Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මම ගියේ රාත‍්‍රී පූජාවට

අපේ‍්‍රල් 21 මුළු රටම භීතියෙන් තැතිගත් දවසක්. මුළු රටම ජාති ආගම් භේද නොතකා විපතට පත් වූවන් වෙනුවෙන් කඳුළු හෙළු දවසක්. නොදන්නා මිනිසුන් වෙන...

අපේ‍්‍රල් 21 මුළු රටම භීතියෙන් තැතිගත් දවසක්. මුළු රටම ජාති ආගම් භේද නොතකා විපතට පත් වූවන් වෙනුවෙන් කඳුළු හෙළු දවසක්. නොදන්නා මිනිසුන් වෙනුවෙන් කඳුළු හෙළු අපේ කඳුළු ආයෙමත් අලූ‍ත් වුණේ දන්නා හඳුනන අයත් ඒ අතරට එක් වී ඇති බව විවිධ මාධ්‍ය මගින් හා කටකතාවලින් පැතිරෙන විට ප‍්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස් පිළිබඳවත් එවැනි කතාවක් පැතිරුණා. ඒත් එය කටකතාවක් පමණයි. සිදු වූ සිදුවීමත් සමග බොහෝ කම්පනයට පත් ක්ලීටස් මෙන්ඩිස් තම අසල්වැසියන්ට නෑ හිතමිතුරන්ට සිදුවූ ව්‍යසනය ගැන වගේම පැතුරුණු කටකතාව ගැනත් පළමු වරට අප සමග කතාබහ කළා.

සිද්ධ වුණේ මහා විනාශයක්?
ඒ විනාශය ගැන වචනයෙන් විස්තර කරන්න බෑ. යුද්දෙ කාලේ බෝම්බ පිපිරීම් ගැන අත්දැකීම් අපට තියෙනවා. බෝම්බ පිපිරෙනවා දැකලා තියෙනවා. ඒත් මේ වගේ ම්ලේච්ඡු පිපිරීමක් දැකලා නෑ. මම තාමත් වෙච්ච දේ ගැන කම්පනයෙන් ඉන්නේ.

කටුවාපිටිය දේවස්ථානය තියෙන්නෙ ඔබේ නිවස අසල එදා දේව මෙහෙයට ඔබ සහභාගී වුණේ නැද්ද?
මම සහභාගී වුණේ පෙරදා රාත‍්‍රියේ පැවැති පූජාවට. ? පූජාවට නොගියානම් මම අනිවාර්යයෙන්ම උදේ පූජාවට යනවා. දෙවියන්ගේ පිහිටෙන් මම බේරුණා කියලා කාලකණ්ණි සතුටක් මට ලබන්න බෑ. මගේ මුළු ගමම මළගෙයක්. ඒ මියගිහින් ඉන්නේ මගේ ළඟම නෑ හිතවතුන්, සහෝදරයෝ වගේ පොඩි කාලේ ඉඳන් ඇසුරු කළ අය.

සමහරුන්ගේ මිනියවත් හොයාගෙන නෑ. කිරි දරුවො ඉන්නවා අම්මලා තාත්තලා නැති. දරුවො අහිමි වුණු අම්මලා තාත්තලා කෑ ගහන කොට ගෙදරට වෙලා මම බේරුණා කියලා සතුටු වෙන්න පුළුවන්ද?

සිද්ධිය වුණ ගමන්ම ඔබ දේවස්ථානයට ගිය බව ආරංචියි?
නොගිහින් කොහොමද? දේවස්ථානය තියෙන්නේ මගේ නිවස ළඟ. පිපිරුම් සද්දේ ඇහෙද්දී අපිට හිතාගන්න බැරිවුණා. ගෙදර අය කිව්වෙ රතිඤ්ඤා වෙන්න ඇති කියලා. ඒත් මම සද්දෙන් නිගමනය කළා බෝම්බයක් කියලා. ගෙයින් එළියට බැහැලා බලන කොට තමයි පල්ලිය පැත්තෙන් කලබලේ ඇහුණේ. මම පල්ලියට යනකොට දැකපු පළමු දසුනම මාව කම්පනයට පත් කළා.

