Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අහිංසකයින් ඝාතනය කිරීමෙන් සිදු වන්නේ ඔවුන්ගේ අවසානය ඉක්මන් වීමයි. - සජිත් ප්‍රේමදාස

මේ මොහොතේ අන්තවාදී ත්‍රස්තවාදය මේ රටින් තුරන් කිරීම සදහා සියලු වාදභේද, පක්ෂ පාට ඉවතලා එකට එකතු විය යුතු බවත්, දේශපාලන නායකයින්, වගේම සමස්ථ...

මේ මොහොතේ අන්තවාදී ත්‍රස්තවාදය මේ රටින් තුරන් කිරීම සදහා සියලු වාදභේද, පක්ෂ පාට ඉවතලා එකට එකතු විය යුතු බවත්, දේශපාලන නායකයින්, වගේම සමස්ථ රටම මේ මොහොතේ ජාතික වගකීම හදවතට ගත යුතු බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.

නැවත ශක්තිමත්ව මේ රටට නැගි සිටීම සදහා ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට එන්නැයි ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සිය නිවේදනය මගින් විදෙස් ආයෝජකයින් ගෙන් කාරුණික ඉල්ලා සිටියි.

''අපගේ සංචාරක කර්මාන්තය උත්තේජනය කරමින් ජාතික ආර්ථිකය වර්ධනය කිරීමට සහය දෙන්න කියලත් ඉල්ලා සිටිනවා. මේ සුන්දර පාරාදීසය ඔබේ ජීවිතයේ සැමරුමක් කර ගන්න'' යයි සඳහන් කරමින් අමාත්‍යවරයා එම ඉල්ලීම කර ඇත.

අමත්‍යවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

මරාගෙන මැරෙන සෑම බෝම්බකරුවකුගේම සිහිනය හඳුනා ගමු !

''මරාගෙන මැරෙන සෑම බෝම්බකරුවකුගේම සිහිනයක් තිබෙනවා, ඒ තමන් සිදු කරන විනාශකාරී ක්‍රියාවෙන් මොනතරම් තමන්ගේ දුෂ්ඨ අරමුණු ඉෂ්ඨ කරගත හැකි සිහිනය. ඉතිහාසයේදී ශ්‍රී ලංකාව මෙවැනි සිහින මැඩ පැවැත්වූ රටක්.

1993 මැයි දින රැළියේදී එවකට ජනාධිපතිව සිටි මගේ දයාබර පියාණන් වූ රණසිංහ ප්‍රේමදාස මහතා, මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ඝාතනය කරනු ලැබුවා. ඔහු මේ ආකාරයෙන් ඝාතනය කරනු ලැබූ දෙවන රාජ්‍ය නායකයායි. පළමුවැන්නා 1991 දී එම ත්‍රස්ත සංවිධානය විසින්ම මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඝාතනය කරනු ලැබූ ඉන්දීය අගමැති රජිව් ගාන්ධි. රටේ සුළුතර ජාතිකයක් වූ දෙමළ ජනතාවගේ නාමයෙන් බඳවා ගැනීම්, ළමා සොල්දාදුවන් සහ යුධ නීතිය පැතිරවීම මගින් දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය තමන්ගේ ෆැසිස්ට් රාජ්‍ය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට සිහින දැක්කා.

“කොටින් යැයි කියාගත් මේ අය මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදාගෙන දේශපාලන නායකයින් රැසක්ම මරාදැමීමට කටයුතු කළා. 2009 දී ශ්‍රී ලංකා හමුදාව කොටි ත්‍රස්තවාදීන්ව මුලිනුපුටා දමා ඔවුන්ගේ සිහින ඉතිහාසයේ කුණු බක්කියට ඇද දැමුවා. එදා සිට අද වන තෙක් ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් සහ ආගමිකයෝ සාමයෙන් සහ සෞභාග්‍යයෙන් එක්ව ජීවත් වුණා.

මේ රට පුදුමාකාර සුන්දර රටක්...ඒ වගේම ජාතික සමගිය, මානව දයාව පිරුණ රටක්.

