෙනෙක් පමණි. විමර්ශකයන් විශ්වාස කරන්නේ ප්‍රහාරකයන් වැඩි දෙනෙකු එම වීඩියෝවේ නැති බවය.

ෂැංග්‍රිලා හෝටල් ප්‍රහාරය සහ බෝම්බ සැකසූ සරික්කමුල්ලේ නිවස

ෂැංග්‍රිලා හෝටලයට අන්තවාදීන්ගෙන් මරාගෙන මැරෙන ප්‍රහාර දෙකක්ම එල්ල වී තිබිණි. ජාතික තවුහීත් ජමාත් නායකයා බව සඳහන් වූ මොහොමඩ් කාසීම් මොහොමඩ් සහරාන් හෙවත් සාරාන් කාසීම් නැමැති අන්තවාදීයා ඒ එක් ප්‍රහාරකයෙකි. අයි.එස් අන්තවාදීන් ඔහුට නම් තබා ඇත්තේ අබි උබායිදු යැයි කියාය. අනෙකා මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක්ය. ඔහු ඔවුන් හඳුන්වන්නේ අබු අල්බාර් යනුවෙනි.

මුබාරක්, කොළඹ 12 යෝන් වීදියේ පදිංචිකරුවෙකි. ඔහුගේ අධ්‍යාපන තත්ත්වය ගැන වැඩි යමක් හෙළි වන්නේ නැත. විවහකයෙකි. පවුලේ කිහිප දෙනෙකුම ව්‍යාපාර කටයුතුවල නිරතව සිටින අතර මුබාරක්ද සුළු ව්‍යාපාර කටයුතුවල නිරතව ඇති අයෙකි. ඔහුගේ මව පවසන්නේ මාස ගණනාවක් තිස්සේ මුබාරක් ගැන කිසිවක් කමන් නොදන්නා බවය. මාස හයකට පෙර නිවසින් ඔහු පිටත්ව ගොස් ඇත්තේ විදෙස්ගත වන බව සඳහන් කරමිනි. එහෙත් විදෙස්ගත වනවා වෙනුවට රහසිගත ජීවිතයක් ගත කරමින් සිට ඇත්තේ ප්‍රහාරකයන්ට පහසුකම් ද සපයමිනි.

ප්‍රහාරයට සූදානම් වී සහරාන් සහ මුබාරක් ෂැංග්‍රිලා හෝටලයට එන්නේ 20 වැනිදාය. කුඩා වෑන් රථයකිනි. මුබාරක් එන්නේ පාණදුරේ සාරික්කමුල්ලේ සිටය. සහරාන් එන්නේ ගල්කිස්ස පන්සල පාරේ සිටය. කුලී වෑන් රථයක නැඟී කොළඹ එන ඔවුන්ට ෂැංග්‍රිලා කාමර වෙන් වී තිබෙන්නේ මුබාරක්ගේ නමිනි. ඒ හෝටලයේ 06 වැනි මහලෙනි.

ප්‍රහාරයට සූදානමින් 21 වැනිදා ඔවුන් දෙදෙනා රැඳී සිටි බෝම්බ බෑග ද කරේ එල්ලාගෙන කාමරවලින් පිටතට එන ඔවුන් දෙදෙනා විදුලි සෝපානයේ නැගී තෙවැනි මහළේ උදෑසන ආහාරය සකස් වී තිබෙන ආපන ශාලාවට ගියහ. ඒ වන විට විශාල පිරිසක් උදෑසන ආහාරය ගැනීමට තෙවැනි මහලේ ආපන ශාලාවට රැස්ව සිටියහ. එහිදී ඔවුන් දෙදෙනා බෝම්බ පුපුරවා ගන්නේ ස්ථාන දෙකකදීය.