සිරුරෙන් වෙන්වෙච්ච අතක් තමයි මම මුලින්ම දැක්කේ. එතන ඉඳන් තුවාලකාරයෝ බේරගන්න, මරණයට පත් වෙච්ච අය හොයා ගන්න මමත් අසල්වැසියන් එක්ක එකතු වුණා. තාමත් සමහර සිරුරු හොයාගෙන, අඳුනගෙන නෑ.

කටුවාපිටියේ මියගිය අයගේ අවසන් කටයුතු කරන්න ඔබගේ සකි‍්‍රය දායකත්වයත් ලැබෙන්නට ඇති?
ඔව්. ඔවුන් වෙනුවෙන් ඒ යුතුකම පල්ලියේ මූලිකත්වයෙන් අපි ඉතාමත් භක්තියෙන් කළා. හැමෝගෙම අවසන් කටයුතු එකම දවසේ කරන්නයි අපි මුලින්ම බලාපොරොත්තු වුණේ. මාලනී අක්කා, රවින්ද්‍ර අයියා ඇතුළු කලාකරුවො රැුසක් ඔවුන්ට අවසන් ගෞරව දක්වන්න එදාට එන්න හිටියේ.

ඒත් මම ඒ ගමන වැළැක්කුවා. මොකද ජනතාව රැුස්වීම මේ අවස්ථාවේ සතුරාට තවත් අවස්ථාවක් අපි දෙනවා. මම නිසා ඇවිත් කාටහරි කරදරයක් වුණොත් මම ඉඳලා මොකටද? මගේ ගමේ අසරණ වුණ හිතවතුන්ට ඉදිරියේදී උදව් කරන්න මම සෘජුවම මැදිහත් වෙනවා. කලා කරුවන් ඇතුළු බොහෝ පිරිසක් ඒ වෙනුවෙන් මට සහයෝගය පළ කරලා තියෙනවා.

දැන් ආයෙමත් අපට බියෙන් සැකෙන් ජීවත් වෙන්න වෙලා කියලා හිතෙනවාද?
මනුස්සයෙක්ට තමන්ගේ ආගම අදහන්න නිදහසක් නැත්නම්, එතන තියෙන්නේ මරණ බයක් නම්, නිදහසේ ගමනක් බිමනක් යන්න බැරි නම් අපි ආයෙමත් යුද්ධ කාලෙටත් වඩා කලින් තත්ත්වයටත් අන්ත තත්ත්වයනට පත් වුණා කියලා හිතෙනවා. මේ තත්ත්වයට වග කියන්න ඕනෑ අපේ රටේ පාලකයෝ. ඒ අය රටේ ජනතාවගේ ආරක්ෂාව ගැන මීට වඩා හිතන්න තිබුණා.

ඒ අතර ඔබත් කටුවාපිටිය බෝම්බයට ගොදුරු වුණු බවට රාවයක් පැතිරුණා?
ඔව්. ඒ පුවතින් ඇත්තටම මම සසල වුණා. ඒ මම මළ බව ආරංචි වුණ නිසා නෙමෙයි. මේ වගේ ශෝචනීය අවස්ථාවක මේ වගේ පහත් වැඩ කරන්නේ කවුද? පොඞ්ඩක් අපි ඉන්න මානසික තත්ත්වය තේරුම් ගන්න ඕනෑ. මේවට උත්තර දෙන්න පුළුවන් මානසික තත්ත්වයක නෙමෙයි මම ඉන්නේ.

මගේ හිතවතුන් එය බොරු ප‍්‍රචාරයක් කියලා තිබියදීත් මේ පුවත් උණු කැවුම් වගේ විකිණිලා. මම ගැන අවංකවම දුක් වුණ පිරිසට මම කෘතවේදය පළ කරනවා.

ඒ වගේම මේ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් ජීවිත පූජා කළ අපේ සහෝදර සහෝදරියන්ට, දුවා දරුවන්ට දෙව් මව් තුරුලේ සාමදානයෙන් සැතපෙන්නට මම ප‍්‍රාර්ථනා කරනවා.

සවන්තී රාජපක්ෂ

No comments