“ඉස්ලාම් රාජ්‍ය” සිහිනය :

දශකයකට ආසන්න කාලයක් ත්‍රස්තවාදයෙන් තොරව අප කාලය ගත කළා. එහෙත් පාස්කු ඉරිදා ඇති වූ සිද්ධිය නිසා මුළු රටම එකවර හඩා වැටුණා. “ඉස්ලාම් රාජ්‍ය” යැයි කියාගන්නා ත්‍රස්ත කල්ලියක් ශ්‍රී ලංකාවේ පල්ලි සහ හෝටල් ඉලක්ක කරගනිමින් දෙසිය පනහකට අධික අහිංසක බැතිමතුන් සහ සංචාරකයන් පිරිසකට ජීවිත අහිමි කළා. ඒ වගේම විශාල පිරිසක් තුවාල වුණා. මේ බෝම්බ ගැහුවේ අහිංසක මිනිස්සුන්ගේ ප්‍රාර්ථනා වලට. කාටවත් වෛර නොකර හැමෝටම දෙවියන්ගේ පිහිට ප්‍රාර්ථනා කළ මිනිස්සුන්ට බෝම්බ ගැහුවේ කොහොමද? ඒ අහිංසක මිනිස්සු සාමකාමි ලෙස තමන්ගේ අල්තාරය ඉදිරියේ දෙවියන් යදිමින් හිටියා.

පූජනීය තැනක, නිස්කලංක විදිහට කාටවත් කරදරයක් නැතිව ආගම සිහිකරමින් සිටි මේ පිරිසගේ මරණාසන්න සිතුවිලි පවිත්‍රයි. ඔවුන්ගේ ඊළග ජීවිතය සැනසිලිදායක වෙන බව බෞද්ධයෙක් වශයෙන් මා විශ්වාස කරනවා.

වේදනාබර අවස්ථාවේ වීරයින් හා අවස්ථාවාදීන් :

ගෙවුණු දින කිහිපයේදී බොහෝ වීරයෝ දකින්නට ලැබුණා. ඒ වගේම ව්‍යාජ වීරයෝත් හිටියා. සමහරු මේ වේදනාබර අවස්ථාවේදීත් තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් වැඩ කළා. නමුත් ලෝකයේ විශාල රටවල් ප්‍රමාණයක් මේ විපතින් කම්පාවට පත්වුණා. ඒ අය අපි වෙනුවෙන් ඉදිරිපත් වුණා.

මේ කාරණයේදී පළමුව ප්‍රතිචාර දැක්වූ අය ඉතා විශේෂයි. මේ මහා අපරාධය සිදු වන විට අහක නොබලා පිහිටට ආව සියළු දෙනාම උතුම් මිනිස්සු. ඒ වගේම සියලුම වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය අහිංසකයින්ගේ ජීවිත රැකගැනීමට කැප වුනා. රෝහල් වෛද්‍යවරයාගේ සිට සියළු සේවකයා දක්වාම තමන්ගේ මෙහෙවර රෑ දවල් නොබලා ඉටු කළා. තමන්ගේ ජීවිත ගැන පවා නොසිතා ආරක්ෂක අංශ සහ පොලිසිය මහජන ආරක්ෂාව වෙනුවෙන් කැප වුනා. ඒ වගේම ත්‍රස්තවාදී රැදි සිටි නිවාස සොයා මෙහෙයුම් කළා. ත්‍රස්ත කල්ලි මැඩලනවා වගේම, ත්‍රස්තවාදීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වුනා.

ඒ වගේම මුල් ප්‍රහාර මාලාවෙන් පසුව සිදුවන්නට නියමිතව තිබූ ප්‍රහාර සහ විනාශයන් නවත්වාලීමට ආරක්ෂක අංශවලට හැකිවුනා. ඒ නිසාම ජීවිත විශාල සංඛ්‍යාවක් බේරාගැනීමට හැකියාව ලැබුණා. ආරක්ෂක අංශ සහ පොලිසිය දිවා රෑ කළ මෙහෙය අනුපමේය.

ඒ වගේම සියළුම ආගමික නායකයෝ මේ සිදුවීමෙන් සසල වුණා. ජාති, ආගම්, පක්ෂ භේද නැතිව ඒ ආගමික නායකයෝ සියළු ශ්‍රී ලාංකිකයන් එක්සත්ව සමගියෙන් තබන්න පියවර ගත්තා. මැල්කම් රංජිත් අගරදගුරුතුමා මේ සිද්ධියේදී නායකත්වය අරගෙන ඉතාමත්ව ආදර්ශවත්, ගරු කටයුතු මෙහෙවරක යෙදුනා.