පිපුරුමෙන් පසු පොලිස් විමර්ශකයන්ගේත් බුද්ධි අංශවලත් අවධානය යොමු වන්නේ ඔවුන් දෙදෙනා පෙර දින හෝටලයට පැමිණි ආකාරය කෙරෙහි හෝටලයේ ආරක්ෂක කැමරා දත්තයන් සහ තොරතුරු ඊට මහත් පිටිවහලක් විය. එහිදී පෙනී යන්නේ කුඩා වෑන් රථයකින් ඔවුන් හෝටලයට පැමිණ ඇති බවය. එම වාහනයේ අංකය සොයාගත් විමර්ශකයෝ ඒ ඔස්සේ වෑන් රථය සොයා ගනිමින් එහි රියැදුරු හඳුනාගත්හ. ඒ අනුව එම වෑන් රථය සමඟ රියැදුරා අත්අඩංගුවට ගන්නේ වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පාරේදීය.

එය වාහන කුලී ආයතනයකට අයත් එකකි. එහි හිමිකරු වන්නේ පාණදුර පැත්තේ කාන්තාවකි. රියැදුරා පවසන්නේ පාණදුර සාරික්කම්මුල්ලේ සිට එක් අයෙකු තමන් සමග පැමිණි බවය. ඒ පැමිණි පුද්ගලයා මුබාරක් බව රියැදුරා හදුනාගන්නේ මරාගෙන මැරුණු ඔවුන්ගේ හිස් කොටසේ ඡායාරූපයක් ඔස්සේය.

සාරික්කමුල්ලේ සිට ඔහු වෑන් රථයට ගොඩවන්නේ ගමන් මලු කිහිපයක්ද රැගෙන බව ප්‍රශ්න කිරීම් හමුවේ රියැදුරා පවසන්නට වූයේ බෝම්බ රැගෙන එන්නට ඇත්තේ එම වෑන් රථයෙන් බවට වූ සැකය තවදුරටත් තීව්‍ර කරමිනි.

රියැදුරාගේ තොරතුරු ඔස්සේ බුද්ධි අංශ නිලධාරීන් සහ පොලිසිය ඊළඟට යන්නේ ඔහු නවාතැන්ගෙන සිටි බව සඳහන් සාරික්කමුල්ලේ පිහිටි නිවසටය. එහි ඔහු නවාතැන් ගෙන සිටින්නේ කුලී පදනම මතය. ඒ මාසික කුලිය රුපියල් 45000කටය. අන්තර්ජාලයේ දැන්වීමකට අනුව ඔහු එම නිවස එවන් මාසික කුලියකට ගන්නේ වසරක අත්තිකාරම් මුදලකුත් ගෙවමිනි. ඒ ඉකුත් පෙබරවාරි 19 වෙනිදාය. කටානේ නිවසද ඔහු කුලියට ගන්නේ එම වකවානුවේදීමය.

එම නිවස කුලියට ගන්නට ඔහු සමඟ තවත් අයෙක් සම්බන්ධ වී සිටියේය. ඒ දෙහිවල බොම්බකරු වන ජමීල්ය. එහෙත් කුලී ගිවිසුමට අස්සන් තබන්නේ මුබාරක්ය. පවුල් දෙකක් එහි පදිංචි ව සිටින බව කුලී හිමිකරුට ඔවුන් සදහන් කළේය. නිවස කුලියට ගන්නේ එකී කොන්දේසියවලට කුලි හිමිකරු යටත් කරමිනි.

පවුල් දෙකක් පදිංචි වී සිටින බව සඳහන් වූවත් ඒ සදහන් කළ ආකාරයට පවුල් දෙකක් එහි පදිංචිව සිට නැති බව පරීක්ෂණවලින් හෙළි වෙයි. විටෙන් විට ගැහැනුන් සහ දරුවන් ඒ නිවසේ සිටි ඇතත් ඒ තාවකාලිකව පමණි.

