Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, පාර්ලිමේන්තුවේ මුදල් බලයත් ජනපති අනීතිකව උල්ලංඝනය කරනවා

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ජනතාවගේ පරමාධිපත්‍ය බලයත්, පළාත් පාලන නීතියත්, පාර්ලිමේන්තුව සතුව තිබෙන මුදල් බලයත්, රනිල් වික්‍රමසිංහ ජනපතිවරය...

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ජනතාවගේ පරමාධිපත්‍ය බලයත්, පළාත් පාලන නීතියත්, පාර්ලිමේන්තුව සතුව තිබෙන මුදල් බලයත්, රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා විසින් අනීතිකව උල්ලංඝනය කර තිබෙනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 

පොළොන්නරුව කදුරුවෙල පැවති ජාතික ජන බලවේගයේ ජනතා රැලිය අමතමින් දිසානායක මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය.

මාර්තු 09දා පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණය කල්ගොස් තිබෙනවා. මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් ප්‍රකාශයට පත්කිරීම, මාර්තු මස 03දාට යෙදී තිබෙනවා. 09 වෙනිදා සිට දින 21ක් ගතවූ පසු දිනයක් ලබාදීමට මැතිවරණ කොමිසමට බලය තිබෙනවා. ඡන්ද ඉතිහාසයේ ඡන්දයක් සඳහා දින නියමකොට, නාමයෝජනා භාරගෙන, ඡන්ද කල්ගිය අවස්ථා ඉතිහාසයේ නෑ. 

පසුගියදා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා, “ජනතා විමුක්ති පෙරමුණ ජය ගැනීම වළක්වන්න ඡන්දය කල් දමන්න“ කියා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද ඉල්ලා සිටි බව. රනිල් වික්‍රමසිංහගේ ඡන්දය කල්දැමීමේ වුවමනාවට විපක්ෂයේ ආශීර්වාදය පවා තිබෙන බවයි මේ පවසන්නේ. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මැතිවරණ කොමිසම ස්වාධීන ආයතනයක්. ඡන්දය ප්‍රකාශයට පත්කිරීම, ඇප මුදල් භාර ගැනීම, නාමයෝජනා භාර ගැනීම, ඡන්ද දිනය ප්‍රකාශයට පත්කිරීම, ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම, ජයග්‍රහණය කළේ කවුද, ප්‍රකාශයට පත්කිරීම යන මැතිවරණ ක්‍රියාවලියේ සියලුම බලය මැතිවරණ කොමිසම සතුව තිබෙනවා. එය ජනාධිපතිට හෝ පාර්ලිමේන්තුවට යටත් ආයතනයක් නොවෙයි. මැතිවරණ කොමිසම ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කර, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කර දෙන්න ගොඩනඟා තිබෙන ආයතනයක්. 

රනිල් වික්‍රමසිංහ මැතිවරණ කොමිසම අඩපණ කළා. භාණ්ඩාගාරයේ ලේකම් කැඳවලා මැතිවරණයට මුදල් දීම වැළැක්වුවා. මුද්‍රණාලයාධිපතිනිය කැඳවලා මුදල් දෙනතෙක් ඡන්ද පත්‍රිකා අච්චු ගැසීම වැළැක්වුවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ජනතාවගේ පරමාධිපත්‍ය බලයත්, පළාත් පාලන නීතියත්, පාර්ලිමේන්තුව සතුව තිබෙන මුදල් බලයත්, රනිල් වික්‍රමසිංහ විසින් අනීතිකව උල්ලංඝනය කර තිබෙනවා.

මේ සිදුවෙමින් යන්නේ ලංකා ඉතිහාසයේ සිදුවෙමින් යන සුවිශේෂීමය දේශපාලන හැරවුම. අපේ රට දීර්ඝ කාලයක් පාලනය කළේ උඩ ඉන්න අතළොස්සක් වූ පවුල් සංඛ්‍යාවක්. අපේ ජනතාව බියට පත්කළා. ජනතාව නිවටභාවයට පත්කළා. එහෙම කරලා එයාලා හිතුවා ජනතාව සෑමදාම නිවටයන් බවට පත්කරන්න පුළුවනියි කියලා. එයාලා ප්‍රභූවරු. එයාලා බලය සඳහාම උපන් අය. අපේ රටේ බලය හොබවන්න ඕනෙ එයාලා පමණයි, යන මතය ජනතාව තුළ හැදුවා. 