උන්වහන්සේගේ ශ්‍රද්ධා සම්පන්න ගුණය වගේම ආදර්ශමත් මැදිහත් වීම සාමය අගයන සකල ලෝක වාසින්ගේම ගෞරවාදරයට පාත්‍ර වනවාට සැකයක් නැහැ. බැතිමතුන්ගේ වේදනාව දුරු කරන්න කැප වුනා වගේම උන්වහන්සේ, මුස්ලිම් ජාතිකයන් වෙත සහෝදරත්වයෙන් දෑත දිගු කළා.

ඒ විතරක් නොවේ, ත්‍රස්තවාදී අන්තවාදීන්ගෙන් පවා ඉල්ලා සිටියේ නොමඟ නොයා යහමගට එන්න කියලයි.

අන්තවාදීන් විශ්වාස කරන “ඉස්ලාම් රාජ්‍යයේ” කිසිදු ඉස්ලාමිකත්වයක් නොමැති බව උන්වහන්සේ වගේම මේ රටේ මුස්ලිම් නායකයන්ද ඉතා පැහැදිලිව පෙන්වා දුන්නා.

''මුස්ලිම්වරු මිලේච්ඡ ත්‍රස්තවාදින්ට හැම අතින්ම විරුද්ධයි''

දෙමළ ජනතාව කොටි ත්‍රස්තවාදීන්ට විරුද්ධ වූ ආකාරයෙන්ම ශ්‍රී ලාංකික මුස්ලිම්වරු මේ මිලේච්ඡ ත්‍රස්තවාදින්ට හැම අතින්ම විරුද්ධ බව අප දන්නා සත්‍යය බව උන්වහන්සේ සනාථ කළා. ඒ වගේම, ක්‍රියාවෙන් ඔප්පු කළා. උන්වහන්සේගේ විශිෂ්ඨ නායකත්වය උන්වහන්සේ උදාරත්වයට පත් කළා.

මේ ප්‍රහාරය ශ්‍රි ලංකාවට සදාකාලික අමිහිරි සිහිවටනයක් වෙනවාට සැකයක් නැහැ.

2001 වසරේදී අල්කයිඩා කොල්ලකරුවන් මිලියන 285 ක් වාසය කරන ඇමෙරිකාවේ තුන් දහසකට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කරනු ලැබුවා. සැප්තැම්බර් (9/11) ප්‍රහාරය ලෙස එය ඉතිහාසයට එකතු වුණා.

ඒ වගේම පසුගිය අප්‍රේල් 21 වැනිදා, අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී බෝම්බකරුවන් මිලියන 21 ක ජනගහනයක් පමණක් සිටින ශ්‍රී ලංකාවේදී පාස්කු ඉරිදා දෙසිය පනහකට වැඩි පිරිසක් ඝාතනය කරනු ලැබුවා.

2001 දී ඇමෙරිකානු බලධාරින්ට එදා ප්‍රහාරය ගැන කලින්ම අනතුරු ඇගවීම් ලැබුනු බව පැවසෙනවා. ඒ ආකාරයෙන්ම ශ්‍රී ලංකාවේ බලධාරින්ටත් මේ පිළිබදව බුද්ධි තොරතුරු ලැබූ බව ඇතැම් වාර්තා පවසනවා.

මේ ප්‍රහාරයත් සමගම අපි නැවත බොහෝ දේ අලුතින් කල්පනා කළ යුතුයි. අපගේ සිවිල් සේවයේ බොහෝ දෙනාගේ මනෝභාවයන් තුළ චිත්ත ධෛර්යය ශක්තිමත් කරගත යුතුය. රජයේ නිලධාරින්, නිලධාරිවාදයෙන් මිදී ස්වාධිනව සහ වගකීමෙන් යුක්තව ක්‍රියාශිලිව කටයුතු කළ යුතුය. ඒ නිලදාරින් කඩිනමින් තීරණ ගැනීමට ඉගෙනගත යුතුය. එසේ නැතිව වගකීම් අනෙකාට පැවරීම හා ප්‍රමාද කිරීම සිදු නොකළ යුතුය.

අත්දැකීම් කියන්නේ පාඩම් පමණක් නොවේ, ජීවිත හැඩගස්වා ගැනීමත් ඒකට අදාළයි.