එම නිවස සැබෑ ලෙසම යොදාගෙන තිබී ඇත්තේ ජාතික තවුහිත් ජමාත් හී සාමාජිකයන්ගේ ආරක්ෂක නිවස්නයක් ලෙසය. කොළඹ පුපුරවා හරිනු ලැබූ බොම්බවලින් බොහොමයක්ම අටවා තිබුණේ එම නිවසේදීය. බුද්ධි අංශ සහ පොලිස් නිලධාරීන් නිවස සෝදිසියට ලක් කරන විටත් එම බොම්බ සකස් කරන්නට යොදාගත් යකඩබෝල බැටරි, වයර් කැබලි , පරිපථ මෙන්ම බොම්බ ඇටවීම් සම්බන්ධයෙන් සටහන් කළ පරිපථ සැලැසුම් ද නිවසේ තැන තැන විසිරී තිබිණි.

කිංස්බරි පිපුරුම සහ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිපුරුම

කිංස්බරි හෝටල් ප්‍රහාරය එල්ල කරන්නේ මෙරට බිලියනපතියෙකු වන අල්හාජ් මොහොමඩ් ඊබ්‍රාහිම් යූෂුප්ගේ දරුවෙකි. ඇමතිවරයෙකුටද ඥාති සම්බන්ධයක් ඇතැයිද පැවසෙන ඊබ්‍රාහිම් මෙරට අංක එකේ කුළුබඩු ව්‍යාපාරිකයෙකි. සතොස වෙළඳසල් වලට කුළුබඩු සපයන ප්‍රධාන සැපයුම්කරුවාද වන ඔහු සම්මානලාභී ව්‍යාපාරිකයෙකි.

ඊබ්‍රාහීම්ට ඇති දේශපාලන සම්බන්ධකම් සෑම අතකටම විහිදී තිබේ. ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද ඔහුට දේශපාලන හිතවතුන් බොහෝය. ජනතා විමුක්ති පෙරමුණේද දැවැන්තයින් ඔහුගේ මිත්‍රයෝය. 2015 වසරේ පැවැති මහා මැතිවරණයේදී ජවිපෙ ජාතික ලැයිස්තුවේ ඊබ්‍රාහිම්ගේ නම ඇතුළත් වන්නේ එබැවිනි.

කිංස්බරි හෝටලයට ප්‍රහාරය එල්ල කරන්නේ ඊබ්‍රාහිම්ගේ පස් වැනි දරුවාය. ඔහු නමින් ඉල්හාම් අහමඩ් ඊබ්‍රාහිම්ය. 31 හැවිරිදි ඔහු දරුණු ලෙස අන්තවාදය වැලඳගෙන සිටියෙකි. සිය පියාට අයත් බිලියන ගණනක වත්කම් බලාකියාගෙන නොසිට ඔහු අන්තවාදයෙන් දෑස් අන්ධව කිංස්බරි හෝටලයට පහරදෙමින් විදේශිකයන් ඝාතනය කරන්නේ ආගම වෙනුවෙන් පණදී දෙවියන් සමීපයට යන්නට හැකි බව විශ්වාස කරමිනි. ඔහු ඒ තැනට පත් කරන්නේ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් කාසිම්ගේ ඉගැන්වීම්ය.

සිය ගැබිනි බිරියත් දරුවන් තිදෙනාත් සමඟ ඉල්හාම් පදිංචි වී සිටියේ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවසේය. එය තෙමහල් සුවිසල් නිවසකි. එහි ඊබ්‍රාහිම්ගේ දරුවන් කිහිප දෙනෙක්ම සිය බිරින්දෑවරු සහ දරුවන් සමඟ පදිංචිව සිටියහ. ඒ සියලු දෙනාම බලා කියා ගත්තේ ඊබ්‍රාහිම්ය. ඒ සියලු දරුවන් ඊබ්‍රාහිම්ගේ ව්‍යාපාරික සමාගම්වල අධ්‍යක්ෂකවරුය.