අගමැතිකම, ජනාධිපතිකම අයිති ඒ පවුල්වලට. බණ්ඩාරනායක අගමැති, සිරිමාවෝ බණ්ඩාරනායක අගමැති, චන්ද්‍රිකා ජනාධිපති. ඒව අයිති එයාලගේ පවුල්වලට. ඩී. එස්. සේනානායක අගමැති, ඩඞ්ලි සේනානායක අගමැති, ඒවා අයිති ඒ පවුල්වලට. මහින්ද රාජපක්ෂ ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති. ඒවා අයිති ඒ පවුල්වලට. ජනාධිපති මහින්ද, මල්ලි ගෝඨාභය ජනාධිපති, පුතා නාමල් අනාගත ජනාධිපති පවුල් පෙළගැස්මක් තිබුණා. ප්‍රේමදාස ජනාධිපති, පුතා අනාගත ජනාධිපති ලෙස පිඹුරුපත් සකසා තිබුණා. අගමැති ධුර, ජනාධිපති ධුර ඔය පවුල් හතර ඇතුලේ තිබුණේ. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති, එයාගේ බෑණා රනිල් වික්‍රමසිංහ ජනාධිපති. 

අපේ ගම්වල අම්මා තාත්තාට හොඳ සෞඛ්‍ය පහසුකම් නෑ. නමුත් උඩ ඉන්න පැලැන්තියක් ඉන්නවා ඖෂධවලින් හොරා කනවා. කෙහෙළිය රඹුක්වැල්ලට ඉන්දියාවෙන් ණය ආධාරයක් ලැබුණා ඖෂධ ගේන්න. ඖෂධවලින් 80%ක් ලංකාවේ ලියාපදිංචි නොකරන ලද ඖෂධ. ඒවායින් හොරකම් කරනවා. ඇන්ටිජන් කිට්වලින්, සැනිටයිසර්වලින්, වෛද්‍ය උපකරණවලින් හොරකම් කරනවා. අපට ලෙඩේ විපතක් වුණාට උඩින් ඉන්න කොටසකට ලෙඩේ උල්පතක් බවට පත්වෙලා.

පාරිභෝගික ඇමති, තෙල් ඇමති, ගල් අඟුරු ඇමති, පරිසර ඇමති, මුදල් ඇමති මේ එක් එක් ඇමතිවරුන් එනකොට ඒ වටා හත් අටදෙනෙක් එකතු වෙනවා. එයාලා තමයි ඒ ඒ බිස්නස් කරන්නේ. මේ දේශපාලකයන් පමණක් නොවෙයි ඒ වටා ඉන්න චෞර වළල්ලට මේ රටේ සාරය උරාගන්න මේ පාලකයෝ ඉඩ දෙනවා. මේ වෙනස් වෙන්න යන්නේ මොකක්ද? ජනතාවගේ භාණ්ඩ හා සේවා සපයන කොට ඒ ගොඩනැගී තිබුණු චෞර වළල්ල මාලිමාව පාලනය යටතේ අහෝසි වීමට නියමිතව තිබෙනවා. අපි කර්මාන්තයක් දෙන්නේ ඥාතිකම්, හිතවත්කම්වලට නොවෙයි. 

සිද්ධ වීමට යන්නේ විශාල පරිවර්තනයක ආරම්භයක්. දේශපාලන වේදිකා ගොඩක් තිබුණත්, සැබෑ බිමේ තිබෙන්නේ දේශපාලන මත දෙකයි, පැති දෙකයි. අනාගත පරම්පරාවේ සිහින බිඳ වැට්ටවූ පැත්ත හා සිහින සැබෑ කරන පැත්ත. ඡන්ද කල්දමා මාලිමාව දුර්වල කරන්න බෑ. තව තවත් වර්ධනය වෙනවා. රනිල් ඔයා ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ නම්, අපි ප්‍රජාතන්ත්‍රවාදී පොරපිටියේ. ඔයා ප්‍රචණ්ඩකාරී නම්, අපි සාමකාමී පොරපිටියේ. ඔයා කඩාකප්පල්කාරී නම්, අපි රට ස්ථාවර කිරීම පැත්තේ. ඔයාලා දිනෙන් දින ඔප්පු කරමින් ඉන්නවා රටට හතුරු, ප්‍රජාතන්ත්‍රවාදයට හතුරු බව. අපි දේශපාලනයට ආධුනිකයන් නොවෙයි. අපි ඉතාමත් ශක්තිමත්ව, තව තවත් ජනතාව ඒකරාශී කර ගනිමින්, ජනතාව තුළ විශ්වාසය තහවුරු කරමින් මාලිමාව වේගවත්ව වර්ධනය කර ගන්නවා. එදාට වඩා අපි වැඩ කරනවා. ඔයාගේ බොරු වළවල්වලට අපිව වට්ටවන්න බැරි බව මතක තබාගන්න.

No comments