''මුළු ලෝකයම ත්‍රස්තවාදය ගැන අලුතින් හිතන්න පටන් අරන්''

2001 සැප්තැම්බර් 11 ඇමරිකාවට එල්ල වූ ප්‍රහාරයෙන් පසු, මුළු ලෝකයම ත්‍රස්තවාදය ගැන අලුතින් හිතන්න පටන් ගත්තා. ප්‍රචණ්ඩත්වයට, බෙදීමට සහ විනාශ කිරීම්වලට එරෙහිව ලොව පුරා සියලු දෙනා එක්සත්ව නැගී සිටියා.

නේටෝ සංවිධානයේ එක් සාමාජිකයකුට එරෙහිව සිදු කරන ප්‍රහාරයක් සියලුම සාමාජිකයන්ට එරෙහිව සිදුකරන ප්‍රහාරයක් ලෙස සලකන බවට එම සංවිධානය නිවේදනය කළා. පසුගිය අවාසනාවන්ත ප්‍රහාරයෙන් පසුව අප වෙනුවෙන් මුළු ලෝකයම නැගි සිටියා. ඔවුන්ගේ ශක්තිය මේ රට නැවත නගා සිටුවීමට ලබාදෙන බවට ඔවුන් සහතික වුණා. ඒ රටවල්වල සහයෝගය අපේ රට නැවත නගා සිටුවීමට මහා ශක්තියක් වෙනවා ඇති.

අපෙන් සමුගත් සියලු දෙනාට ගෞරවය හිමිවන්නේ අප ජීවත් වන රටාව අනුවයි. මේ මොහොතේ තමන්ගේ ආදරණීයයන් අහිමි වූ අය ඉන්නේ අසීමිත කම්පනයක. ඔවුන්ගේ හදවත් සුවපත් කිරීම මේ මොහොතේ ජාතික වගකීමක් වෙනවා. ඒ වගකීම අකුරට ඉටු කළ යුතුයි. ඒ වගේම සිදුවීමෙන් තුවාල ලැබූ අය සුවපත් කිරීමත්, ඔවුන්ගේ ජීවිත නැවත නගා සිටුවීමත් නොපමාව කළ යුතුයි.

එය ජාතික වශයෙන් ප්‍රමුඛතාවය ලබාදිය යුතු කරුණක් වෙනවා.

ඔවුන් තවදුරටත් විදවිය යුතු වන්නේ නැහැ. හුදකලා විය යුතුත් නැහැ. ඔවුන්ට අවශ්‍ය කුමක්ද? අප එය නොපමාව සැපයිය යුතුයි.

''රටක් හැටියට එකට එකතු විය යුතු අවස්ථාවක්''

අපි රටක් හැටියට එකට එකතු වූ අවස්ථා බොහෝ තිබෙනවා. මීට පෙරත් අපේ මාතෘභූමියට විවිධ පීඩාවන් එල්ල වෙලා තිබෙනවා. 2004 දී සුනාමි විපත අවස්ථාවේ මුළු ජාතියම කම්පා වුණා. ඒ වගේම මුළු රටම එකට එකතු වෙලා ඔවුන්ගේ ජීවිත ගොඩනංවන්න කැප වුණා.

ඒ එක්කම වසර තිහක් මේ රටට සාපයක් වෙලා තිබුණ ත්‍රස්තවාදය මුළිනුපුටා දැමීමට අපේ වීරෝධාර රණවිරුවන් සමත් වුණා. ඒ අවස්ථාවෙත් අපි සියළු දෙනා එකම රටක් විදිහට එකට එකතු වුණා.

මේ මොහොතේ අන්තවාදී ත්‍රස්තවාදය මේ රටින් තුරන් කිරීම සදහා සියලු වාදභේද, පක්ෂ පාට ඉවතලා එකට එකතු විය යුතුයි. දේශපාලන නායකයින්, වගේම සමස්ථ රටම මේ මොහොතේ ජාතික වගකීම හදවතට ගත යුතුය.

අප එක්සත්ව එකාමෙන් නැගී සිටියොත්, වේළුපිල්ලේ ප්‍රභාකරන් සහ ඔහුගේ කොටි සංවිධානයට උරුම කළ පරාජයම මේ ත්‍රස්තවාදීන්ටද උරුම කර දීම අපහසු නැහැ. අපගේ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට මෙවැනි අර්බුද මුලිනුපුටා දැමීම අභියෝගයක් නොවේ. ඒ අය ඒ ශක්තිය ඉතිහාසයේ ඔප්පුකොට තිබෙනවා.