ඉල්හාම්ගේ බිරියද අන්තවාදී අදහස් දරන්නියකි. ඇය ඉල්හාම්ට වඩා අන්තවාදී ගැහැනියකි. ඉල්හාම් කිංස්බරි හෝටලයට 21 වෙනිදා මරාගෙන මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන බව ඇය කල් තියාම දැන සිටින්නට ඇතැයි විමර්ශකයන්ගේ විශ්වාසයයි.

සෙසු ප්‍රහාරකයන් මෙන්ම ඉල්හාම්ද 20 වැනිදා රැය පහන් කරන්නේ සිය ඉලක්කය වූ කිංස්බරි හෝටලයේය. 21 වැනිදා ඔහු අවන්හලේදී විදේශිකයන් ඉලක්ක කරගෙන කිලෝ 15ක් පමණ බරැති බෝම්බය පුපුරවා හැරීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙමටගොඩ මහාවිල උද්‍යානයේ පිහිටි ඔහු පදිංචිව සිටි නිවස සොයාගෙන එන්නේ පිපුරුම වූ ස්ථානයේ වැටී තිබුණු ජාතික හැඳුනුම්පතේ ලිපිනය ඔස්සේය. බෝම්බකරු කවුරුන්දැයි ඒ වන විටත් පොලිසිය නිශ්චිත ව දැන නොසිටියේය. එහෙත් කිංග්ස්බරි බෝම්බ පිපිරුමට එම නිවසේ ඇති සම්බන්ධය තහවුරු වන්නේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිවු දෙනෙක් එම නිවසට ගොස් ඉල්හාම්ගේ බිරිද ෆාතිමා ජබ්රිගෙන් ප්‍රශ්න කරන්නට සූදානම් වූ අවස්ථාවේදී නිවසේ තිබුණු බොම්බයත් පුපුරවාගෙන ඇය මරාගෙන මැරෙන ප්‍රහාරයක් පොලිස් නිලධාරීන්ට එල්ල කිරීමත් සමඟිනි. විසි පස් වියැති ඇය ඒ එල්ල කරන්නේද එසේ මෙසේ බෝම්බ ප්‍රහාරයක් නොව කිලෝ 15ක 20ක පමණ පුපුරන ද්‍රව්‍ය ඇටවූ බොම්බයකි. එම බෝම්බයෙන් ගැබිනියක වූ ඇය මිය යන්නේ සිරුරේ කැබලිවත් එකතු කර ගන්නට නොහැකි වන ලෙසිනි. ඇගේ දරුවන් තිදෙනාද බොම්බ පිපුරුමෙන් මිය යන්නේ මළ සිරුරක් වත් හඳුනාගන්නට නොහැකි වන ලෙසිනි.

එම ප්‍රහාරයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකයෙකු ඇතුළු තිදෙනෙකුට දිවි අහිමිවන අතර එක් නිලධාරියෙකු තුවාල ලබා ජීවිතය රැකගත්තේය.

අනපේක්ෂිත ලෙස දෙවැනි බොම්බ පිපුරුම නිවසේ සිදු වන්නේ පළමු පිපුරුමෙන් පැය භායකට පමණ පසුවය. ඒ පළමු පිපුරුම සම්බන්ධයෙන් විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විශේෂ පොලිස් අංශවල නිලධාරීන් නිවස තුළ රැදී සිටියදීය. හෙළි වෙමින් ඇති ආකාරයට එම දෙවැනි ප්‍රහාරය එල්ල කරන්නේ ඊබ්‍රාහිම්ගේ බාල පුතා වන ස්මයිල් අහමඩ් ඊබ්‍රාහිම්ය.

එම පිපුරුම්වලින් පැය 48ක් තුළ අයි.එස් ත්‍රස්ත සංවිධානය එම ප්‍රහාරයේ වගකීම භාර ගනිමින් ප්‍රහාරයට එක්වූවන්ගේ අබු නාමයන් සමඟ වීඩියෝවක්ද නිකුත් කළේය. අයි.එස් සංවිධානයේ ප්‍රචාරක ආයතනයක් වන ඇමැක් ඒජන්සිය මඟින් නිකුත් කර ඇති එම වීඩියෝ පටයේ සිටින්නේ සහරාන් ඇතුළු මරාගෙන ප්‍රහාරකයෝය. දෙමටගොඩ ප්‍රහාරකයා ලෙස එහි නම සඳහන් වූයේ අබු අබ්දුල්ලාය. දෙමටගොඩ නිවසේ මරාගෙන මැරෙන පිපුරුම් දෙකක් සිදු වූ බැවින් අබු අබ්දුල්ලා යැයි කියන්නේ ඒ දෙදෙනාගෙන් කවුරුන්දැයි ඇත්තේ ගැටලුවකි. ඒ අයි.එස් වීඩියෝ පටයේ සහරාන් සමඟ සිටින අය අතර කාන්තාවක් බවට සැක කළ හැකි ශරීර ලක්ෂණ ඇති අයෙක්ද සිටින බැවිනි.

ඒත් එක්කම කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකපිට ඊබ්‍රාහිම් ඇතුළු නිවසේ රැඳී සිටි සියලුම දෙනා අත්අඩංගුවට ගත්තේය. ඒ අය අතර ඉජාස් අහමඩ් නැමැති ඊබ්‍රාහිම්ගේ තිස් හැවිරිදි තවත් පුතෙක් ද ඇතුළු 10 දෙනෙක් සිටියහ. ඒ අය දැන් සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේය.

ඒත් එක්කම අනාවරණය වන්නේ මාර්තු 29 වැනිදා වන විට ඔහු තමන්ට අයත් සියලුම දේපොළ සේවකයන්ට සහ සමාගම් කිහිපයකට සහ ඥාතීන් කිහිප දෙනෙකුට පවරා ඇති බවය.

සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් ප්‍රහාරය

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට පහර දෙන අන්තවාදීයාද ඊබ්‍රාහිම්ගේ පුතෙකි. පවුලේ තුන්වැන්නා වූ ඔහු ඉම්ෂාන් අහමඩ් ඊබ්‍රාහිම්ය. තිස්තුන් වියැතිය. ඔහුට අයි.එස් සංවිධානය නම් තබා ඇත්තේ අබු මුක්තාර් යැයි කියාය.

වැල්ලම්පිටියේ පිහිටි තඹ කර්මාන්ත ශාලාවේ හිමිකරු වන්නේ ඔහුය. එම කර්මාන්ත ශාලාවට හමුදාවේ හිස් පතොරම් කොපු ඔහුට තොග වශයෙන් ලැබී ඇත. ඒ දේශාපාලනඥයෙකු සමඟ ඇති සම්බන්ධකම් ඔස්සේය. සිය පියා සමඟ ව්‍යාපාර රැසක් මෙහෙයවන්නේ ඉම්ෂාන්ය. මැති ඇමතිවරුන් සමඟ කිට්ටු සම්බන්ධයක් ඔහුට ද තිබේ. අපනයන සම්මාන කිහිපයකින්ම ඔහු පිදුම් ලබා තිබීම විශේෂිතය. ඉෂානා ස්පයිස් එක්ස්පෝට් නම් සමාගමේ හිමිකරුවාද වන ඔහු පාකිස්තානය, ඩුබායි, ඉන්දියාව, ඇමරිකාව යන රටවලට කුළුබඩු අපනයනය කරයි. ඔහු සම්මානයට ප්‍රාප්ත වී ඇත්තේ ඒ වෙනුවෙනි.