ත්‍රස්තවාදය සහ අන්තවාදය ලෝකයෙන් තුරන් කිරීම මුළු ලෝකයේම වගකීම වෙනවා.

මෙවන් බියගුලු ප්‍රහාර වැළැක්වීම වෙනුවෙන් ලෝකයේම අවධානය වෙනදාට වඩා යොමුවිය යුතු වෙනවා. මේ එක රටකට එරෙහි ප්‍රහාරයක් නොවේ. මේ ලෝක ත්‍රස්තවාදයේ බියගුලු ප්‍රහාරයක්. ඒ නිසාම ත්‍රස්ත විරෝධි මතවාදයක් ලොව පුරා ඇති කිරීමට සහය දෙන ලෙස මම අපේ මිත්‍ර රටවල්වලින් ඉල්ලීමක් කරනවා.

ජාතික ආර්ථිකය වර්ධනය කිරීමට සහය දෙන්න :

ඒ එක්කම නැවත ශක්තිමත්ව මේ රටට නැගි සිටීම සදහා ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න කියලා ලෝකයෙන්ම අපි ඉල්ලා සිටිනවා. අපගේ සංචාරක කර්මාන්තය උත්තේජනය කරමින් ජාතික ආර්ථිකය වර්ධනය කිරීමට සහය දෙන්න කියලත් ඉල්ලා සිටිනවා. මේ සුන්දර පාරාදීසය ඔබේ ජීවිතයේ සැමරුමක් කර ගන්න.

රටක දියුණුව වෙනුවෙන් අතිශයින්ම වැදගත් වෙන කාරණා දෙකක් තිබෙනවා. එකක් ඒ රටේ ආරක්ෂාව.. අනෙක ඒ රටේ ආර්ථිකය.

ජාතික ආරක්ෂාව ශක්තිමත් කරමින් මේ රට නිදහස්, නිවහල් සුරක්ෂිත රටක් කළ යුතුව තිබෙනවා. ජාතික ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් නොපමාව ලබාදෙන්නට අවශ්‍ය වෙනවා. ත්‍රස්තවාදයට එරෙහි ගෝලිය සටනට නැවතත් එකතු වීම ලොව සියලු රටවලට වගේම අපේ රටටත් පැවරී තිබෙනවා.

මෙවැනි ප්‍රහාර එල්ල වන විට ලෝකයේ සියලු ශක්තිමත් රටවල් ඒ රට වෙනුවෙන් එකට එකතු විය යුතුයි. හේතුව, මේ ප්‍රහාර රටකට එරෙහි ප්‍රහාර පමණක් නොවේ. මේ ප්‍රහාර ලෝක සාමයට එරෙහි ප්‍රහාර. මේ ප්‍රහාර ලෝක මිනිස්කමට එරෙහි ප්‍රහාර. මේ ප්‍රහාර ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි මිලේච්ඡ ප්‍රහාර.

ඒ නිසා, මෙවැනි ප්‍රහාරවලදී ලෝකයම ඒ රට සමග සිටීම වැදගත් වෙනවා. ඒ රටට නැගී සිටීමට ශක්තිය දීම වැදගත් වෙනවා. පහර දීමට පෙර තිබූ රටට වඩා සිය ගුණයක් ඉදිරියට එන රටක් බිහි කිරීමට ශක්තිය දීම ලෝකයේම වගකීමක් වෙනවා.

ඕනෑම රටකට එරෙහිව සිදු කරන ත්‍රස්තවාදී ප්‍රහාරයක් සියලුම රටවල්වලට එරෙහිව සිදු කරන ප්‍රහාරයක් බව මේ ත්‍රස්තවාදීන්ට ඒත්තු යන්නේ අන්න එවිටයි. මෙවන් ප්‍රහාර හරහා ඔවුන් හෙළන සෑම රුධිර බිංදුවක් තුලින්ම ඔවුන්ගේ විනාශය ඉක්මන් වන බව ඔවුන්ට ඒත්තු යා යුතුයි.

අහිංසකයින් ඝාතනය කිරීමෙන් සිදු වන්නේ ඔවුන්ගේ අවසානය ඉක්මන් වීම බව ඔවුන්ට පෙන්විය යුතුයි.''

No comments