විමර්ශකයන් පවසන්නේ ඉම්ෂාන්ද සිය ඉලක්කය වූ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ නවාතැන් ගන්නට යන්නේ පෙර දිනයේ බවය. 08 වැනි මහලේ ඇති කාමරයක නවාතැන් ගත් ඔහු 21 වෙනිදා බෝම්බය පුපුරවා හරින්නේ පහළ මහලේ ඇති තැප්‍රොබෙන් අවන්හලේදීය. උදෑසන ආහාරයට පලතුරු කමින් වැඩි විදේශිකයන් පිරිසක් සිටින තැනක් වෙත සීරුවෙන් ළං වන ඔහු බෝම්බය පුපුරවා ගන්නේ පෙරවරු 8.46 ට පමණය.

ඉම්ෂාන්ගේ බිරිය අෂ්ඛාන් අලාම්දීන් පවසන්නේ ව්‍යාපාරික කටයුත්තකට සැම්බියාවට යන බව සඳහන් කරමින් ඔහු 18 වැනිදා පිටත්වූ බවය. ඒ යන විට ඔහු තමාගේ උරහිස් දෙකට අත තබා පිරිමදිමින් ශක්තිමත්ව සිටින්නැයි පැවැසූ බවද ඇය පවසන්නීය. ඒ ගැන ඇයට අමුත්තක් දැනුණද සැමියා මෙවන් දෙයකට සම්බන්ධ වේවි යැයි ඇයට සිහිනෙකින් සිතී නැත. ඇය සඳහන් කරන්නේ එවැන්නක් ඇයට දැනුණ නම් සැමියා වළක්වන බවය. 21 වැනිදා උදෑසන 7.30ට පමණ ඔහු දුරකතන ඇමතුමක් ගෙන සුව දුක් විමසීමක් කළ බවද ඇය පවසන්නීය.

මහනුවර පැත්තේ පිහිටි ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබා ඇති ඉම්ෂාක් පදිංචිව සිටින්නේද මහනුවරය. පිපිරුම සිදු වන විට නිවස ඉදිරිපිට නතර කර තිබී පොලිස් භාරයට ගත් බී.එම්.ඩබ්ලිව් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයේ හිමිකරු වන්නේ ද ඔහුය. සිය පියාගෙන් උරුම වූ තඹ කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන ගියේ ඔහුය. එම කර්මාන්ත ශාලාව ඇත්තේ වැල්ලම්පිටියේය. එහි පාකිස්තානුවෝ ද සේවයේ නිරතව සිටිති.

ඉම්ෂාක් කිංග්ස්බරි ප්‍රහාරයට මොහොතකට පෙර සිය මවට ජංගම දුරකතනයෙන් හඬ පටයක් එවා තිබිණි. “අම්මේ සමාවෙන්න ආගම වෙනුවෙන් මම සියදිවි හානිකර ගන්නවා“ යැයි කියාය.

ඔහුද සිය දේපොළ මාර්තු 29 වැනිදා සිය බිරියට සහ දරුවන් සිවුදෙනාට තෑගි ඔප්පුවකින් ලියා තිබීම විශේෂිතය.

මඩකලපුවේ ප්‍රහාරකයා

අබු මහම්ද් නම් එම බෝම්බකරුගේ සැබෑ නම මොහොමඩ් නසාර් මොහොමඩ් අසාඩ්ය. 43 හැවිරිදි අසාඩ් කාත්තන්කුඩියේ කනත්ත පාරේ පදිංචිකරුවෙකි. කල්මුණෙන් විවාහයක් කරගෙන සිටින ඔහු වසර 08ක්ම පදිංචි ව සිටින්නේ කල්මුනේය. දින කිහිපයක් තිස්සේ අතුරුදන් වී සිටි ඔහු කාන්තන්කුඩියේ පසුගිය 16 වැනිදා පුපුරා ගිය යතුරු පැදි බෝම්බයටද සම්බන්ධ බවට පොලිසියට තොරතුරු ලැබී ඇත. ඔහුද උසස් අධ්‍යාපනයක් ලද උපාධිධාරියකු බවට හෙළි වී ඇත.

No comments